තෝබිත් – 5 වන පරිච්ඡේදය –

තෝබියස්ට සහය වූ මගියා

1 එවිට තෝබියස් තම පියා වූ තෝබිත්ට පිළිතුරු දෙමින්, ”පියාණෙනි, ඔබ මට කී සියල්ල මම ඉටු කරමි. 2 එහෙත් ඔහුගෙන් මා මුදල් ආපසු ගන්නේ කෙසේ ද? ඔහු මා දන්නේ නැත. මම ද ඔහු නොදනිමි. ඔහු මා විශ්වාස කොට මට රිදී මුදල් දෙන පිණිස මම ඔහුට කුමන හැඳින්වීමේ ලකුණක් දෙන්නෙම් ද? ඇරත් මේදියාවට යන මේ ගමනට කුමන පාරවල් ගන්න උවමනා ද කියා මම නොදනිමි”යි කීවේ ය. 3 එවිට තෝබිත් සිය පුත්‍රයා වූ තෝබියස්ට පිළිතුරු දෙමින්, ”අපි දෙදෙනා ම එක පොරොන්දු නො‍්ට්ටුවකට අත්සන් තැබුවෙමු. අපි දෙදෙනා ම වෙන වෙන ම එයින් බාගයක් තබා ගැනීමට මා ඒ නො‍්ට්ටුව දෙකට ඉරූ පසු එක කොටසක් මම ගත්තෙමි. අනික් කොටස රිදී සමඟ තැබුවෙමි. ඔහුගේ ආරක්ෂාවට මේ රිදී තබා අවුරුදු විස්සක් ගෙවී ගියා යයි සිතන එකත් මට පුදුමයි! දැන් ඉතින්, ම පුත, නුඹ සමඟ යන පිණිස විශ්වාසවන්ත කෙනෙකු සොයාගන්න. නුඹ ආපසු එන තෙක් ඔහු වැය කළ කාලයට අපි මුදල් ගෙවන්නෙමු. දැන් ඉතින් ගොස් මුදල් ගබයෙල්ගෙන් එකතු කරගන්නැ”යි කී ය.
4 තමා සමඟ මේදියාවට යන්නට පාර දන්නා මිනිසෙකු සෙවීමට තෝබියස් පිටත් ව ගියේ ය. එවිට පිටත දී රපියල් දේව දූතයා තමාට මූණ ලා සිටින බව ඔහුට දකින්ට ලැබිණි. එහෙත් ඒ තැනැත්තා දෙවියන් වහන්සේගේ දූතයකු බව ඔහුට හැඟුණේ නැත. 5 ඔහු ද, ”මිතුර, ඔබ කොහෙන් එන්නෙහි දැ”යි ඇසූ විට දේව දූතයා උත්තර දෙමින්, ”මම ඔබේ ඉශ්රායෙල් ජාතික සහෝදරයන්ගෙන් කෙනෙක්මි. මා මේ පළාතට පැමිණියේ රක්ෂාවක් සොයාගෙන ය”යි කීවේ ය. එවිට තෝබියස්, ”ඔබ මේදියාවට යන පාර දන්නෙහි දැ”යි ඇසූ විට, 6 ඔහු ද, පිළිතුරු දෙමින්, ”ඇත්තෙන් ම, මම දනිමි. මා බොහෝ වර එහි ගොස් ඇත. මම එහි පාරවල් සියල්ල ම කටපාඩමින් දනිමි. මම බොහෝ විට මේදියාවට ගොස් එහි රාගේස් නම් ස්ථානයේ වසන අපේ ඥාතියෙකු වන ගබයෙල් සමඟ නැවතී ඇත්තෙමි. එක්බතානාවේ සිට රාගේස්ට යෑමට සාමාන්‍යයෙන් සම්පූර්ණ දින දෙකක් ගත වේ; රාගේස් පිහිටා ඇත්තේ කඳුකරයේ ය. එක්බතානා තැනිතලාව මධ්‍යයේ ය”යි කීවේ ය. 7 තෝබියස් ද කතා කොට, ”මිතුර, මා එන තුරු සිටින්න. මම ගොස් මාගේ පියාට දන්වන්නෙමි. ඔබ මා සමඟ යන පිණිස ඔබ මට අවශ්‍ය වේ. ඔබ ගන්න කාල වේලාවට මම මුදල් ගෙවමි”යි කීය. 8 එවිට අනික් තැනැත්තා උත්තර දෙමින්, ”හොඳයි, මම බලා සිටින්නෙමි. එහෙත් වැඩියෙන් ප්‍රමාද නොවන්නැ”යි කීවේ ය.
9 තෝබියස් ගෙට ඇතුල් වී ඉශ්රායෙල් ජාතික සහෝදරයකු සම්බ වූ බව තම පියාට දැන්වී ය. පියා ද කතා කොට, ”ඔහු ගෙන එන්න. ඔහුගේ පවුල සහ ගෝත්‍රය ගැන කරුණු සොයාගැන්ම මට ඕනෑ ය. ම පුත, ඔහු විශ්වාසදායි සහකාරයකු වෙන්ට යන්නේ ද කියා දැනගැන්ම මට අවශ්‍යය”යි කී ය. එවිට තෝබියස් පිටත ගොස් ඔහු කැඳවමින් ”මිතුර, මාගේ පියාට ඔබ හමුවෙන්න වුවමනා ය”යි කීවේ ය.
10 දේව දූතයා ගේ තුළට පැමිණියේ ය. තෝබිත් ඔහුට ආචාර කළ විට ඔහු ද සුව පතමින් පිළිතුරු දුන්නේ ය. එවිට තෝබිත් කතා කොට, ”මට නැවත ප්‍රීති වීමට පුළුවන් ද? මම අන්ධ මිනිසෙකි. මට අහසේ ආලෝකය තවත් නොපෙනේ, ආලෝකය නො දකින මියගිය අය මෙන් මම අඳුරෙහි ගිලී සිටිමි. මම පණපිටින් වළලනු ලැබූ මිනිසෙකි. මිනිසුන් කතා කරනු මට ඇසේ. එහෙත් ඔවුන් දැකීමට නුපුළුවනැ”යි කීවේ ය. දේව දූතයා කතා කොට, ”සැනසිල්ලෙන් සිටින්න, නොබෝ කලකින් දෙවියන් වහන්සේ ඔබ සුව කරනු ඇතැ”යි කී ය. තෝබිත් කතා කොට, ”මාගේ පුත් තෝබියස්ට මේදියාවට යන්ට වුවමනා වී තිබේ. ඔහුට මඟ පෙන්වන්නා මෙන් ඔබ ඔහු සමඟ යන්ට කැමැති ද? සොහොයුර, මම ඔබට මුදල් ගෙවන්නෙමි”යි කීවේ ය. දේව දූතයා පිළිතුරු දෙමින්, ”ඔහු සමඟ යන්නට මම කැමැත්තෙමි. මම පාරවල් සියල්ල දනිමි. මා නිතර මේදියාවට ගොස් තිබේ. මා එහි ඇති කඳු තැනිතලා සියල්ල ඔස්සේ ගමන් කර ඇත. පාරවල් සියල්ල ම මම දනිමි”යි කීවේ ය. 11 තෝබිත් කතා කොට, ”සොහොයුර, ඔබ අයිති කුමන ගෝත්‍රයට ද? සොහොයුර, මට එය කියන්නැ”යි පැවසී ය. 12 ”මා අයිති ගෝත්‍රය දැනගැනීමෙන් ඔබට කුමන ප්‍රයෝජනයක් දැ”යි දේව දූතයා ඇසී ය. එවිට තෝබිත්, ”ඔබ කාගේ කවුද කියා ඇත්තෙන් ම දැනගැනීම මට උවමනා ය”යි කීවේ ය. 13 දේව දූතයා පිළිතුරු දෙමින්, ”මම වනාහි ඔබේ ඥාතියකු වූ අර වැදගත් අනනියස්ගේ පුත් වන අසරියස් වෙමි”යි කීවේ ය. 14 ”සොහොයුර, සැරද! ආයුබෝවන්! ඔබේ පවුලේ නම දැනගන්නට ආශාව දැක්වීම ගැන මා සමඟ කෝප නොවන්න. ඔබ උතුම් වංශවත් පෙළපතකට නෑකම් කියන, මාගේ ම ඥාතියකු බව මට පෙනේ. අර ශ්‍රේෂ්ඨ ෂෙමායාගේ පුත්‍රයන් දෙදෙනා වන අනනියස් සහ ජාතන් මම දනිමි. ඔවුන් මා සමඟ ජෙරුසලමට ගොස් ඇත. අපි එහි දී එකට නමස්කාර කෙළෙමු. ඔව්හු කවදාවත් යහ මඟින් ඉවත් ව නො ගියහ. ඔබේ සහෝදරයෝ සම්භාවනීය අය වෙත්. ඔබ එන්නේ වංශවත් පෙළපතකිනි. ඔබට සැප වේ වා!”යි තෝබිත් කී ය.
15 තවදුරටත් ඔහු කතා කරමින්, ”මාගේ පුතාට මෙන් ඔබට ද වියදම් වශයෙන් දිනපතා වේතනයක් ගෙවන්න පොරොන්දු වෙමි. 16 එවිට මම පොරොන්දු වූ කුලියටත් වඩා දෙන්නෙමි”යි කී ය. දේව දූතයා ද කතා කොට, ”මම ඔහු සමඟ ගමන ගොස් හමාර කරමි. බිය නොවන්න. අප යන විට සියල්ල හොඳ අතට හැරෙනු ඇත. ආපසු එන විට ද සියල්ල හොඳ අතට හැරෙනු ඇත. මාර්ගය ආරක්ෂා සහිතය”යි කී විට, ”සොහොයුර, ඔබට ආශීර්වාද වේ වා!”යි තෝබිත් පැවසී ය. 17 එවිට ඔහු තම පුත්‍රයා වෙතට හැරී, ”ම පුත, ගමනට අවශ්‍ය දේ සූදානම් කරගෙන ඔබේ සහෝදරයා සමඟ යන්න. ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේ පිටත දී ඔබ ආරක්ෂා කොට, ඔබ දෙදෙනා ම නැවත මා වෙත යෙහෙන් සුවෙන් ගෙන එන සේක් වා! ම පුත, උන් වහන්සේගේ දේව දූතයා ඔබ සමඟ ගොස් ඔබ ආරක්ෂා කෙරේ වා!”යි කී ය.
තෝබියස් ද ගෙදරින් යන්නට පිටත් වී, සිය මව හා පියා සිඹගත්තේ ය. තෝබිත් ද කතා කොට, ”සුබ ගමනක් වේ වා!”යි කී ය. 18 එවිට ඔහුගේ මව හඬන්නට පටන්ගෙන තෝබිත්ට කතා කොට, ”ඔබ මාගේ පුත්‍රයා යන්ට හැරිය යුත්තේ මන් ද? ඔහු අපේ පණිවුඩ එහා මෙහා රැගෙන යන බැවින්, ඔහු අපේ අතට තිබෙන සැරයටිය මෙන් නොවේ ද? 19 ඇත්තෙන් ම වැදගැම්මකට ඇති දේ මුදල් පමණක් ද? ඇත්තට ම මුදල් අපේ දරුවා මෙන් වටිනා දෙයක් ද? 20 දෙවියන් වහන්සේ දැනට අපට දී ඇති ජීවන මාර්ගය යහපත් ය”යි කීවා ය. 21 එවිට ඔහු කතා කොට, ”එසේ නොසිතන්න, අපේ දරුවා යන විටත් එන විටත් සියල්ල හොඳ අතට හැරෙනු ඇත. ඔහු නැවත ගෙදර එන දවසේ දී ඔහුට සියල්ල හොඳ අතට හැරී තිබෙන හැටි ඔබට පෙනෙනු ඇත. එබැවින් කලින් සිතූ පරිදි නොසිතන්න. මාගේ සොහොයුරිය, ඔවුන් ගැන කරදර නොවන්න. 22 ඔහු සමඟ යහපත් දේව දූතයෙක් යන්නේ ය. ඔහුට සුබ ගමනක් අත් වේ. ඔහු ආපසු අප වෙත යෙහෙන් සුවෙන් එනු ඇතැ”යි පිළිතුරු දුනි. එසේ කී පසු ඈ හැඬීම නැවැත්වූවා ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW