තෝබිත් – 6 වන පරිච්ඡේදය –

මත්ස්‍යයා

1 තෝබියස් දේව දූතයා සමඟ නික්මුණි. බල්ලා ද ඔවුන් පසුපස ගමන් කෙළේ ය. ඔව්හු මෙසේ ගමන් කොට, පළමු වන දින සවස් වූ කල ටයිග්‍රීස් ගං තෙර නවාතැන් ගත්හ. 2 තෝබියස් තමාගේ පාද සො‍්දාගැනීමට ගඟට බැස්ස විට වතුරින් විශාල මත්ස්‍යයෙක් උඩට පැන ඔහුගේ පාදය ගිලදමන්ට ආයේ ය. 3 ඔහු කෑගැසූ විට 4 දේව දූතයා කතා කොට, ”මත්ස්‍යයාට යන්ට ඉඩ නො දී ඌ අල්ලාගන්නැ”යි කී ය. ඔහු ද වැරෙන් ඌ අල්ලාගෙන ගං තෙරට ඇද්දේ ය. 5 ඉන්පසු දේව දූතයා, ”ඌ කපා පිත, හදවත සහ අක්මාව එළියට ගන්න. ඒවා පරිස්සමෙන් පැත්තක තබා බඩවැල් වීසි කරන්න. මන්ද, පිත, හදවත සහ අක්මාව යන කොටස්වල රො‍්ග නිවාරණය කිරීමේ ගුණ ඇත්තේ ය”යි කී ය. 6 ඔහු මත්ස්‍යයා කපා විවෘත කොට, පිත, හදවත සහ අක්මාව යන කොටස් පිටතට ගත්තේ ය. ඉන්පසු ඔහු මත්ස්‍යයාගෙන් කොටසක් කෑමට බැද, තව කොටසක් ලුණු දැමීමට වෙන් කෙළේ ය. ඉන්පසු ඔව්හු නැවත මේදියාවට යන තෙක් ඇවිදගෙන ගියෝ ය.
7 එවිට තෝබියස් දේව දූතයාට කතා කොට, ”සහෝදර අසරියස්, මත්ස්‍යයාගේ හදවත, අක්මාව සහ පිත යන කොටස්වලින් කුමන ලෙඩක් සුව කරන්නට පුළුවන් දැ”යි ඇසී ය. 8 දේව දූතයා උත්තර දෙමින්, ”මත්ස්‍යයාගේ හදවත සහ අක්මාව පිළිස්සූ විට, ඉන් පිටවන දුම, යක්ෂයෙක් නැත්නම් භූතාත්මයක් ආවේශ වූ පුරුෂයකු හො‍් ස්ත්‍රියක හො‍් සඳහා පාවිච්චි කළ හැකි ය. එවිට එවැනි පීඩාවක් නිට්ටාවට ම, සදහට ම, තුරන් වෙනු ඇත. 9 තවද, යමෙකුගේ ඇස්වල සුද තිබේ නම්, නේත්‍රාලේපයක් මෙන් පිත පාවිච්චි කළ හැකි ය. එසේ පාවිච්චි කොට, ඇස්වල සුද සුව කිරීමට කළ යුත්තේ ඒවාට පිඹීම පමණකැ”යි කීවේ ය.
10 ඔවුන් මේදියාවට ඇතුළු වී, එක්බතානා නම් ප්‍රදේශයට ආසන්න වන විට 11 රපියල් දේව දූතයා තෝබියස් අමතා, ”සොහොයුරු තෝබියස්” කී විට, ඔහු ද, ”ඇයි?” කියා උත්තර දුන්නේ ය. දේව දූතයා ද කතා කරමින්, ”ඔබේ ඥාතියකු වන රගුවෙල් සමඟ අද රාත්‍රියේ අපි නවතින්නෙමු. ඔහුට සාරා නමැති දුවක් සිටියි. ඇය හැර ඔහුට පුතෙක් හො‍් දුවක් හො‍් නැත. 12 ඔබ ඇගේ කිට්ටු නෑයා බැවින් ඇය අන් සියල්ලන්ට කලින් ඔබට අයිති ය. ඇගේ පියාගේ උරුමයට ඔබට අයිතියක් ඇත. ඇය කල්පනාකාරී, නිර්භීත, රූපසම්පන්න ගැහැණු ළමයෙකි. ඇගේ පියා ද ඇයට බොහෝ සේ ප්‍රේම කරයි. 13 ඇය සරණ පාවා ගැනීමට ඔබට අයිතියක් ඇත. සොහොයුර, ඇහුම්කන් දෙන්න. අද සවසට ඇය ගැන ඇගේ පියාට කතා කොට, ඔබට විවාහ ගිවිසුම් බස් දීම ගැන ඇය සූදානම් කරමි. රාගේස්වලින් ආපසු පැමිණි විට විවාහ මංගල්‍යය සිදු කළ හැකි ය. ඔබට ඇය පාවා දීම ප්‍රතික්ෂේප කිරීමට හො‍් ඇය ගැන වෙන කෙනෙකුට විවාහ ගිවිසුම් දීමට හො‍් රගුවෙල්ට අයිතියක් නැති බව මම සහතික කොට කියමි. නෑකම නිසා ඇය ඔබට සරණ පාවා දීමේ පරම අයිතිය ඔහු දැනගත් පසු ව පවා ඔහු එසේ නුදුන්නොත්, මෝසෙස්ගේ ග්‍රන්ථයේ සඳහන් පරිදි ඔහු මරාදැමීමට නියම වේ. එබැවින් සොහොයුර, ඇහුම්කන් දෙන්න. අද සවස ම අපි ගැහැණු ළමයා ගැන කතා කොට, ඇය සරණ පාවා ගැනීමට අවසර ඉල්ලමු. අපි රාගේස්වලින් ආපසු පැමිණි විට, ඇය ලබාගෙන අප සමඟ ගෙදර කැඳවාගෙන යමු”යි කී ය.
14 එවිට තෝබියස් රපියල්ට උත්තර දෙමින්, ”අසරියස් සොහොයුර, ඇය හත් වරක් විවාහ කොට දුන් බවත් ඒ සැම වාරයකදී ම මංගල කුටියෙහි දී ඒ මනාලයන් මියගිය බවත් මට දැනගන්නට ලැබී තිබේ. මනාලයා, ඇගේ කාමරයට ඇතුළු වූ එම රාත්‍රියේ ම මිය ගොස් ඇත. තවද, යක්ෂයකු ඔවුන් මරාදැමූ බව ද මිනිසුන් කියනු මා අසා ඇත. 15 මෙවැන්නක් නිසා මට යම් බියක් ඇත. යක්ෂයා ඇයට ප්‍රේම කරන බැවින් ඇයට අනතුරක් නොකරයි. එහෙත් මිනිසෙකු ඇය වෙත ළඟාවීමට උත්සාහ කළොත් යක්ෂයා ඔහු මරාදමයි. මම මාගේ පියාගේ එක ම පුත්‍රයා ය. මට මැරෙන්නට ආශාවක් නැත. මාගේ පියා සහ මව මියයන්ට සලසන දුකක් ඔවුන්ට දීමට මම ඉතා බිය වෙමි. ඔවුන් භූමදාන කිරීමට වෙන පුත්‍රයෙක් ද නැතැ”යි කී ය. 16 දේව දූතයා කතා කොට, ”ඔබේ පියාගේ අවවාදය ඔබ අමතක කරන්නට යන්නෙහි ද? ඔබේ පියාගේ පවුලේ අයගෙන් බිරිඳක් තෝරාගැනීමට ඔහු ඔබට බල කෙළේ ය. එබැවින් සොහොයුර, සවන් දෙන්න. යක්ෂයා ගැන කරදර නොවන්න. ඇය සරණ පාවාගන්න. අද සවස ම ඇය ඔබට බිරිඳ වශයෙන් දෙනු ලබන බවට මම පොරොන්දු වෙමි. 17 ඔබ මංගල කුටියට ගිය පසු, මත්ස්‍යයාගේ හදවත සහ අක්මාව ගෙන ඒවායින් ටිකක්, දැවෙන සුවඳ දුම් මත තබන්න. එවිට දුමාරය නඟින විට, යක්ෂයාට එහි සුවඳ දැනී ඌ පලා යනු ඇත. 18 ඉන්පසු කවදාවත් ගැහැණු ළමයා සමීපයේ අනතුරක් නොවන්නේ ය. තවද, ඔබ දෙදෙන එකට සයනය කිරීමට පෙර, නැඟිට යාච්ඤා කරන්න. ඔබට උන් වහන්සේගේ වරප්‍රසාදයත්, ආරක්ෂාවත් ලැබෙන පිණිස ස්වර්ගයේ සමිදාණන් වහන්සේගෙන් ඉල්ලන්න. බිය නොවන්න. මුල පටන් ම ඇය නියම වූයේ ඔබට ය. ඇය ගළවන්නේ ද ඔබ ම ය. ඇය ඔබ අනුව එන්නී ය. ඔබට සහෝදරයන් මෙන් වන දරුවන් ඈ ඔබට දෙන බවට මම දිවුරා සහතික කරමි. සැක නොකරන්නැ”යි කී ය. රපියල් මෙසේ කියනු තෝබියස් දැක තම පියාගේ පවුලේ ඥාතියෙකු වන සාරා තමාගේ සහෝදරී බව ඔහු තේරුම්ගත් විට, ඔහු ඇයට කෙතරම් ගැඹුරු ලෙස ප්‍රේම කෙළේ ද යත් තමාගේ හදවත තමාගේ ය යි කියන්නට ඔහුට නො හැකි විය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW