1 ”මිහි මත මිනිස් ජීවිතය සටනක් නොවන්නේ ද?
එය දවසේ කුලියට වැඩ කරන කුලීකරුවෙකුගේ දිවිය මෙන් නොවේ ද?
2 තුරු සෙවණෙහි විවේකය සොයන වහලෙකු මෙන් ද වැටුප ගෙවන තුරු බලා හිඳින කුලීකරුවෙකු මෙන් ද
3 මසින් මසට පාළු සිතින් කල්යැවීමට මට නියම ව ඇත;
රැයින් රැය මම දුකින් දුකට පත්වන්නෙමි.
4 මම නින්දට යන කල, ‘රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ’යි කියා ගනිමි.
පහන් වන තුරු ඒ මේ අත පෙරළෙමින් සිටින්නෙමි.
5 මා සිරුරෙහි සෑම තැන ම පණුවෝ ඇත;
මාගේ ඇඟ හැම තැන හොරිවලින් වැසී ඇත;
මාගේ වණවලින් සැරව ගලා යනු ඇත.
6 බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි;
ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි.
7 ”දෙවි සමිඳුනි, මාගේ දිවිය සුළං රොදක් පමණක් බව සිහි කරන්න;
වාසනාව මින් මතු මා නොදකිනු ඇත.
8 දැන් ඔබ මා දකින දෙනෙත් යළි කිසි දා මා නොදකිනු ඇත;
ඔබේ දෙනෙත් මා සොයතත්, මින්පසු මා දක්නට නැත.
9 නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි.
10 සිය නිවෙසට ඔහු හැරී නොඑයි;
ගෙදර උදවිය තවත් ඔහු නොදකිති.
11 ”මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය;
දැඩි සිත් තැවුළින් මම කතා කරමි.
මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි.
12 ඇයි මා වටකර මුර කරගෙන ඉන්නේ?
මම දිය රකුසෙක් ද?
මහ මුහුදේ නාගයෙක් ද?
13 ‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි.
මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි.
14 එවිට, ඔබ ස්වප්නවලින් මා බිය ගන්වන සේක;
දර්ශනවලින් මා තැති ගන්වන සේක.
15 මෙසේ ජීවත් වීමට වැඩියෙන් ගෙල මිරිකා මරණු ලැබීම මට හොඳ ය;
මෙවන් දුක් රාශියට වඩා මරණය යෙහෙකි.
16 මට කිසි පැතුමක් නැත;
මට ජීවිතය තිත්ත වී ඇත;
මට හුදකලා ව ඉන්නට ඉඩ දුන මැනව.
මාගේ දිවිය සුළං රොදක් පමණකි.
17 ඔබ මිනිසා ගැන මෙතරම් ඉහළින් සලකන්නටත්, ඔහු වෙත ඔබ සිත යොමුකරන්නටත්,
18 උදයෙන් උදය, මොහොතින් මොහොත ඔහු සෝදිසි කරන්නටත් මිනිසා කවරෙක් ද?
19 මොහොතකට වත් ඔබ මා කෙරෙන් ඔබේ බැල්ම ඉවතට නොගන්න සේක් ද?
කෙළ පිඬ ගිලින තෙක් වත්, ඔබ මට ඉන්නට ඉඩ නොදෙන සේක් ද?
20 මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද?
ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද?
ඔබ හට මා එතරම් බරක් වී ද?
21 ඔබ මාගේ වරදට කමා වී, මාගේ අයුතුකම පහනොකරන්නේ මන් ද?
යුහුව මා දූවිල්ලට හැරෙනු ඇත.
ඔබ මා සෙව්වත් මා දක්නට නැත.”