සලමොන්ගේ ප්‍රඥාව – 5 වන පරිච්ඡේදය –

විනිශ්චය දිනයේ දී

1 එවිට තමන්ට පීඩා කළ තැනැත්තාට ද, තමන්ගේ දුක් වේදනා ගැන නොසැලකූ අයට ද විරුද්ධ ව, නිර්භීත ව මුහුණ පෑමට දැහැමියා නැඟිටිනු ඇත. 
2 දැහැමියා බලාපොරොත්තු නොවූ ලෙස ගැළවී ඇති බව ඒ අය දැක මවිත වී ඔහු ඉදිරියෙහි බියසුල්ලන් මෙන් වෙවුලන්නො‍් ය. 
3 කණගාටුවෙන් මිරිකී සුසුම්ලමින් ද, හිත් වේදනාවෙන් ද ඔවුන් එකිනෙකාට මෙසේ කියනු ඇත. 
4 ”කලක් අප සිනහ වූයේ මොහු ගැන ය; 
අපේ ඇනුම්පදවලට ගොදුරු වූයේ මොහු ය. 
අපි කෙතරම් අනුවණයෝ ද? 
අප ඔහුගේ ජීවිතය සැලකුවේ උමතුවක් ලෙස ය.
ඔහුගේ මරණය ගෞරවයෙන් තොර ව කෙළවර වේ. 
5 දෙවියන් වහන්සේගේ පුත්‍රයකු මෙන් ඔහු ගණන්ගනු ලැබුයේ කෙසේ ද? 
ශුද්ධවන්තයන් අතර තැනක් ලැබුයේ කෙසේ ද? 
6 අපි නම්, ඇත්තට ම සත්‍යයේ මාර්ගයෙන් මංමුළා වී ගියෙමු. 
යුක්තියේ ආලෝකය අප කෙරෙහි නොබැබළිණි. 
කිසි දිනක අප මත ඉර උදා නොවූයේ ය. 
7 නීති විරො‍්ධි වූ ද, විනාශකාරී වූ ද මාවත් සියල්ලක ම අපි ගමන් කෙළෙමු.
පාරක් තොටක් නැති මරුකතරක් හරහා අපි ගියෙමු. 
එහෙත් අපි කිසි දා සමිඳුන් මඟ නුදුටිමු. 
8 අපි අහංකාර වූයෙමු; 
ඉන් අප ලබාගත් වාසිය කිමෙක් ද? 
සම්පත හා පාරට්ටුව අපට තිබිණි. 
ඒවායින් අපට ලැබුණේ කිමෙක් ද? 
9 ඒවා සියල්ල ම ගෙවී යන සෙවණැල්ලක් මෙන් ද, නැති වී යන දූෂමාන ආරංචියක් මෙන් ද අතුරුදහන් වී ඇත. 
10 නඟින රැළි මැදින් යන නැවක් එය ගිය මං සටහන් ඉතිරි නොකරන පරිදි, රළ මත නැව ගිය දිය පාර නොතිබෙන පරිදි, ඒවා සියල්ල අතුරුදහන් වී ඇත. 
11 අහසේ පියාඹන පක්ෂියෙකු ඌ ගිය මඟ සටහන් නොතබන පරිදි ද ඌ සිහින් සුළඟේ අත්තටු ගසමින් අහස දෙවනත් කොට වේගයෙන් විදහා ලූ අත්තටු සහිත ව ඉදිරියට අහස පීරාගෙන යන විට ඌ ගිය මඟ ලකුණක් නොතබන පරිදි ද ඒවා සියල්ල අතුරුදහන් වී ඇත. 
12 ඉලක්කයට එල්ල කළ ඊගසක් එය අවට ඇති සුළඟ විනිවිද ගොස් එය ගිය මඟ ලකුණු නොතබන පරිදි ද ඒවා සියල්ල අතුරුදහන් වී ඇත. 
13 අපට ද එලෙස වී තිබේ. දිවි උපත ලැබුවා පමණ ය; 
එවිට ම මරණ විපත ලැබුවෙමු. 
දැහැමිකම ගැන කිසි ම ලකුණක් වත් අපට පෙන්විය නොහැකි ය.
එය වෙනුවට අපි දුෂ්ටකමින් ජීවත් වූයෙමු.” 
14 එසේ ය, අභක්තිකයන්ගේ බලාපොරොත්තුව සුළඟේ ගසාගෙන යන බොල් වී හා සමාන ය.
කුණාටුවට ගසාගෙන යන දිය හුමාලයට සමාන ය. 
සුළඟට අසු වූ දුම මෙන් එය විසිරී යයි. 
දිනකට පමණක් පැමිණි අමුත්තෙකුගේ මතකය මෙන් එය පහ වී යයි.
15 එහෙත්, දැහැමියෝ සදහට ම ජීවත් වෙති. 
ඔවුන්ගේ විපාකය සමිඳාණන්ගෙන් ය. 
අති උතුම් තැනැන් වහන්සේ ඔවුන් ගැන සලකන සේක. 
16 එබැවින් ඔව්හු සමිඳුන්ගේ අතින් ශෝභනත්වයේ චූඩා මාණික්‍ය වන දිළිසෙන රාජකීය කිරීටයක් ලබනු ඇත. 
මන්ද, එතුමාණෝ සිය දකුණතින් ඔවුන්ට රැකවරණය දෙන සේක. 
සිය බාහුවෙන් ඔවුන් ආරක්ෂා කරන සේක. 
17 නොඉවසන සුලු ප්‍රේමය නමැති සන්නාහය ඔහු පළඳිනු ඇත.
සිය සතුරන්ට දඬුවම් දෙනු පිණිස හිමි තුමාණෝ මැවිල්ල සන්නාහ සන්නද්ධ කරවන සේක.
18 ළය වැස්ම මෙන් යුක්තිය පළඳිනු ඇත. 
හිස් වැස්ම මෙන් සාධාරණ විනිශ්චය පළඳිනු ඇත. 
19 පලිහ මෙන් පැරදවිය නොහැකි ශුද්ධවන්තකම ගනු ඇත. 
මුවහත් කඩුවක් මෙන් සිය දැඩි උදහස තළා සකස් කරනු ඇත. 
20 මෙලෙස ඔහු සමඟ මුළු විනිශ්චය ම සාහසිකයන්ට විරුද්ධ ව යනු ඇත. 
21 අදින ලද දුන්නකින් ඊගස් ඉලක්කයට යන පරිදි හෙණ අකුණු සහ සැලෙන විදුලි පහර වලාකුළු පීරාගෙන අවුත් ඉලක්කය කරා යනු ඇත. 
22 ගල් පටියක් ද කෝපාවිෂ්ට හිම කැට විසි කරනු ඇත. 
සත් සමුදුර ජලය ද ඔවුන්ට විරුද්ධ ව උදහස් වනු ඇත. 
ගංගාවෝ ද අනුකම්පා විරහිත ව ඔවුන් ගොදුරු කරගන්නො‍් ය. 
23 මහා බලවත් මාරුතයක් ඔවුන්ට විරුද්ධ ව හමනු ඇත. 
කුණාටුවකින් මෙන් ඔවුන් පොළනු ලබනු ඇත. 
මෙලෙස නීති විරො‍්ධීහු මුළු පොළොව වනසන්නො‍් ය. 
නපුර කරන්නො‍් බලවතුන්ගේ සිහසුන් පෙරළා දමන්නො‍් ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW