තෝබිත් – 13 වන පරිච්ඡේදය –

තෝබිත්ගේ පැසසුම් ගීය

1 ඉන්පසු තෝබිත් මෙසේ කීවේ ය. ”සදා ජීවත් වන දෙවි තුමන්ට පැසසුම් වේ වා!
හැම යුගයක් තුළ එතුමන් රජය පවතිනු ඇත.
2 උන් වහන්සේ දඬුවම් දෙන සේක;
ඉන්පසු දයා පාන සේක. එතුමාණෝ පාතාල ලොවේ පතුලට මිනිසුන් යවන සේක;
මහා විනාශයෙන් ඔවුන් ගළවාගන්න සේක.
එතුමන්ගේ බලයෙන් බේරීමට කිසිවෙකුට බැරි ය.
3 එම්බා ඉශ්රායෙල් ජනයෙනි!
ජාතීන් අබිමුව එතුමන්ට පැසසුම් කරන්න.
එතුමාණන් ඔබ ජාතීන් අතර විසුරුවාදැමුව ද
4 එහි දී පවා එතුමාණෝ සිය මහන්තත්ත්වය ඔබට පෙන් වූ සේක.
සියල් ජීවතුන් අබිමුව උන් වහන්සේ උසස් කරන්න.
එතුමාණෝ අපේ සමිඳාණෝ ය;
එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය;
එතුමාණෝ අපේ පියාණෝ ය.
එතුමාණෝ සදහට ම දෙවියන් වහන්සේ ය.
5 ඔබේ දුෂ්ටකම්වලට එතුමාණන් දඬුවම් දෙන නමුත් එතුමාණෝ ඔබ හැමට දයාව පාන සේක.
ඔබ කිනම් ස්ථානයකට විසිර ගොස් සිටිතත් එතුමාණෝ සෑම ජාතියකින් ම ඔබ රැස්කරගත් සේක.
6 ඔබේ මුළු සිතින් හා මුළු හදින් එතුමන් වෙත අවංක ව හැසිරෙමින් ඔබ එතුමන් වෙත හැරී එන්නහු නම්, එතුමාණෝ ද ඔබ වෙත හැරී එන සේක;
තවදුරට මුහුණ සඟවා නොගන්න සේක.
කොපමණ හොඳින් ඔබට එතුමාණෝ සත්කාර කළ සේක් ද යන්න ගැන කල්පනා කරන්න.
හඬ නඟා එතුමන්ට තුති දෙන්න.
යුක්තියේ සමිඳුන් පසසන්න.
සදාතන රජතුමාණන් උසස් කරන්න.
7 මම විදේශයක සිට එතුමන් හට ප්‍රශංසා කරමි.
පව් කළ ජාතියකට එතුමන්ගේ බලය සහ මහන්තත්ත්වය දන්වමි.
8 පවිටුනි, එතුමන් වෙත හැරී එන්න.
එතුමන් අබිමුව ඔබේ හැසිරීම දැහැමි වේ වා!
දැහැමි වන විට එතුමාණන් ඔබට කරුණාව පානු ඇත.
ඔබට අනුකම්පාව දක්වනු ඇත.
9 එහෙත් මම දෙවිඳුන් උසස් කරමි.
මාගේ හද සගලොව රජිඳුන් තුළ ප්‍රීති ප්‍රමො‍්ද වනු ඇත.
සියලු මිනිසුන්ගේ තොල් මත එතුමන්ගේ මහන්තත්ත්වය පවතී වා!
එතුමන්ගේ ගුණ වැණුම සියලු දෙනා ජෙරුසලමෙහි, ගායනා කරත් වා!
එම්බා ජෙරුසලම, එම්බා ශුද්ධ නගරය, ඔබේ පව්කම් නිසා දෙවි තුමාණෝ ඔබට කස පහරවලින් තැළූ සේක.
එහෙත් දැහැමියන්ගේ පුත්‍රයන් හට දයාව පාන සේක.
10 ඔබින ලෙස සමිඳුන් හට තුති පුදන්න.
සදාතන රජිඳුන් පසසන්න.
එවිට ඔබ අතර ප්‍රීතියෙන් ඔබේ මාලිගය ඉදි කරනු ලැබේ.
ඔබ අතර සිටින විප්‍රවාසීගත වූවන් එතුමාණෝ සනසන සේක.
අනාගත හැම පරපුරක් දක්වා ඔබ අතර පීඩා විඳින සියල්ලන්ට එතුමාණෝ ප්‍රේම කරන සේක.
11 මිහි පිට සියලු පෙදෙස් මත දීප්තිමත් එළියක් බබලනු ඇත.
දෙවි සමිඳුන්ගේ ශුද්ධ නාමයට සමීප ව වසන පිණිස බොහෝ දුර සිට ද මිහි පිට සෑම රටකින් ද බොහෝ ජාතීහු, සගලොව රජිඳුන්ට දෙන පිණිස තම අත්වල තෑගිබෝග ඇති ව එන්නාහ.
පරපුරින් පරපුරට ඔබ අතර ජනයා ඔවුන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කරන්නො‍් ය.
දෙවිඳුන් තෝරාගත් ජාතියක් වන ඔබේ නාමය සදා පවතිනු ඇත.
12 ඔබට නිගරු කරන්නන්ට සාප වේ වා!
ඔබේ පවුරු බිඳින්නන්ට, කුළුණු බිඳ සමතලා කරන්නන්ට ඔබේ ගෘහයන් දවාලන අයට සාප වේ වා!
ඔබේ නගරය ගොඩනඟන්නන්ට සදා පැසසුම් වේ වා!
13 එවිට දැහැමි අයගේ පුත්‍රයන් ගැන ඔබ කුල්මත් වනු ඇත;
ප්‍රීති ප්‍රමො‍්ද වනු ඇත.
මන්ද, ඔවුන් සියල්ලෝ එකතු කරනු ලබන්නාහ.
සදා සමිඳුන් හට පැසසුම් කරනු ලබන්නාහ.
14 ඔබට ප්‍රේම කරන තැනැත්තෝ වාසනාවන්තයෝ ය.
ඔබේ සාමය ගැන ප්‍රීති ප්‍රමො‍්ද වන්නො‍් වාසනාවන්තයෝ ය.
ඔබේ සියලු දඬුවම් ගැන වැලපෙන්නො‍් වාසනාවන්තයෝ ය.
මන්ද, ඉදිරියට උදා වන ඔබේ සියලු වාසනාව දැක ඔව්හු විගස ඔබ අතර ප්‍රීති ප්‍රමො‍්ද වන්නො‍් ය.
15 ම සිත මහා රජිඳුන් වන සමිඳුන් පසසයි.
16 මන්ද, ජෙරුසලම අලුතින් සාදනු ලැබේ, එහි මාලිගය සදහට ම සාදනු ලැබේ.
ඔබේ තේජාලංකාරය දැක සගලොව රජිඳුන් පසසනු පිණිස මාගේ පරපුරින් පැවතෙන එක් කෙනෙක් වත් ඉතිරි වුවහොත් එය කොතරම් සතුටක් ද?
ජෙරුසලමෙහි වාසල් දොරටු ඉඳුනිල් මිණි කැටවලින් ද මරකත මැණික්වලින් ද ඔබේ පවුරු අගනා මැණික්වලින් ද ගොඩනඟනු ඇත.
ජෙරුසලමෙහි කොත් රනින් ද ඒවායේ අට්ටාල දඹ රනින් ද ගොඩනඟනු ඇත.
17 ජෙරුසලමෙහි වීථිවලට රතු කැට හා අගනා මැණික් ගල් අල්ලනු ලැබේ.
ජෙරුසලමෙහි වාසල් දොරටු ජය ගීත රාවයෙන් ඒකනින්නාද වනු ඇත.
එවිට එහි වසන සියල්ලෝ ‘ආලේලූයා!
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි තුමන්ට ප්‍රශංසා වේ වා!’යි කියන්නො‍් ය.
ඔබ අතර සදහට ම ඔව්හු ඒ ශුද්ධ නාමය සඳහට ම පසසන්නො‍් ය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW