සලමොන්ගේ ප්‍රඥාව – 17 වන පරිච්ඡේදය –

මිසරයට අඳුර

1 ඔබේ විනිශ්චයයෝ සැබැවින් ම ශ්‍රේෂ්ඨ ය, වචනයෙන් විස්තර කළ නොහැකි ය. 
සැබෑ අවබෝධය නොලද අය මංමුළා වී ගොස් ඇත්තේ එබැවින් ය. 
2 ශුද්ධ ජාතිය තමන්ගේ බලයට යටත් ව සිටින්නේ ය යි දුදනන් සිතූ විට ඔව්හු අඳුරෙහි සිරකරුවන් මෙන් ගැලී සිටියෝ ය; 
දීර්ඝ රාත්‍රියෙහි ම සිර විලංගුවල සිටියෝ ය. 
තමන්ගේ ම පියසි යට සදාතන පරිපාලනයෙන් නෙරපනු ලැබ සිටියෝ ය.
3 ඔවුන්ගේ රහස් පව් සමඟ ම කාහටත් නොදැනුවත් ව ඔව්හු හොඳට ම අමතක කරනු ලැබූහ යි ඔවුන් සිතූ විට විස්මයජනක ලෙස අවුල් වියවුල් ව දර්ශනවලින් බියට පත් වී ඔව්හු විසුරුවාදමනු ලැබූ හ. 
4 ඔවුන් සැඟවී සිටි ස්ථානය පවා ඔවුන්ගේ බිය දුරු කිරීමට අසමත් ය. 
ඔවුන් සිසාරා බියගන්වන හඬ ශබ්ද ද රැව් පිළිරැව් දුන්නේ ය. 
අඳුරු රුදුරු මුහුණු සහිත අවතාර ඔවුන්ට හොල්මන් කෙළේ ය. 
5 කිසි ම ගින්නකින් වත් ඔවුන්ට සෑහෙන පමණ එළිය නොලැබිණි. 
දීප්තිමත් බැබළුණු තරුවලට පවා ඒ බියජනක රාත්‍රිය ආලෝකවත් කිරීමට නුපුළුවන් විය. 
6 දරුණු ලෙස බියගන්වන ඉබේ ම ඇවුළුණු ගිනි මැලයක් ඔවුන් ආලෝක කෙළේ ය. 
වරක් ඒ දර්ශනය අතුරුදහන් වූ විට ඔවුන් භීතියට පත් වී කිසි දාක ඊට වඩා භයානක දෙයක් නොදැක්කෝ යයි ඔව්හු සිතූ හ. 
7 ඔවුන්ගේ ඉන්ද්‍රජාල සහමුලින් ම නිෂ්ඵල විය. 
ඔවුන් පාරට්ටු කළ කපටිකම් නින්දිත ලෙස වියවුල් විය. 
8 රො‍්ගීන්ගෙන් භීතිය සහ ආබාධ දුරු කිරීමට සමත් යයි කියාගත් අය ම හාස්‍යජනක භීතියකින් රො‍්ගී වූ හ. 
9 ඔවුන් බියගැන්වීමට බියකරු කිසිත් නැති වූ විට පවා වන සතුන්ගේ එහා මෙහා යාමෙන් ද සර්පයන්ගේ පිඹීමෙන් ද ඔව්හු සන්ත්‍රාසයට පත් වූ හ. 
10 වැළැක්විය නොහැකි වූ සුළඟ දෙස බැලීමට පවා අකමැති ව ඔව්හු භීතියෙන් තැතිගෙන මියගියෝ ය. 
11 දුෂ්ටකම නිසැක ව ම ඉතා බියසුලු ය. 
දුෂ්ටකම එය ම හෙළාදකින්නේ ය. 
හෘදය සාක්ෂියෙන් මඩිනු ලැබ එය නිතර ම ඉතා දරුණු වෙයි.
12 භීතිය වනාහි අන් කිසිවක් නොව බුද්ධියෙන් දෙන ආධාර තුච්ඡ කර සැලකීමකි.
13 මෙකී ආධාර කෙරෙහි ඔබේ විශ්වාසය අඩු වන විට ඔබේ දුක් විඳීමේ හේතු දැනගැනීම වඩාත් බියජනක ය.
14 එබැවින් බල විරහිත පාතාල ලෝකයෙහි ඔවුන්ට විරුද්ධ ව ඔවුන් පිට ම පැමිණි 
15 ඒ මුළු රාත්‍රිය තුළ ම ඔව්හු එක් වරක් බියකරු අවතාරවලින් හොල්මන් කරනු ලැබ, තවත් වරක් ඔවුන්ගේ ම ආත්මයේ ශක්තියෙන් තොර වීම නිසා බෙලහීන ව ද, ඔව්හු එක ම නින්දකට වැටුණා හ. 
මන්ද, හදිසියෙන් බලාපොරොත්තු නොවූ භීතියකින් ඔව්හු තැතිගත්හ. 
16 මෙලෙස එහි සිටි හැම දෙනෙක් ම හරස් පොලු රහිත මේ සිර ගෙදර සිටිවන සිටගෙන සිටියෝ ය.
17 ගොවියෙක් වේවා, එඬේරෙක් වේවා, තමන්ගේ ම රැකියාවේ නියුතු කෙනෙක් වේවා, සියල්ලෝ ම ඒ නොවැළැක්විය හැකි ඉරණමට ලක් වී දුක් වින්දෝ ය. 
මන්ද, සියල්ලෝ ම අන්ධකාරය නමැති, එක ම දාමයෙන් බඳිනු ලැබ සිටියහ. 
18 හමන මඳ පවනේ සිහින් හඬ ද අතුපතරේ මිහිරි ගී ගැයූ පක්ෂී නාදය ද වේගයෙන් ගලන දිය පාරේ ශබ්දය ද පර්වත ඇද වැටීමේ කටුක හඬ ද 
19 පැන පැන යන සතුන්ගේ නොපෙනෙන සුලු වේගවත් පිම්ම ද වනචාරි වන සතුන්ගේ ගෙරවුම් හඬ ද කඳු බෑවුම්වලට වැදී හඬ නැඟෙන දෝංකාරය ද යන මේ සියල්ල ඔවුන් භීතියෙන් අඩපණ කෙළේ ය.
20 දීප්තිමත් ආලෝකයෙන් බැබළි බැබළී තිබුණු මුළු ලොව ම කිසිත් අවහිරයක් නැති ව ක්‍රියාත්මක විය. 
21 මිසර වාසීන් මත පමණක් ඔවුන් ගිලගන්ට සූදානම් වූ අන්ධකාරයේ ස්වරූපය වැනි තිත්ත කළුවරක් පැතිරී තිබිණි. 
එහෙත්, ඒ කළුවරටත් වඩා ඔවුන් තමන්ට ම බරක් වීම භයානක විය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW