ශු. ජුසේ මුනිදුන්ගේ පිහිට ඉල්ලා යාච්ඤාව

භාග්‍යවන්ත ශු. ජුසේ මුනින්ද්‍රයෙනි, අපේ අමාරුකම්වලදී ඔබ වෙත හැරී ඇවිත් සිටිමු. අප ඔබගේ සුවිශුද්ධ ප්‍රිය කාන්තාව වන දේවමෑණියන් වහන්සේගේ පිහිට ඉල්ලුවයින් පසු ඔබගේ ආරක්ෂා පිහිටත් විශ්වාසයෙන් ඉල්ලා සිටිමු. දේවමාතා වන නිර්දෝෂ කන්‍යා මරිය තුමිය වෙත ඔබ බැදී සිටින ප්‍රේමයද , දිව්‍ය බිළිදාවන ජේසු ස්වාමිදරුවන් කෙරෙහි ඔබ තැබූ පියකරු ස්නේහයද බලා ජේසුස් ක්‍රිස්තු ස්වාමින් වහන්සේ තමන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් අපට සම්පාදනය කළාවූ මෝක්ෂ උරුමය ලබා ගන්නටත්, අපේ ඕනෑකම්වලදී ඔබගේ වල්ලභයෙනුත් ආධාරයෙනුත් පිහිට වනන්ට අපි ඔබට කන්නලව් කියා ඉල්ලා සිටිමු.

දිව්‍ය පවුලේ අතිප්‍රඥාවන්ත රැකවල් පියාණෙනි! ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ තෝරාගනු ලැබූ ජනයන් ආරක්ෂා කළ මැනව. අති ප්‍රේමවන්ත පියාණනි! මුළාව යාමේද, දුෂ්‍ය කිරීමේද සියලු දෝෂ වලින් අප ආරක්ෂා කරනවා සොදේ. අති වල්ලභවූ අපගේ පියාණනි! අන්ධකාරයේ වල්ලභවූ සතුරන්ගේ සටනෙහි ඔබ පරමණ්ඩලයේ සිට අපට පිහිට වෙනවා සොදේ. පුර්වයෙහි ඔබ දිව්‍ය බිලිදාවන ජේසු ස්වාමිදරුවන්ගේ ජීවිතය භයානක මරණයේ අන්තරාවලින් ගලවාගත්තාක් මෙන් දැනුත් සතුරන්ගේ උපයවලිනුත් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ සභාව රක්ෂාකරන්නටත්, ඔබගේ ආදර්ශය ලෙස ශුද්ධව ජීවත්වෙන්නටත්, භක්තිවන්ත ලෙස මැරෙන්නටත්, සදාකාලික මෝක්ෂ සුගතිය ලබාගන්නටත් අපට පුළුවන් වෙන සැටියට නිතරම අපෙන් එක එකාට පිහිටාධාරවී වදාරනවා සොදේ. ආමේන්.

Suba Asna - සුබ අස්න

FREE
VIEW