සලමොන්ගේ ප්‍රඥාව – 14 වන පරිච්ඡේදය –

නිෂ්ඵල නිර්මාණ

1 තවත් කෙනෙක් චණ්ඩ මුහුද හරහා නැවකින් යාත්‍රා කිරීම සඳහා ඔහු සිටින නෞකාවටත් වඩා දුබල ලී කොටයකින් පිහිට පතයි. 
2 නැවක් වූ කලී ලාභ ලැබීමේ ආශාවෙන් නිපදවන ලද්දක් බව නිරනුමාන ය. 
නාවික ශිල්පියාගේ ප්‍රඥාව එය සෑදීමේ ගැබ් වී ඇත. 
3 එහෙත් පියාණෙනි, සමුදුර හරහා මඟක් පාදාගෙන රළ පතර උඩින් සුරැකි මඟක් පිළියෙළ කොට එය මෙහෙයවනු ලබන්නේ ඔබේ පරිපාලනය විසිනි. 
4 මෙලෙස ඊට කුමක් වුවත්, ඔබට එය ගැළවිය හැකි බව ඔබ වහන්සේ පෙන්වන සේක. 
එබැවින් දක්ෂකමක් නැති කෙනෙකුට පවා පිටරටකට යාත්‍රාකළ හැකි ය. 
5 ඔබේ ප්‍රඥාවෙන් කළ ක්‍රියා නිෂ්ඵල ව තිබීම ඔබේ අභිමතය නොවේ. 
එබැවින් මිනිසා කුඩා ලී කොටයක් කෙරෙහි විශ්වාසය තබා, එවැනි ලී පහුරක් මඟින් සමුදුර තරණය කොට සුරැකි ව වරායට එයි.
6 එසේ ය, ආරම්භයේ දී පවා උඩඟු යෝධයන් නසින විට ලෝකයේ බලාපොරොත්තුවට සරණ වූයේ ලී පහුරකි. 
ඔබේ හස්තයෙන් එය මෙහෙයවනු ලැබ මතු කාලය සඳහා නව පරපුරක ඇරැයුම එයින් රැකුණේ ය. 
7 දැහැමිකමට ඉවහල් වන ලී කොටය ආසිරි ලද්දකි. 
8 එහෙත් විනාශ වී යන හස්ත කර්මාන්තයකට දෙවියන් යන නම තබා ඇති බැවින් ඒ කර්මාන්තයත් එය නිමැ වූ ශිල්පියාත් සාප ලද්දෝ ය. 
9 එසේ ය, දෙවිඳාණෝ අභක්තිකයාටත් ඔහුගේ අභක්තික කර්මාන්තයටත් ද්වේශ කරන සේක. 
10 කර්මාන්තයත් ශිල්පියාත් එක ලෙස වනසනු ඇත. 
11 එබැවින් විජාතීන්ගේ පිළිම මත විනාශය පහළ වනු ඇත. 
මන්ද, ඒවා දේව මැවිල්ලේ කොටසක් වුව ද, ඒවා පිළිකුල් වී තිබේ; 
මිනිසුන්ට මලපතක් වී ඇත; 
අනුවණ අයගේ පාදවලට බොරු වළක් වී ඇත.

පිළිම වැඳීමේ ආරම්භය

12 පිළිම සෑදීම අශීලාචාරකමේ මුල වේ. 
ඒවා සොයාගැනීම ජීවිතය දූෂණය කිරීම වේ. 
13 ආරම්භයේ දී ඒවා තිබුණේ නැත. 
සදහට ම තිබෙන්නේත් නැත. 
14 ඒවා ලෝකයට පැමිණියේ මිනිසාගේ බොරු අහංකාරයෙන් ය.
එබැවින් ඒවාට හදිසි අවසානයක් සූදානම් කර ඇත. 
15 පියෙක් අකාලේ දුකට පත් වී හදිසියෙන් මියගිය සිය දරුවාගේ රූපයක් සාදයි. 
ඉන්පසු ඔහු ඊයේ මළකඳක් වූ ඒ රූපයට දෙවියෙකු මෙන් ගරු කොට ඔහුගෙන් යැපෙන්නන්ට ද, එම රහස් පිළිවෙත් උගන්වයි. 
16 කලක් ගිය පසු, ඒ අභක්තික සිරිත මුල් බැස නීතියක් මෙන් පිළිපදිනු ලැබේ. 
17 ඉන්පසු රාජ කුමරුවන්ගේ අණ ප්‍රකාර ඒ නෙළූ පිළිම වන්දනාමාන ලබයි. 
රජවරු ඈත ප්‍රදේශවල විසූ බැවින් ඔවුන් ඉදිරියේ ගෞරව ප්‍රණාමය කිරීමට මිනිසාට නොහැකි වේ. 
එවිට ඔහු ඔවුන්ට ගරුසම්මාන පුදන පිණිස රජවරුන්ගේ දෘශ්‍යමාන පිළිරූ නිපදවති. 
එවැනි උද්‍යෝගයකින් ඔවුන් හඟින්නේ ඔවුන් අතර නැති අය ගැන තමන් අතර ඇති අය මෙන් පාරට්ටු කිරීම යි.
18 මෙලෙස කලා ශිල්පියාගේ හැඟීම් මාත්‍රය නිසා එවැනි රජෙකු නොදත් අය පවා ඔවුන්ගේ වත්පිළිවෙත් පතුරුවා හැරීමට පොළඹවන ලදහ. 
19 කලා ශිල්පි වූකලී සිය පාලකයා සතුටු කිරීමේ චේතනාවෙන් රජුගේ යථා ස්වරූපයටත් වඩා හොඳින් ඔහුගේ පිළිමය නිම කිරීමට සිය කලා ශක්තිය යෙදී ය. 
20 සෙනඟ ද, කලා කෘතියේ ශෝභනත්වයට වසඟ වී මිනිසෙකු වශයෙන් මෙතෙක් කල් ගරු කළ තැනැත්තාට දෙවියෙකු වශයෙන් ගරු කරන්ට පටන්ගත් හ. 
21 මෙලෙස සෙනඟ කාලකණ්ණිකමට හො‍් රාජකීය බලයට හො‍් වහලුන් වී ගල්වලට සහ ලී මුගුරුවලට අසමසම දේව නාමය පැවැරීම ඔවුන්ගේ ජීවිතයට මලපතක් විය.

රූප වන්දනාවේ ප්‍රතිවිපාක

22 දෙවිඳුන් පිළිබඳ වැරදි දැනීමෙන් පමණක් සෙනඟ වරදට පත් වීමටත් වඩා දෙයක් සිදු විය. 
එනම්, අනුවණකමට ලක් වූ ඔවුන්ගේ මහා ජීවිත සටනේ දී ඔව්හු මෙවැනි මහා විනාශකාරී දේවලට ‘සාමය’ යන නාමය තැබූ හ. 
23 මෙලෙස ඔව්හු තමන්ගේ දරුවන් ඝාතනය කරන ඇපවීම්වල දී ද, ගුප්ත අබිරහස්වල දී ද, අශීලාචාර වත්පිළිවෙත් සහිත කාමො‍්ත්සව වල දී ද, 
24 කෙනෙක් තව කෙනෙකු ද්‍රෝහි ලෙස මරාදැමීමෙන් හො‍් පරදාර සේවනයෙහි යෙදී නපුර කරමින් හො‍් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය හො‍් විවාහ ජීවිතය හො‍් පිරිසිදු ලෙස රැක නොගත්තෝ ය. 
25 සැම තැන ම ඇත්තේ ලේ වැගිරීම් සහ මිනීමැරීම් රැසක් ය; 
සොරකම් සහ වංචාකම් ය; 
දූෂණ ය; 
ද්‍රෝහිකම් ය; 
කැරලි ය; 
බොරු දිවුරීම් ය; 
26 ශිෂ්ට මිනිසුන් අවුල් කිරීම ය;
ලබාගත් ප්‍රයෝජන අමතක කිරීම ය; 
මිනිසුන් දූෂ්‍ය කිරීම ය; 
සොබා දහමට විරුද්ධ ව පව් කිරීම ය; 
කැඩුණු විවාහ ය; 
පරදාර සේවනය ය; 
කාමො‍්ත්සව ය. 
27 නිර්නාමික පිළිම වැඳීම සැම නපුරේ ම මුල වේ;
හේතුව වේ; 
අවසානය වේ. 
28 ඔව්හු එක්කෝ උමතු වන තුරු ප්‍රීති වෙති.
එසේ නොමැති නම්, ව්‍යාජ ලෙස දිවැසි වැකි දොඩති. 
නැතහොත් අසාධාරණ ලෙස කල් යවති. 
එසේත් නොමැති නම්, වැරදි ලෙස දිවුරුම් දෙති. 
29 අප්‍රාණික පිළිම කෙරෙහි ඔවුන් තමන් විශ්වාසය තබන බැවින් ඔවුන්ගේ බොරු දිවුරුම්වලින් ඔවුන්ට නපුරක් වන බව ඔව්හු නොසලකති.
30 එහෙත්, හේතු දෙකක් පිට සාධාරණකම ඔවුන්ට දඬුවම් දෙනු ඇත. 
දෙවිඳුන් පිළිබඳ සංකල්පය හෙළාදුටු නිසා රූප වන්දනාකරුවන් වශයෙන් ද ශුද්ධ වූ සියල්ලට එරෙහි ව යමින් සත්‍යයට විරුද්ධ ව දිවුරන රැවටිලිකරුවන් වශයෙන් ද ඒ දඬුවම් ඔවුන්ට ලැබෙනු ඇත. 
31 මන්ද, වරදකරුවන් හට දඬුවම් ලැබෙන්නේ මිනිසුන් දිවුරීමට භාවිත කරන දේවල බලයෙන් නොව පවිටුවන්ට නියම වූ පල විපාක අනුව ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW