ශුද්ධාත්ම දීමනාව ඇදහිල්ලෙන් ඉල්ලා ලබා ගන්න

ඔබ ශුද්ධාත්ම බෞතීස්මය ලබන්නේ ඔබ ගැලවීම පිළිගත් ආකාරයටම ඇදහිල්ලෙනි. එනම් දෙවියන්වහන්සේගේ පොරොන්දුව විශ්වාසකර, එතුමා ඔබට දෙන ත්‍යාගය පිළිගැනීමෙනි. විශ්වාස කිරීමටත්, පිළිගැනීමටත් ඔබට උපකාර වන පොරොන්දු කිහිපයක් පහතින් දැක්වේ. ඒවා ඔබ සදහාය. ඒවා කටපාඩම් කර නැවත නැවතත් ඔබටම පවසා ගන්න. ඒවායේ සත්‍යතාවය ඔබ වටහා ගන්න කල එම දේව දීමනාව පිළිගැනීම ඔබට පහසු වනවා ඇත.

ලූක් 11: 9, 11-13 “ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ. ඔබ අතරෙන් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයෙකු දෙයි ද? නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සකු දෙයි ද? මෙ‍සේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?”

දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. ඉල්ලන්නට බිය නොවන්න. එසේම ශුද්ධාත්ම බලය ඔබ කෙරෙහි පැමිණෙන කල බිය නොවන්න. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන සේක. ඔබ එතුමාගේ දරුවෙකි. ඔබ ශුද්ධාත්මයාණන්ට ඉල්ලන කල උන්වහන්සේ යම් හානිදායක දෙයක් ඔබට නොදෙන සේක.

ක්‍රියා 2: 38, 39 – ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය. 39 මන්ද, ඒ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, දුර බැහැර වෙසෙන අන් අයටත්, සැබැවින් ම, අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ටත් ය”

ක්‍රියා 5: 32 “… දෙවියන් වහන්සේට කීකරු වන අයට ප්‍රදානය කර ඇති ශුද්ධාත්මයාණන් වහන්සේ …”

ඔබ ත්‍යාගයක් පිළිගන්නේ ඒ දේ ඔබට බව විශ්වාස කර, එය දෙන අයට ස්තුති කර එය පිළිගැනීමට ඔබගේ අත දිගු කිරීමෙනි. ඔබ එය අතට ගෙන එය ඔබ සතු කර ගනී. මේ ආකාරයෙන්ම ඔබ දේව පොරොන්දුවත් විශ්වාස කර දෙවියන් වහන්සේ වෙත ගොස් එතුමා පිළිගැන්වූ ත්‍යාගය ඉල්ලා ඊට ස්තුති කර එය ඔබගේම දෙයක් ලෙස පිළිගනී. ශුද්ධාත්මයාණෝ පැමිණෙන්නේ ඔබව පුර්ණ කිරීමට බව ඔබ විශ්වාස කරයි. ඔබ ඔබගේ කැමැත්ත, ආශාවන් හා පරමාර්ථ එතුමා ඉදිරියේ යටත් කර ඔබගේ ජිවිතයේ ප්‍රමුඛ ස්ථානය ගන්ට එතුමාට ඉඩ හරි. ඔබ මෙසේ කරන විට එතුමා ඔබව පුර්ණ කරන සේක. ඔබ ඒ බව දැනගනු ඇත.

ගලාති 3: 2, 14 “….ඔබ ආත්මයාණන් වහන්සේ ලැබුවේ…… ක්‍රියා කරණකොටගෙන ද? නැතහොත් සුබ අස්නේ පණිවුඩය පිළිගැනීමෙන් ද? …මෙසේ කෙළේ……. ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබාගන්නා පිණිසත් ය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW