ශු. මතෙව් – 15 වන පරිච්ඡේදය

සම්ප්‍රදායයන් ගැන විවාදය
(මාක් 7:1-13)

1 එකල ජෙරුසලමෙන් පරිසිවරු ද විනයධරයෝ ද ජේසුස් වහන්සේ වෙත අවුත් 2 ”ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදායයන් කඩ කරන්නේ මන් ද? ඔව්හු අත් නොසෝදා ආහාර අනුභව කරති”යි කී හ. 3 උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ”ඔබේ පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව කඩ කරන්නේ මන් ද? 4 ‘නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; පියා ගැන හෝ මවු ගැන හෝ අපවාද කියන්නා මරණය වින්ද යුතු ම ය’යි දෙවියන් වහන්සේ වදාළ සේක. 5 එහෙත්, කවරෙක් වුව ද පියාට හෝ මවට හෝ කතා කොට, ‘මම ඔබේ යහපත පිණිස දිය යුතු ව තිබුණු දීමනාව දෙවියන්ට පඬුරක් ලෙස කැප කෙළෙමි’යි කීමෙන් පසුව, 6 පියාට ගෞරව කිරීමට ඔහු බැඳී නැතැ යි ඔබ කියන්නහු ය. මෙසේ ඔබ තමන්ගේ පරම්පරාගත සම්ප්‍රදාය නිසා දෙවියන් වහන්සේගේ ආඥා අවලංගු කළහු ය. 7 කෛරාටිකයෙනි, යෙසායා ඔබ ගැන කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ.
8 ‘මුවින් මේ සෙනඟ මට ගරු කරති;
සිතින් නම් මාගෙන් දුරු ව සිටිති.
9 මිනිස් ඔවා දෙව් දහම් සේ උගන්වමින්, නිකරුණේ මා නමදිති.’ ”

මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන දේ
(මාක් 7:14-23)

10 උන් වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කතා කොට, ”ඔබ සවන් දී හොඳින් තේරුම්ගන්න. 11 මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය”යි වදාළ සේක. 12 එවිට ශ්‍රාවකයෝ අවුත්, ”ඔබගේ ඒ කීම අසා, පරිසිවරුන් තදින් අමනාප වූ බව ඔබ වහන්සේ දන්නා සේක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. 13 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් රෝපණය නොකරන ලද සියලු පැළෑටි උදුරා දමනු ලබන්නේ ය. 14 පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක. 15 එවිට පේදුරු කතා කොට, ”මේ උපමාව අපට පහදා දුන මැනවැ”යි උන් වහන්සේට කී ය. 16 උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: ”ඔබට තවමත් තේරෙන්නේ නැද් ද? 17 කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද? 18 එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය. 19 නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය. 20 මිනිසා කෙලෙසනු ලබන්නේ මෙකී දේවලින්. එහෙත්, අත් නොසෝදා කෑමෙන් මිනිසා කෙලෙසනු නොලබන්නේ ය.”

කානානිය ස්ත්‍රියකගේ ඇදහිල්ල
(මාක් 7:24-30)

21 ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක. 22 එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, ”දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය”යි කියමින් මොරගැසුවා ය. 23 එහෙත් උන් වහන්සේ ඇයට වචනයකින් වත් පිළිතුරු නුදුන් සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත්, ”මේ ස්ත්‍රිය මොරගසමින් අප පස්සේ එන බැවින්, ඇයට යන්න කිව මැනවැ”යි උන් වහන්සේගෙන් ඉල්ලූ හ. 24 උන් වහන්සේ කතා කරමින්, ”මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක. 25 එහෙත්, ඈ අවුත් පසඟ පිහිටුවා උන් වහන්සේට වැඳ, ”ස්වාමීනි, මට පිහිට වුව මැනවැ”යි කීවා ය. 26 උන් වහන්සේ උත්තර දෙමින්, ”දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැ”යි වදාළ සේක. 27 එහෙත් ඈ කතා කොට, ”එසේ ය, ස්වාමීනි, බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කති”යි කීවා ය. 28 එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත් ය. ඔබේ කැමැත්ත ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවා ය.

සමූහයකට සුවය

29 ජේසුස් වහන්සේ එතැනින් නික්ම, ගලීලයේ මුහුද ළඟට ගොස්, කන්දකට නැඟී වැඩහුන් සේක. 30 මහත් ජනකායක්, කොරුන් ද අබ්බාගාතයන් ද අන්ධයන් ද ගොළුවන් හා වෙනත් බොහෝ දෙනෙකුන් ද රැගෙන, ජේසුස් වහන්සේ වෙත අවුත් ඔවුන් උන් වහන්සේගේ පාමුල තැබූ හ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක. 31 එවිට ගොළුවන් කතා කරන බව ද, අබ්බාගාතයන් සුවපත් වී ඉන්න බව ද, කොරුන් ඇවිදින බව ද, අන්ධයන්ට ඇස් පෙනෙන බව ද දුටු ජනකාය පුදුම වී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.

හාර දහසකට කෑම
(මාක් 8:1-10)

32 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, ”මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය; ඔව්හු දැන් තුන් දවසක් ම මා සමඟ ය; ඔවුන්ට කෑමක් නැත; ඔවුන් බඩගින්නේ පිටත් කර යවන්න අකමැත්තෙමි; එසේ යැව්වොත්, මඟ දී ඔවුන් ක්ලාන්ත විය හැකි යැ”යි වදාළ සේක. 33 ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, ”මෙතරම් මහත් සමූහයකට සෑහෙන තරම් කන්න දීමට මේ පාළුකරයෙහි අපට කෑම කොයින් දැ”යි ඇසූ හ. 34 ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි ඇසූ සේක. ”රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත් ය”යි ඔව්හු කී හ. 35 උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, 36 රොටි සත ද මසුන් ද ගෙන තුති පුදා, කඩා, ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ඒවා සමූහයාට දුන්හ. 37 හැම දෙන ම කා සෑහීමට පැමිණියහ. ඔව්හු ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවා ගත්හ. 38 ස්ත්‍රීන් හා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ සාර දහසකි. 39 උන් වහන්සේ සමූහයා විසුරුවා හැර ඔරුවකට නැඟී මගදන් දේශ සීමාවලට වැඩිය සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW