ශු. ජුවාම් අපෝස්තුලුතුමා

මෙතුමා අපෝස්තුලුවරයෙකි. සුවිශේෂ කතුවරයෙකි. ඇරමයික් බසින් මෙතුමාගේ නාමයේ අර්ථය වන්නේ ” යාවේ දුන් තිලිණය යන්නයි. ” පියා සෙබදිය. මව සලෝමිය. ඇය දෙව් මව්ගේ ඉතා කිට්ටු ඥාතියකු විය. පාරම්පරිකව බෙත්සයිදා වැසියෙක් වුවද මුලු පවුලම වාසය කලේ කපර්නාවුම්හි ගලීලයේ මුහුද අසලය. ශු. ජේම්ස් තුමා මෙතුමාගේ සහෝදරයාය.

ඉතා දක්ෂ ධීවරයකු වු මෙතුමා, තම පියා වු සෙබදිද, සොහොයුරු ජේම්ස්ද සමග ගලීල මුහුදෙහි මසුන් ඇල්ලීම තම රැකියාව කර ගත්තේය. තවද, පේදුරු යන අය සමගද ඉතා සහයෝගයෙන් කටයුතු කල අයෙකි.

කිතු සමිදුන් ජුවාම් සහ ජේම්ස් යන දෙසොහොයුරන් කැදවිමට පෙර ඔව්හු ස්නාවක ජුවාම් තුමාගේ ගෝලයෝ වුහ. ස්වාමින් වහන්සේ වෙතට ඔවුන් යොමු කරන ලද්දේ ස්නාවක ජුවාම් තුමා විසින්මය. ජුවාම් තුමා එතුමාගේ සුවිශේෂ පොත සහ එළිදරව් පොත නිසා කීර්තියක් ලබයි. ඉතා පුද්ගලික කරුණු සැපයෙන එතුමාගේ සුවිශේෂයේ මහෝත්තම හා දිව්‍යමය කිතු සමිදුන් උන්වහන්සේගේ මෙලොව ජිවිත සිද්ධින් තුලින් මවාපායි. එතුමාගේ සුවිශේෂයේ කිසිවිටක තම නම සදහන් නොකරයි. එහෙත් ඒ වෙනුවට පෙනී සිටින්නේ ශ්‍රාවකයෙක්, අනේක් ශ්‍රාවකයා, උන්වහනසේ ප්‍රේම කල තැනැත්තා , ක්‍රිස්තුන් වහන්සේගේ ඇලයෙහි හාන්සි වු තැනැත්තා යන නම් වලිනි.

ස්ථිර වශයෙන් ජේසුස් වහන්සේව අනුගමනය කිරීමේ වාසනාව ඔවුනට උදාවුයේ මසුන් රාශියක් අසුවීමේ ප්‍රාතිහාර්යයෙන් පසුවය. ” ගිගුරුමේ පුතුන් ” යනුවෙන් මේ සොහොයුරන් දෙදෙනා හැදින්වුයේ ජේසු තුමන්මය. එහි අදහස ” ඉක්මනින් කිපෙන්නන් ” යන්නය. එම නම ඔවුනට ගැලපෙන බවට පහත සිද්ධීන් සාක්ෂි දරයි. කිතු තුමන් නොපිළිගත් , එතුමන්ට ආගන්තුක සත්කාර නොකල සමරිතානුන් මත අහසින් ගිනි ඒමට ඉල්ලීම හා තවත් අවස්ථාවක ස්වාමින් වහන්සේගේ ශ්‍රාවක නොවන අයෙක් එතුමන්ගේ නාමයෙන් යකුන් දුරු කරද්දි තදින් උරණව කතා කිරිම වැනි අවස්ථා වලින් පැහැදිලිව සනාථ වේ
ජේසු තුමන් ප්‍රේම කල ගෝලයා හැටියට, ජයිරස්ගේ දුව මළවුන්ගෙන් නැගිටවිම, රුප විලාශ විම හා මල් උයනේ දුක් විදිම යන අවස්ථා තුනම දැකිමට එතුමාට වාසනාව ලැබිණි. අන්තිම රාත්‍රි භෝජනය පිලියෙල කිරිම පිණිස යවනු ලැබුවේද පේදුරු තුමා සමග මෙතුමාය. මේ අවස්ථාවේ ගෝලයන්ගෙන් බාලයාවුද, සමිදුන්ගේ ආදරවන්ත ගෝලයාවුද මෙතුමා සමිදුන්ට තුරුල්ව සිටිමේ අවස්ථාවද ලැබුණි. ඒ හැර කිතු සමිදුන් පාවා දුන් රාත්‍රියෙහි ජේසු තුමන්ගේ ආදරවන්ත ගෝලයාට කයිපස් නම් පුජකයාගේ මාලිගාවට යාමට අවසර ලැබුනි. ජේසු තුමා කුරුසියෙහි දුක් විදිද්දි ගෝලයන් දොලොස් දෙනාගෙන් කුරුසිය පාමුල සිටි එකම ගෝලයා වු එතුමාට සමිදුන් විසින් තම මෑණියන් භාර කරන ලදි. සමිදු සිරුර භූමදානයට සුදානම් කල එකම ගෝලයාද මෙතුමා විය.

ස්ප්‍රින්තු සාන්තු ආගමනයෙන් පසු පේදුරු තුමා සමග දේව මාලිගයේ යාච්ඤාවට ගිය මෙතුමා එදිනම සවස කොර මිනිසා සුව කිරීමේ ප්‍රාතිහාර්යය සිදු කලේය. ක්‍රිස්තුන් වහන්සේගේ බලය ඔවුන් තුලින් ප්‍රකාශ වු නිසා කුපිත වු අධිරාජයා උතුරන තෙල් කටාරමක දමා එතුමා මරන්න තැත් කලද එතුමාට ඉන් කිසිම හානියක් නොවිය. ඉන්පසු ” පැටිමස් ” නම් ස්ථානයට පිටුවහල් කරනු ලැබු එතුමා ” එළිදරව්” නැමැති පොත ලියන ලද අතර කිතු තුමන්ගේ ආදරය ගැන අවසානය දක්වාම දේශනා කලේය. සිරගතව සිටියදී පවා දේව දූතයෙකුගේ විශේෂ මග පෙන්විමකින් සිර ගෙයින් එලියට ගෙනෙන ලද පේදුරු තුමා හා ජුවාම් තුමා යන දෙදෙනා තම ශ්‍රාවකයින් අතරට ගොස් ක්‍රිස්තුන් වහන්සේ නිසා දුක් විදීමේ ගෞරවයත් , බැහැපත් වීමේ අවස්ථාවත් ලැබිම ගැන ප්‍රීතිය හා සතුට බෙදා ගත්හ. එතුමා පේදුරු තුමා කැටුව සමරියාවේ පවුල් බැහැදැකිමටද සහභාගි විය.
ප්‍රේමයේ අපෝස්තුලුවරයා යන විරුදාවලිය ලද එතුමාගේ අවසන් වදන් වුයේද, ” දරුවෙනි එකිනෙකාට ප්‍රේම කරන්න. වචනයෙන් නොව ක්‍රියාවෙන් හා සත්‍යයෙන් ප්‍රේම කරන්න ” යනුයි. අවසනයේදි තමන් මරණයට පත් කිරිමට තැත් කල දොමිසියානු අගරජුගේ මරණින් පසු එපිසියට හැරි ආවේය. මහලු වනතුරු එහි ජිවත් වු එතුමා ගෝලයන් අතරින් අන්තිමට මියගිය තැනැත්තාය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW