සලමොන්ගේ ප්‍රඥාව – 9 වන පරිච්ඡේදය –

ප්‍රඥාව සඳහා අයැදුම

1 අපේ පියවරුන්ගේ දෙවිඳුනි, දයාවේ සමිඳුනි, ඔබ තම වචනයෙන් සියල්ල මවා වදාළ සේක. 
2 ඔබෙන් පැමිණි මැවිලි පාලනය කරන පිණිසත්, සැදැහැවත්කමින් හා සාධාරණකමින් ලොව පාලනය කරන පිණිසත්, 
3 අවංක ලෙස පාලන බලය මෙහෙයවන පිණිසත් ඔබ ප්‍රඥාව මඟින් මිනිසා පිළියෙළ කළ සේක. 
4 ඔබේ සිහසුන අසල අසුන්ගත් ප්‍රඥාව මට දුන මැනව. 
ඔබගේ සේවකයන් අතුරින් මා නෙරපා නොදැමුව මැනව. 
5 මම වනාහි ඔබේ සේවිකාවන්ගේ පුත්‍රයා වන ඔබේ මෙහෙකරුවෙකි; 
දුබල මිනිසෙකි, මඳ ආයු ඇති කෙනෙකි; 
යුක්තිය හා ව්‍යවස්ථාව ගැන මට ඇත්තේ අල්ප දැනුමකි. 
6 මිනිසුන් අතර සර්ව සම්පූර්ණ කෙනෙකුට වේ වා, ඔබෙන් පැමිණෙන ප්‍රඥාව නැත්නම්, ඔහු ගණන්ගනු ලබන්නේ නිෂ්ඵල කෙනෙකු මෙනි. 
7 ඔබේ ජනතාව කෙරෙහි රජු වශයෙන් ඔබේ දරුදැරියන් විනිශ්චය කරනු පිණිස ඔබ මා තෝරාගත් සේක. 
8 ආරම්භයේ පටන් ඔබ සූදානම් කළ ශුද්ධ මණ්ඩපයේ ප්‍රතිරූපයක් වන දේව මාලිගාවක් ඔබේ සුවිශුද්ධ කන්ද මත ද ඔබේ කූඩාරම තැනූ නගරයේ පූජාසනයක් ද ඉදිකිරීමට ඔබ මට අණ කළ සේක. 
9 ඔබ සමඟ ප්‍රඥාව ඇත. 
ඈ ඔබේ වැඩ දන්නී ය. 
ඔබ ලෝකය සෑදූ විට ඈ ඔබ සමඟ සිටියා ය.
ඔබ ඉදිරියේ ප්‍රසන්න දේ ද ඔබගේ ආඥාවට අනුකූල වන දේ ද ඈ තේරුම්ගත්තී ය. 
10 ඇය සියල්ල දැන තේරුම්ගෙන ඇති බැවින් මට සහාය දීමටත්, මා සමඟ වැඩ කිරීමටත්, ඔබට ප්‍රසන්න දේ මට ඉගැන්වීමටත්, සුවිශුද්ධ සගලොවින් ඇය එව්ව මැනව. 
11 ඔබේ තේජාන්විත සිහසුන වෙතින් ඇය එව්ව මැනව. 
මාගේ ක්‍රියාවල දී ඇය නැණනුවණින් මට මඟ පෙන්වනු ඇත. 
ඇගේ තේජසින් මා රක්ෂා කරනු ඇත. 
12 එවිට මා කරන සියල්ල පිළිගනු ඇත. 
මම ඔබේ සෙනඟ යුතු ලෙස පාලනය කරන්නෙමි. 
මාගේ පියාගේ සිහසුනට සුදුසු කෙනෙක් වන්නෙමි. 
13 දේව අදහස් කුමන මිනිසකුට දත හැකි ද? 
සමිඳුන්ගේ කැමැත්ත කා හට දැනගන්නට හැකි ද? 
14 මැරෙනසුලු මිනිසාගේ කල්පනා සීමිත ය; 
අපේ අදහස් චපල ය. 
15 මන්ද, මැරෙනසුලු කය ආධ්‍යාත්මයට පීඩා කරයි. 
පසින් සෑදුණු මේ ගත, සිතුවිලි ගහණ බුද්ධියට බරකි. 
16 මිහි පිට ඇති දේ ගැන අනුමානකොට සිතීම පවා දුෂ්කර ය. 
අපට ලබාගත හැකි දේ දැනගැනීම දුෂ්කර ය. 
එසේ තිබිය දී සගලොව ඇති දේ සොයාගත හැක්කේ කා හට ද? 
17 ඔබ ප්‍රඥාව නුදුන් සේක් නම්, ඔබ ඉහළින් ශුද්ධාත්මානුභාවය නොඑවූ සේක් නම් ඔබේ අදහස් ගැන කා හට ඉගෙනගත හැකි වේ ද? 
18 මෙලෙස ප්‍රඥාව මඟින් මිහි පිට අයගේ ගමන් මාර්ගය කෙළින් කරනු ලැබ ඔබට ප්‍රසන්න දේ ඔවුන්ට උගන්වා ගැළවීම ලබා දී ඇත.

Suba Asna - සුබ අස්න

FREE
VIEW