තෝබිත් – 7 වන පරිච්ඡේදය –

රගුවෙල්

1 ඔවුන් එක්බතානා නම් නගරයට ඇතුළු වන විට ම, තෝබියස් කතා කොට, ”සොහොයුරු අසරියස්, මා ඉක්මනින් අපේ සහෝදර රගුවෙල් වෙත ගෙන යන්නැ”යි කී ය. දේව දූතයා රගුවෙල්ගේ ගෙදරට යෑමට ඔහුට පාර පෙන්වී ය. රගුවෙල් මළුවේ දොර ළඟ වාඩි වී සිටියේ ය. ඔව්හු ඔහුට පළමුවෙන් ආචාර කළ විට, ඔහු පිළිතුරු දෙමින්, ”සොහොයුරනි, සැරදේ! ආයුබෝවන්!” කියා සිය ගෙදරට ඔවුන් කැඳවාගෙන ආවේ ය. 2 රගුවෙල් සිය බිරිඳ වන එඩිනා අමතා, ”මේ තරුණයා මාගේ සහෝදර තෝබිත්ට කොපමණ සමාන දැ යි” කී ය. 3 එඩිනා ද ”කොහෙන් පැමිණියේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ විට, ඔව්හු උත්තර දෙමින්, ”අපි නිනිවය නගරයේ විප්‍රවාසගත ව සිටින නප්තලීගේ පුත්‍රයෝ වෙමු”යි කී හ. 4 ”අපේ සහෝදර තෝබිත් දන්නහු දැ”යි ඇසූ විට ”එසේ ය”යි ඔවුන් කී පසු ”ඔහුගේ සුව දුක් කෙසේ දැ”යි ඈ ඇසුවා ය. 5 එවිට ඔව්හු, ”ඔහු ජීවතුන් අතර යෙහෙන් සිටී”යි කී ය. තෝබියස් තවදුරටත් කතා කොට, ”ඔහු මාගේ පියා ය”යි කී ය. 6 එවිට රගුවෙල් ප්‍රීතියෙන් ඉපිලී ඔහු සිඹගෙන අඬමින්, 7 කතා කරන්ට වචන නොමැති ව ”පුත්‍රය, ඔබට ආශීර්වාද වේ වා! ඔබ උදාර පියෙකුගේ පුත්‍රයෙකි. එතරම් දැහැමි වූ, සත්ගුණවත් ක්‍රියාවලින් හෙබි කෙනෙක් අන්ධ වී යාම කොපමණ දුක් සහිත දෙයක් ද” කියා තම ඥාති වූ තෝබියස්ගේ ගෙල බදාගෙන හැඬී ය. 8 ඔහුගේ බිරිඳ එඩිනා ද එය නිසා හැඬුවා ය. ඔවුන්ගේ දුව සාරා ද එලෙස හැඬුවා ය.
9 රගුවෙල් බැටළුවකු මරා, උණුසුම් ආදරයකින් ඔවුන් පිළිගත්තේ ය. ඔව්හු ද තමන් සිරුරු සො‍්දාගෙන ස්නානය කොට, මේසයට වාඩි වූ හ. එවිට තෝබියස් රපියල්ට කතා කොට, ”සොහොයුරු අසරියස්, මාගේ සහෝදරිය වූ සාරා මට සරණ පාවා දෙන ලෙස ඔබ රගුවෙල්ගෙන් අසන්නැ”යි කී ය. 10 රගුවෙල් එය අසා, තරුණයා අමතා, ”ආහාරපාන ගෙන මේ සවස් කාලය හොඳින් ගත කරන්න. මාගේ සොහොයුර, මාගේ දුව සාරා සරණ පාවා ගැන්මට ඔබට හැර අන් කිසිවෙකුට අයිතියක් නැත. කෙසේ වෙතත් ඔබ ඇයගේ කිට්ටු ම ඥාතියා බැවින්, ඔබට හැර අන් කෙනෙකුට ඇය සරණ පාවා දීමට මට නිදහසක් නැත. මාගේ දරුව, ඔබ සමඟ ඇත්ත ඇති සැටි කිව යුතු ය. 11 ඇයට සැමියෙකු සොයා දීමට මම සත්වරක් අපේ ඥාතීන් අතර වෑයම් කෙළෙමි. එහෙත් ඔව්හු සියල්ලෝ ම පළමු දින සවස ඇයගේ කාමරයට ඇතුළු වන විට මිය ගියහ. මාගේ දරුව, දැනට කන්න, බොන්න, සමිඳාණන් වහන්සේ තම වරප්‍රසාදයත්, සාමදානයත් ඔබට දානය කරන සේකැ”යි කී ය.
එවිට තෝබියස් කතා කොට, ”මා ගැන ඔබ තීරණයකට පැමිණෙන තුරු කෑමබීම ගැන මම අසන්න කැමැති නොවෙමි”යි කී ය. රගුවෙල් උත්තර දෙමින්, ”එසේ වේ වා! මෝසෙස්ගේ ග්‍රන්ථය නියම කරන බැවින්, ඇය ඔබට සරණ පාවා දෙනු ඇත. ඇය ඔබට අයිති වන බව ස්වර්ගය ම නියම කරයි. එබැවින් ඔබේ සහෝදරිය මම ඔබට බාර දෙමි. මේ මොහොතේ පටන් ඔබ ඇගේ සහෝදරයා ය, ඇය ඔබේ සහෝදරී ය. අද පටන් සදහට ම ඇය ඔබට දෙනු ලැබේ. මාගේ පුත්‍රය, ස්වර්ගයේ සමිඳාණෝ අද රෑ ඔබට කරුණාව දෙන සේක් වා! ඔබට උන් වහන්සේගේ වරප්‍රසාදයත්, සාමදානයත් දෙන සේක් වා!”යි කී ය. 12 රගුවෙල් තම දුව සාරා කැඳවා ඇය අතින් ගෙන, තෝබියස්ට සරණ පාවා දෙමින්, ”මම ඇය ඔබට බාර දෙමි. මෝසෙස්ගේ ග්‍රන්ථයේ සඳහන් ව්‍යවස්ථාව සහ නියමය අනුව ඇය ඔබට බිරිඳ වන්නී ය. ඇය සරණ පාවා ගන්න. සුරක්ෂිත ව ඇය, ඔබේ ගෙදරට, ඔබේ පියාගේ ගෙදරට රැගෙන යන්න. ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ ඔබට සාමදානයෙන් සුබ ගමනක් දානය කරන සේක් වා”යි පැවසී ය. 13 එවිට ඔහු ඇගේ මව වෙත හැරී, ”ලියන කඩදාසියක් ගෙනෙන්නැ”යි කී ය. ඉන්පසු ඔහු මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව තම දුව තෝබියස්ට මනාලියක මෙන් දුන් පිළිවෙත විවාහ ගිවිසුම් පත්‍රයක සටහන් කෙළේ ය.
14 මෙසේ කළ පසු ඔව්හු ආහාරපාන ගන්නට වූ හ. 15 රගුවෙල් තම බිරිඳ එඩිනා කැඳවා, ”මාගේ සොහොයුරිය, දෙ වන කාමරය සූදානම් කොට ඇය එහි ගෙන යන්නැ”යි කී ය. 16 ඇය ගොස් ඔහු කී පරිදි ඒ කාමරයේ යහන සූදානම් කොට ඇගේ දුව එහි ගෙන ගියා ය. ඉන්පසු මව දුව ගැන හඬා, කඳුළු පිස දමමින් ”දියණිය, ධෛර්යවත් ව සිටින්න. ස්වර්ගයේ සමිඳාණෝ නුඹේ දුක ප්‍රීතියට හරවන සේක් වා! දුව, ධෛර්යවත් ව සිටින්නැ”යි කියා ඈ පිටත ගියා ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW