
1917 වසරේ පෘතුගාලයේ පාතිමා නගරයේ ‘කෝවා ඩා ඉරියා’ (Cova da Iria) නම් නිම්නයේදී සිදුවූ මරිය මව්තුමියගේ දර්ශනය කතෝලික ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේද සුවිශේෂී සන්ධිස්ථානයකි. දස හැවිරිදි ලුසියා (Lúcia dos Santos) සහ ඇයගේ ඥාති සහෝදර සහෝදරියන් වූ හත හැවිරිදි ජසින්තා (Jacinta Marto) හා නව හැවිරිදි ෆ්රැන්සිස්කෝ (Francisco Marto) යන එඬේර දරුවන් තිදෙනාට මෙම දර්ශනය දිස් විය.
ඓතිහාසික පසුබිම සහ පළමු දර්ශනය
1917 මැයි 13 වන දින දරුවන් තිදෙනා සුපුරුදු පරිදි බැටළුවන් රංචුව බලාගනිමින් සිටියදී, අහසෙහි විදුලි කෙටීමක් වැනි ආලෝකයක් දිස්විය. ඉන්පසු කුඩා ඕක් ගසක් මත “හිරුට වඩා දීප්තිමත්,” සුදු පැහැති වස්ත්රයකින් සැරසුණු මරිය තුමිය දර්ශනය විය. ඇය දරුවන්ට පැවසුවේ බිය නොවන ලෙසත්, එතැන් සිට සෑම මසකම 13 වන දින එකම වේලාවට එම ස්ථානයට පැමිණෙන ලෙසත්ය.
දර්ශන මාලාව සහ පණිවිඩය
මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මසකට වරක් බැගින් දර්ශන හයක් සිදුවිය. මෙම සෑම අවස්ථාවකදීම මව්තුමිය අවධාරණය කළේ “ලෝක සාමය වෙනුවෙන් දිනපතා ජපමාලය උච්චාරණය කරන ලෙසයි.” එකල පළමු ලෝක මහා යුද්ධය දරුණු ලෙස පැතිර තිබූ බැවින්, යුද්ධය අවසන් කිරීමටත් පාපීන් උදෙසා යාච්ඤා කිරීමටත් ඇය දරුවන්ගෙන් ඉල්ලා සිටියාය. දරුවන් තිදෙනාට දර්ශනය වූ මෙම සිදුවීම පිළිබඳ ආරංචිය ලැව්ගින්නක් සේ පැතිර ගියේය.
හිරුගේ ආශ්චර්යය (The Miracle of the Sun)
1917 ඔක්තෝබර් 13 වන දින මව්තුමිය පොරොන්දු වූ පරිදි අවසාන දර්ශනය සිදුවිය. එදින දැඩි වර්ෂාවක් පැවති අතර, දර්ශනය දැක බලා ගැනීම සඳහා 70,000 කට අධික ජනතාවක් එම ස්ථානයට රැස්ව සිටියහ. හදිසියේම වැසි වලාකුළු ඉවත් වී හිරු දිස්වූ අතර, එය විවිධ වර්ණ විහිදුවමින් අහස පුරා කරකැවෙන්නට විය. මෙය “හිරුගේ ආශ්චර්යය” ලෙස හැඳින්වේ. මෙම අසිරිමත් සිදුවීම එම ස්ථානයේ සිටි ඇදහිලිවන්තයන් මෙන්ම අදේවවාදීන් සහ මාධ්යවේදීන් පවා සියැසින් දුටු අතර, එය පාතිමා දර්ශනයේ සත්යතාව අන් සැමටම තහවුරු කළ ප්රධාන සාධකය විය.
නිරය පිළිබඳ දර්ශනය
1917 ජූලි 13 වන දින දරුවන්ට දර්ශනයවූ මරිය තුමිය පව්කාරයන් මරණයෙන් පසු වැටෙන භයානක නිරය දරුවන්ට පෙන්වූ අතර, ආත්මයන් ගලවා ගැනීම සඳහා යාච්ඤා කිරීමේ වැදගත්කම පැහැදිලි කළාය.
ලුසියා පැවසූ පරිදි, මව්තුමිය ඇගේ දෑත් විවර කළ විට, පොළොව දෙබෑ වී ගිනි සයුරක් වැනි මහා ප්රපාතයක් ඔවුන්ට දිස්විය.
එහි කළු පැහැති අඟුරු මෙන් දිලිසෙන, මිනිස් රූ ඇති ආත්මයන් සහ භයානක සතුන්ගේ ස්වරූපය ගත්තවුන් ගිනි ජාලාවල ගසාගෙන යන අයුරු ඔවුන් දුටුවේය. එම ආත්මයන් දැඩි වේදනාවෙන් සහ මංමුලා සහගතව කෑගසමින් සිටි අතර, ඔවුන් නිරන්තරයෙන් ගිනි පුපුරු මෙන් ඉහළට විසිවෙමින් නැවත ගින්නටම වැටෙන අයුරු දරුවන් දුටුවේය. මෙම දර්ශනය කොතරම් භයානකද යත්, තමන් ස්වර්ගයට ගන්නා බවට මව්තුමිය කලින් පොරොන්දු වී නොසිටියේ නම් තමන් බියෙන්ම මිය යන්නට ඉඩ තිබූ බව ලුසියා පසුව සඳහන් කළාය.
මෙම දර්ශනයෙන් පසු මව්තුමිය දරුවන්ට පවසා සිටියේ:
“පව්කාරයන්ගේ ආත්මයන් වැටෙන නිරය ඔබ දුටුවා. ඔවුන්ව ගලවා ගැනීමට නම්, දෙවියන් වහන්සේට ලෝකය කැප කිරීමත්, පව්කාරයන් වෙනුවෙන් කැපකිරීම් කිරීමත් අවශ්යයි.”
මෙම දර්ශනයෙන් පසු මව්තුමිය අපට ජපමාලයේ සෑම අභිරහසක් අවසානයේම උච්චාරණය කිරීමට විශේෂ යාච්ඤාවක් උගන්වන ලදී. එය “පාතිමා යාච්ඤාව” ලෙස හැඳින්වේ:
“අහෝ මාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරා ගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන් විශේෂකොට ඔබ වහන්සේගේ දයාව ඉතා උවමනා වූ ආත්මයන්ද ස්වර්ග රාජ්යයට ගෙන්වා ගත මැනව.”
අදටත් පාතිමා පණිවිඩය මුළු ලෝකයටම ඉතා වැදගත් වේ. පාපයෙන් මිදී දෙවියන් වහන්සේ වෙත හැරීම, පසුතැවිලි වීම සහ ජපමාලය මගින් සාමය උදාකර ගැනීම එහි ප්රධාන පණිවිඩයයි. ජේසුගේ මව ලෙස තෝරා ගත් මරිය රැජිණිය අපෙන් ඉල්ලා සිටියේ ජේසු තුමන් ඉගැන්නු ස්වර්ගයේ වැඩ සිටින යාච්ඤාව ඇතුලත් ශු. ජපමාලය නිතරම භක්තියෙන් උච්චාරණය කරන්න කියාය