ඔබගේ සිරුර යටත් කරන්න

ඔබගේ සිත හා හැඟීම් වල ස්වභාවය මෙන්ම ශුද්ධාත්මයාණෝ ඔබගේ ශරීරයත් පූර්ණ කරන සේක. ශුද්ධාත්මයාණන්ගේ බලය උදෙසා ඔබ යාච්ඤා කර තිබේ. එය සැබෑවක් බව ඔබ දැන ගන්නා පිණිස එතුමා එම බලය ඔබට හැඟෙන්නට සලස්වන්නට පුළුවන.

අතීතයේ සිදුවූ ලෙසින්ම මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන්ගේ බලයට විවිධාකාර ශාරීරික ප්‍රතික්‍රියා දක්වති. මෝසෙස් තදින් වෙව්ලුවේය. දානියෙල් මළාක් මෙන් බිම වැටුනේය. දාවිත් ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ ප්‍රීතියෙන් නැටුවේය. කොර මිනිසා සුවය ලත් විට ප්‍රීතියෙන් උඩ පැන්නේය. පෙන්තකොස්ත දවසේ 120 දෙනා ආත්මයාණන් වහන්සේ ඔවුන්ට කතා කරන්නට පුළුවන්කම දුන් ලෙස අන්‍ය භාෂාවලින් කතා කළහ.

අප ශරීරයේ අවයවයන් අතරින් පාලනයට වඩාත් අපහසුවන්නේ දිව යයි ශුද්ධ ලියවිල්ල සදහන් කරයි. අප විසින් නොකිව යුතු දේ කියන්නට අප ඉක්මන් වන අතර කිව යුතු දේ කීමට අපි පමා වෙන්නෙමු. එබැවින් අප අපගේ දිව ශුද්ධාත්මයාණන් ඉදිරියේ යටත් කර ශුද්ධ ගෞරවය පිණිස ඒවා යෙදවීමට එතුමාගේ උපකාරය ඉල්ලා සිටිමු. එහි පාලනය භාරගත් බව එතුමා අපට දැනගන්නට සලස්වන අතර දෙවියන්වහන්සේට යාච්ඤා කිරීම හා ප්‍රශංසා කිරීම පිණිස අප මෙහෙයවයි.

ශුද්ධාත්මයාණන්ගේ මෙම ක්‍රියා කිරීම මනුෂ්‍යයෝ නොයෙක් ආකාරයෙන් ලබති. සමහරු නිරායාසව, නිසැකව, බාධා රහිතව සැනෙකින් අන් භාෂාවක් ව්‍යක්තව කතා කරති. ඔවුන් සිය කතා කිරීමේ ඉන්ද්‍රියයන් හුදෙක් ශුද්ධාත්මයාණන්ට යටත් කරති.

අන් අය ටිකින් ටික ශුද්ධාත්මයාණන්ගේ බලයට යටත් වෙති. සමහරු ගොත ගසමින්, වෙර දරමින් තම මව් බසින් පැහැදිලිව කතා කිරීමට වෙහෙසෙති. සමහරු කතා කරන්නට ඉගෙන ගන්නා කුඩා දරුවන් මෙන් ශුද්ධාත්මයාණන් ඔවුන්ට දුන් වචන හෝ වචනයක් හෝ දෙකක් නැවත නැවතත් උච්චාරණය කරති. නමුත් ඔවුන් යාච්ඤා කරන හැම විටකම ශුද්ධාත්මයාණන්ට යටත් වෙන්නට ඉගෙන ගන්නා විට එතුමා ඔවුන්ගේ දිව් පාලනය කර ඔවුන් තුලින් ව්‍යක්තව කතා කරන සේක.

තවත් සමහරුන්ට ඔවුන්ටම නොවැටහෙන නිශ්චිත වචනයක් හෝ වචන කීපයක් පැවසීමට ශුද්ධාත්මයාණන්ගෙන් ප්‍රබල ලෙස බල කිරීමක් හැඟෙයි. මෙම ශුද්ධාත්ම මඟ පෙන්වීම ඇදහීමෙන් පිළිගන්නා ඔවුහු එම වචන පවසති. ඔවුන් එසේ කතා කරන අතර ශුද්ධාත්මයාණෝ ඔවුන්ගේ දිව්‍ පාලනය භාර ගන්නා සේක. එවිට ඔවුන් තමන්ගේ සිතින් නැගෙන වචන නොව දිව්‍යමය බලයෙන් පැමිණෙන අන්‍ය භාෂාවකින් කතා කරන්නට පටන් ගනිති.

ක්‍රිස්තියානි මිෂනාරිවරයකු වන රොබට් ඩබ්ලිව්. කනිංහැම් ඉන්දියාවේදී ලත් අත්දැකීමක් මෙසේය.

“දෙවියන්වහන්ස ඔබට මහිමය වේවා”යි මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සිටියෙමි. හදිසියේම “ඔබ මට ප්‍රශංසා කරමින් මගේ මහිමයට යාච්ඤා කරන්නේ මගේ මහිමයට ඇති ආශාව නිසා නොව ඔබේ බෞතීස්මය ඕනෑ නිසාය”යි මට උන්වහන්සේ පවසන්නාසේ හැඟුණි. මා ආපසු දේව මෙහෙයට ගොස් එතුමා මට ඉගැන්වූ ලෙස මෙසේ එකවරම යාච්ඤා කරන්නට පටන් ගතිමි. “දෙවියන් වහන්ස මෙම රැස්වීම තුලත්, ඔබගේ දරු කැළ තුලත් මා තුලින් මහිමය ලැබුව මැනව. ගෞරවයට පැමිණිය මැනව”.

මා මුළු සිතින් යාච්ඤා කරන විට බලවත් ශෝකයකින් මසිත බර විය. ප්‍රේම කරනු ලැබීමටත් ගෞරවය ලැබීමටත් දෙවියන් වහන්සේ බොහෝ සේ වටින්නාවූ නමුත් අප එසේ නොකරන බැවින් මගේම උවමනාවෙන් නොව පෙර කී ශෝකී ආත්මයෙන් වෙළනු ලදුව මම හදවතින් වැළපුනෙමි.

එම ජ්වලිත හැඟීම එනම් දේව ගෞරවය පිණිස අවුලුනු ඕනෑකම, ඉතා මවිතවූ ප්‍රීතියක් හා නිදහස් භාවයක හැඟීමක් මා වෙත ගෙන ආවේය. මා බැඳී සිටි සියලු බැඳුම් වලින් නිදහස් වී මා දේව ප්‍රේමයෙන් වටවී සිටින සෙයක් මට දැනුනි. මම එම ප්‍රීතියෙන් සිනාසුනෙමි. මා දැරූ සැකයට හා බියටත් මගේ ආත්මයේ එදිරිවදින්ටත්, මට පහර දුන් සැම කනස්සලු වලටත් මම ජයග්‍රාහී ප්‍රීතියකින් යුතුව සිනාසුනෙමි.

දිගු කලක් මුළුල්ලේ ස්වකිය ශුද්ධකම, සාධාරණත්වය, ධර්මිෂ්ඨකම සහ යහපත්කම ගැන තමන් වහන්සේට ප්‍රශංසා කිරීමට ශුද්ධාත්මයාණෝ මට ඉගැන්වූ සේක. ස්වකීය රාජ්‍යය මෙලොවට පැමිණීම පිළිබඳව එතුමාගේ සිත තුල ඇත්තාවූ බලවත් කැමැත්ත ගැන අනතුරුව එතුමා මට ඉගැන්වූ සේක. ක්‍රිස්තුස් වහන්සේව ඔටුනුපලන් රජූ කිරීමට ශුද්ධාත්මයාණන්ට ඇත්තාවූ ඕනෑකම අපි දනිමු නම්……!

එතුමා මට ඉගැන්වූ ඊළඟ පාඩම වුයේ ස්වකිය කැමැත්ත ස්වර්ගයේදී මෙන්ම මෙලොවේදීත් කිරීමට දෙවියන් වහන්සේ තුල වූ බලවත් ඕනෑකමයි. එතුමා පුද්ගලිකවම මා සමඟ සබඳකම් පැවැත්වීමට පටන්ගත් සේක. මගේ සෑම ඉන්ද්‍රියක්ම – මගේ මුළු සිරුරම උන්වහන්සේගේ මහිමය පිණිස සාදන ලද බව එතුමා මට පෙන්වූ සේක.

මේ සියල්ල අතරතුරේ නැණවත් වුත් අසීමිත වුත් ඇති ශ්‍රේෂ්ඨ බලයක් මා කෙරෙහි විය. එනමුත් මගේ කැමැත්ත එම බලය හා සහයෝගය දක්වන තුරු සිය අභිලාෂයන් ඉටුකර ගැනීම ප්‍රතික්ෂේප කළේය.

ඉන්පසු මගේ කතාව ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පැමිණවීම පිණිස යොදා ගැනීමට තමන් බලාපොරොත්තු වූ වග එතුමා මට පැහැදිලිවම දැනගන්නට සැලසු සේක. ලෝකයේ පාපය දුරුකරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණාන් ලෙසත්, සුවදයකයාණන් ලෙසත්, ආත්මයෙන් හා ගින්නෙන් බෞතීස්ම කරන්නා ලෙසත්, මතු පැමිණෙන රජතුමා ලෙසත් ක්‍රිස්තුස්වහන්සේව ගෞරවයට පැමිණවීමට මගේ ජිවිතයෙදීම එතුමාට උවමනා විය.

ඉන්පසු එතුමා දෙන වචන කතා කරන්නට මගේ දිව එතුමාට අවශ්‍ය බව එතුමා මට දැන ගන්නට සැලසු සේක. මා මගේ දිව එතුමාට යටත් කල විට මා නොදන්නාවූ, මට නොවැටහෙන්නාවූ භාෂාවකින් එතුමා මා තුලින් කතා කල සේක. මා දන්නේ ශුද්ධාත්මයාණෝ දෙවියන් වහන්සේ හා රහස් කතා කිරීමට මගේ දිව යොදා ගත් බවට මට හැඟීමක් දුන් බවත්, ශුද්ධාත්මයාණෝ කතා කරන්නට පුළුවන්කම දුන් ප්‍රකාරයට මගේ බලයෙන් කතා කල නොහැකි භාෂාවකින් වුවද මගේ දිවෙන් මා දෙවියන් වහන්සේට නමස්කාර කරමින් ඒ දේව මන්දිරය පිරවීම මුළුමනින්ම සාධාරණ දෙයක් බවත් පෙන්වා දුන් බවයි.

ගහක කොළ දෙකක් හරියටම එක සමානව නොසාදන දෙවියන් වහන්සේ තමන් කැමති ආකාරයෙන් ඔබව ශුද්ධාත්මයෙන් පුරවන සේක. සමහරුන්ව ජේසු තුමන්ව අදහාගත් විගස ශුද්ධාත්මයෙන් පුරවනු ලැබේ. අන්‍යයන් ශුද්ධාත්මය ලබන්නට බොහෝ කලක් යාච්ඤා කරති. කෙසේ හෝ අප කිතුනුවන් වශයෙන් ශුද්ධාත්මයාණන් තුල ජිවත් විය යුතුය. එවිට අපට යක්ෂයාගේ මායම් වලින් ගැලවී , දෙවිදුන් සමග මෙලොව ජීවිතය යහපත් ලෙස දෙව් අණට කීකරු වී ගත කර අවසානයේ ස්වර්ගීය ඵල භුක්ති විදීමට හැකිවනු නිසැකය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW