දේව මාතාවන්ගේ නිර්මල හෘදයට කැප කිරීමේ යාච්ඤාව

අහෝ නිර්මල මරිය තුමියගේ හෘදයෙනි, ස්වර්ගයෙහිද පෘථිවියෙහිද රාජිණියෙනි, මනුෂ්‍යයන්ගේ දයාවන්ත මාතාවෙනි, පාතිමාවේදී දක්වන ලද ඔබගේ ජ්වලිත කැමැත්ත පරිදි මාත්, මගේ පවුලත්, මගේ ගෘහයත්, මගේ නගරයත්, මගේ රටත් සහ සමස්ත මනුෂ්‍ය ජාතියත් ඔබතුමියට කැප කරමි. මෑණියෙනි, ජේසුතුමන්ගේ හෘදය ඔබ තුළ රජකම් කොට ජයගත් පරිද්දෙන් ඔබතුමිය අප තුළ රජකම් කොට ජේසු තුමන්ගේ දිව්‍ය හෘදය අප තුළ රජකම් කරවා ජයග්‍රහණය කරන ආකාරය ඉගැන්වුව මැනව. සෙනෙහෙ භරිත මාතාවෙනි, සැපතෙහිදීත්, විපතෙහිදීත්, දුකෙහිදීත්, ප්‍රීතියෙහිදීත්, සුවයෙහිදීත්, රෝගයෙහිදීත්, ජීවිතයෙහිදීත්, මරණයෙහිදීත් අප ඔබ තුමියට අයිති වන පිණිස අප මත රජකම් කළ මැනව.

අහෝ අනුකම්පා භරිත මරියතුමියගේ හෘදයෙනි, කන්‍යාවන්ගේ රැජිණියෙනි, අපගේ සිත් සතන් රැක බලා පාතිමාවෙහිදී ඔබතුමිය බොහෝ ලෙස කණගාටු වූ අශුද්ධතාව නමැති ප්‍රවාහයෙන් ඒවා රක්ෂා කළ මැනව. ඔබතුමිය මෙන් නිර්මල වීමට අපිද ආසා වෙමු. ජේසු තුමන්ටත් ඔබ තුමියටත් විරුද්ධව කළ බොහෝ අපරාධ නිසා වන්දි ගෙවීමට අපි කැමැත්තෙමු. යුක්තිය තුලින් හා දේව ප්‍රේමය තුලින් දේව සමාදානය අප රටටත්, සමස්ත ලෝකයටත් අයැද සිටීමට කැමැත්තෙමු. එහෙයින් මානුෂික ගෞරවයක් නොතකා ක්‍රිස්තියානි ජීවිතයක් අභ්‍යාස කරමින් ඔබගේ ගුණ ධර්ම අනුසාර කිරීමට අපි දැන් පොරොන්දු වෙමු. සෑම මාසයකම පළවෙනි සෙනසුරාදා ශුද්ධවූ සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමටත් දිනපතා ජපමාලයෙන් පංති පහක් ඔප්පු කිරීමටත්, ඒ සමග අපගේ පරිත්‍යාගයන් වන්දි ගෙවීමේ හා පසුතැවිලි ක්‍රියා ලීලාවෙන් ඔප්පු කිරීමටත් අධිෂ්ඨානය කර ගනිමු. ආමෙන්

Suba Asna - සුබ අස්න

FREE
VIEW