තෝබිත් – 4 වන පරිච්ඡේදය –

තෝබියස්ගේ කතාව

1 එදින තෝබිත්ට ඔහු විසින් මේදියාවේ, රාගේස් නම් ස්ථානයේ ගබයෙල් නම් තැනැත්තා ළඟ තබන ලද රිදී මතක් වී, 2 ”මා මියයාම සඳහා යාච්ඤා කරන වේලාව දැන් පැමිණ තිබේ. මා මැරෙන්න කලින් මාගේ පුත්‍රයා වන තෝබියස් කැඳවා මුදල් ගැන ඔහුට කීම හොඳය”යි සිතී ය. 3 ඔහු ද සිය පුත් තෝබියස් කැඳවා ඔහුට මෙසේ කීවේ ය: ”මා මියගිය පසු ගෞරව සහිත ව මා භූමදාන කරන්න. ඔබේ මවට ගෞරව කරන්න. ඔබේ මුළු ජීවිත කාලයේ ම ඔබ ඇය කවර දිනක වත් අත් නොහරින්න. ඈට වුවමනා සියල්ලක් ම කරමින් ඈට කිසි දුකක් නොදෙන්න. 4 ම පුත, නුඹ ඇගේ කුසයේ සිටිය දී නුඹ උදෙසා ඈ මුහුණ පෑ සියලු අන්තරාවන් සිහි කරන්න. ඈ මියගිය පසු එක ම සොහොන් වළේ මා ළඟ ඇය භූමදාන කරන්න.
5 ”ම පුත, නුඹේ මුළු ජීවිත කාලයේ ම සමිඳාණන් වහන්සේට විශ්වාසවන්ත ව සිටින්න. පව් කිරීමට හො‍් උන් වහන්සේගේ ආඥාවන් කඩ කිරීමට හො‍් කවදාවත් සිතට නොගන්න. නුඹේ මුළු ජීවිත කාලයේ ම යහපත් ක්‍රියා කරන්න. හරි නැති මාර්ගයෙහි කවදාවත් නොයන්න. 6 සියල්ලෝ හරි දේ කරන්නො‍් නම් සාර්ථක වන්නාක් මෙන් නුඹ ද සත්‍යවාදි ලෙස ක්‍රියා කළොත් නුඹේ සියලු කටයුතුවල දී නුඹ සාර්ථක වන්නෙහි ය.
7 ”නුඹේ වත්කමෙන් කොටසක් දන්දීම සඳහා වෙන් කරන්න. කිසි දිළින්දෙකුගෙන් නුඹ මුහුණ අහකට හරවා නොගත යුතු ය. එවිට දෙවියන් වහන්සේ ද නුඹෙන් සිය මුහුණ අහකට හරවා නොගන්නා සේක. 8 නුඹට ඇති දෙයින් දෙන දානය මැනිය යුතු ය. වැඩියෙන් තිබේ නම්, වැඩියෙන් දෙන්න. අඩුවෙන් තිබේ නම් අඩුවෙන් දෙන්න. එහෙත් දන්දීමේ දී මසුරු නොවන්න. 9 මෙසේ කිරීමෙන් අවශ්‍ය දවසේ දී නුඹේ යහපත සඳහා නුඹ මහා නිධානයක් රැස් කරගන්නෙහි ය. 10 දන්දීම මරණින් මුදයි; මිනිසුන් අන්ධකාරයට බැස යාමෙන් ගළවයි. 11 මහො‍්ත්තමයාණන් වහන්සේ ඉදිරියෙහි දාන දෙන සියල්ලන් හට එය ඉතා වැඩදායක පූජාවකි.
12 ”ම පුත, අවිනීත ලෙස හැසිරීමෙන් ඉවත් වන්න. නුඹේ පියාගේ වංශයෙන් බිරිඳක් තෝරාගන්න. අපි දිවැසිවරුන්ගේ පුත්‍රයන් බැවින් නුඹේ පියාගේ ගෝත්‍රයට පිටතින් විදේශික බිරිඳක් සරණ පාවා නොගන්න. මුල පටන් සිටි අපේ ආදි පියවරුන් වන නො‍්වා, ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් සිහි කරන්න. ඔව්හු සියල්ලෝ ම තමන්ගේ ම වංශවලින් භාර්යාවන් පාවාගත්හ. තමන්ගේ දරුවන් මඟින් ඔව්හු ආශීර්වාද ලත්හ. ඔවුන්ගේ වංශය පොළොව උරුම කරගන්නේ ය. 13 ම පුත, නුඹ ද නුඹේ ම සහෝදරයන් හෙළා දැකීමට කවදාවත් සිතට නොගන්න. අහංකාරය, විනාශය ද බොහෝ කරදර ද උපදවයි. සාගතයේ මව කම්මැලිකම බැවින්, කම්මැලිකම අගහිඟකම ද දිළිඳුකම ද උපදවයි.
14 ”නුඹ උදෙසා වැඩ කරන කම්කරුවන්ගේ කුලිය පසු දින වන තෙක් නො දී තබා නොගන්න. වහාම එය ගෙවන්න. නුඹ දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙහි නම්, හොඳ විපාක ලබනු ඇත. ම පුත, නුඹ කරන සියල්ලෙහි දී පරෙස්සම් වන්න, නිතර ම නුඹ හොඳට විනයානුකූල ව හැසිරෙන්න. 15 අන් කෙනෙකු නුඹට කරනවාට නුඹ අකමැති දේ නුඹ ද අන් කෙනෙකුට නොකරන්න. වෙරිමත් වෙන තෙක් මිදියුස නොබොන්න. එය පුරුද්දක් වන්ට ඉඩ නොදෙන්න.
16 ”සාගිනි අයට නුඹේ කෑම ද නිර්වස්ත්‍ර අයට නුඹේ වස්ත්‍ර ද දෙන්න. නුඹට බොහෝ සේ තිබෙන දෙයින් යම්කිසි ප්‍රමාණයක් දන් දීමට වෙන් කරන්න. 17 නුඹ දන් දෙන විට, මසුරුකමින් එය නොකරන්න. දැහැමියන්ගේ සොහොන් කොත් මත මිදියුස වත්කර ආහාර පූජා කරන්න. එහෙත් පව්කාරයන්ට එලෙස නොකරන්න.
18 ”සෑම නැණවතෙකුගෙන් අවවාද ගන්න. වැඩදායක අවවාදය කවදාවත් හෙළා නොදකින්න. 19 සියල්ලෙහි දී දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. නුඹ යන මාර්ගය පෙන්වා දෙනු සඳහා නුඹේ මාර්ග සහ පරමාර්ථයන් සාර්ථක වන පිණිස ද එතුමන්ට යාච්ඤා කරන්න. මන්ද, ප්‍රඥාව සියලු ජාතීන්ට නොදෙනු ඇත. යහපත් සියල්ල දෙන්නේ සමිඳාණන් වහන්සේ ම ය. උන් වහන්සේගේ කැමැත්ත අනුව, උන් වහන්සේ යමෙකු උසස් කරන සේක; නැත්නම් මළවුන්ගේ භවනයේ පතුලට යමෙකු හෙළාදමන සේක. එබැවින්, ම පුත, මේ නියමයන් සිහි කොට, නුඹේ සිතින් ඒවා මැකීයාමට ඉඩ නොදෙන්න.
20 ” දැන් ඉතින්, ම පුත, මේදියාවේ රාගෙස් නම් ස්ථානයේ ගබ්රියස්ගේ පුත් වන ගබයෙල් ළඟ මා රිදී කාසි දහයක් තැබූ බව නුඹට දැන්විය යුතු ය. 21 ම පුත, අප දිළිඳු වන නමුත් බිය නොවන්න. 22 නුඹ දෙවියන් වහන්සේට ගරුබිය පාන්නෙහි නම්, කුමන පාපයකින් වේවා වැළකී සිටින්නෙහි නම්, නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රසන්න දේ කරන්නෙහි නම් නුඹට විශාල සම්පතක් ලැබේ.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW