තෝබිත් – 12 වන පරිච්ඡේදය –

රපියල්

1 මංගල්‍යයට පසු තෝබිත් තම පුත් තෝබියස් අමතා, ”මාගේ පුත්‍රය, නුඹ සමඟ ගමන ගිය මිතුරාට නිසි කුලිය ගෙවීමට කල්පනා කළ යුතු ය. ගිවිසගත් කුලියට වඩා වැඩියෙන් දෙන්නැ”යි කීවේ ය. 2 තෝබියස් උත්තර දෙමින්, ”පියාණෙනි, ඔහු කළ උපකාරයට මම කොපමණ දෙන්න ද? ඔහු මා සමඟ ආපසු ගෙනා වස්තුවෙන් බාගයක් ඔහුට දුන්නත්, මට එයින් පාඩුවක් නැත. 3 ඔහු ඔබ වෙත මා යෙහෙන් හා සුවෙන් ගෙනාවේ ය. ඔහු මාගේ බිරිඳ සුවපත් කෙළේ ය. ඔහු මුදල් ද ආපසු ගෙනාවේ ය. දැන් ඉතින් ඔහු ඔබ ද සුවපත් කෙළේ ය. මේ සියල්ල සඳහා මම කොපමණ ඔහුට දෙන්නෙම් දැ”යි ඇසී ය. 4 තෝබිත් කතා කොට, ”ඔහු ආපසු ගෙනා දෙයින් බාගයක් ලැබීමට ඔහු සුදුස්සෙකු වී ඇතැ”යි කීවේ ය. 5 එවිට තෝබියස් තම මිතුරාට කතා කොට, ”ඔබ කළ සියල්ල සඳහා ඔබ ආපසු ගෙනා දෙයින් බාගයක් කුලිය වශයෙන් රැගෙන, සාමදානයෙන් යන්නැ”යි කීවේ ය.
6 එවිට රපියල් දෙදෙනා ම පැත්තකට ගෙන ඔවුන් අමතා, ”දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ ඔබට දානය කළ සියලු ප්‍රසාද ගැන ජීවතුන් සියලු දෙන ඉදිරියෙහි උන් වහන්සේගේ ප්‍රශංසා කියන්න. උන් වහන්සේට ප්‍රශංසා කර, උන් වහන්සේගේ නාමය උතුම් කොට දක්වන්න. සියලු මිනිසුන් ඉදිරියෙහි උන් වහන්සේගේ ක්‍රියාවන්ට ඔබින ලෙස ඒවා ප්‍රකාශ කරන්න. උන් වහන්සේට ප්‍රශංසා කිරීම නොනවත්වා කරන්න. 7 රජ කෙනකුගේ රහස සඟවා තැබීම හරි ය. එහෙත් දෙවියන් වහන්සේගේ ක්‍රියා අනාවරණය කොට ඒවා ප්‍රකාශ කිරීම යුතු ය. උන් වහන්සේට සුදුසු ලෙස ස්තුති කරන්න; යහපත කරන්න; එවිට නපුරක් ඔබට සිදු නොවනු ඇත.
8 ”යාච්ඤා කිරීමත්, උපවාස කිරීමත්, දැහැමි කල්ක්‍රියාවෙන් යුක්ත ව දන් දීමත් දුෂ්ටකමින් ධන සම්පත් ලබාගැනීමට වඩා හොඳ ය. 9 රත්රන් නිදන් කරනවාට වැඩියෙන් දන් දීමට පුරුදු වීම හොඳ ය. දන් දීම මරණයෙන් මුදයි. විවිධාකාර පාපයන්ගෙන් පවිත්‍ර කරයි. දන් දෙන අය චිරාත් කල් ජීවත් වන්නො‍් ය. 10 පව්කාර නපුරු ක්‍රියා කරන අය තමන් පිටට අනතුරු පමුණුවා ගන්නො‍් ය.
11 ”ඔබෙන් කිසිවක් නොසඟවා සම්පූර්ණ ඇත්ත ඔබට කියන්නට අදහස් කරමි. රජ කෙනෙකුගේ රහස සැඟවීම හොඳ බවත්, දෙවියන් වහන්සේගේ ක්‍රියා සුදුසු ලෙස අනාවරණය කිරීම හොඳ බවත් මා ඔබට කලින් කියා තිබේ. 12 එබැවින් ඔබත් සාරාත් යාච්ඤා කරන විට ඒවා කියෙව්වෙත් දෙවියන් වහන්සේගේ තේජාලංකාරය ඉදිරියෙහි ඔබේ යැදුම් ඔප්පු කෙළෙත් මා බව ඔබ දැනගත යුතු ය. ඔබ මළා වූ අය භූමදාන කරන විට ද මම එසේ කෙළෙමි. 13 මියගිය මිනිසෙකු භූමදාන කරන පිණිස ඔබ මේසයෙන් නැඟිට යාමට ප්‍රමාද නුවූ විට, ඔබේ ඇදහිල්ල පරීක්ෂා කරනු පිණිස මම එවනු ලැබීමි. 14 ඒ වේලාවෙහි ම ඔබත් ඔබේ ලේලි සාරාත් සුව කරනු පිණිස දෙවියන් වහන්සේ මා එවූ සේක. 15 රපියල් වන මම සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය ඉදිරිපිට පැමිණීමට නිතරම සූදානම් ව සිටින දේව දූතයන් සත් දෙනාගෙන් කෙනෙක් වෙමි”යි කීවේ ය.
16 එවිට ඔවුන් දෙදෙනා ම බියෙන් තුෂ්ණිම්භූත වී මුණින් වැටුණේ ය. 17 එහෙත් දේව දූතයා කතා කොට, ”බිය නොවන්න, ඔබට සාමදානය වේ වා! සදහට ම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. 18 මා ඔබ සමඟ සිටිය විට මා එසේ සිටියේ මගේ ම තීරණයකින් නොව දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ය. ඔබට දිවි ඇතිතාක් ඔබ ප්‍රශංසා කළ යුත්තේ උන් වහන්සේට ය. පැසසිය යුත්තේ උන් වහන්සේ ය. 19 මම ආහාර අනුභව කරනු ඔබ දුටුවහු යයි ඔබ සිතනු ඇත. එහෙත් එය පෙනුමට කළ යමක් මිස වෙන දෙයක් නොවේ. 20 දැන් මිහි පිට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කොට, උන් වහන්සේට ස්තුති කරන්න. මා එවූ තැනැත්තා ළඟට ආපසු යන්නට මා දැන් සූදානම් ය. සිදු වූ සියල්ල ලියා තබන්න”යි කීවේ ය. 21 මෙසේ කියා ඔවුන් යළි නැඟිට්ට විට ඔහු ඉන්පසු දර්ශන නො වී ය. ඔව්හු ගී ගයා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය; එයාකාර පුදුම දේ කිරීම ගැන උන් වහන්සේට ස්තුති කළහ. ඔවුන්ට දර්ශන වූයේ දෙවියන් වහන්සේගේ දූතයෙක් නොවේ ද?

Suba Asna - සුබ අස්න

FREE
VIEW