ශු. ලූක් – 22 වන පරිච්ඡේදය

ජේසුස් වහන්සේ නැසීමට කුමන්ත්‍රණය
(මතෙව් 26:1-5, 14-16; මාක් 14:1-2, 10-11; ජොහන් 11:45-53)

1 පාස්කුව නම් වූ නුමුහුන් රොටි මංගල්‍යය ළං විය. 2 නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ නැසීමට උපා සෙවූ හ; එසේ කෙළේ ඔවුන් ජනතාවට භයින් සිටි බැවිනි.
3 ඒ අතර දොළොස් දෙනාගෙන් කෙනෙක් වූ ඉස්කාරියොත් නම් ජූදස්ගේ සිතට සාතන් ඇතුළු විය. 4 ඔහු ගොස් උන් වහන්සේ පාවා දෙන්නේ කෙසේ ද කියා නායක පූජකයන් හා දේව මාලිගාවේ මුර සෙබළුන් සමඟ කතා කර ගත්තේ ය. 5 ඔව්හු ඉතා සතුටු ව ඔහුට මුදල් දීමට පොරොන්දු වූ හ. 6 ඔහු ඊට එකඟ වී, සෙනඟ නැති වේලාවක උන් වහන්සේ ඔවුන් අතට පාවා දෙනු පිණිස සුදුසු අවස්ථාවක් සෙවී ය.

පාස්කු මංගල්‍යය සඳහා සූදානම
(මතෙව් 26:17-25; මාක් 14:12-21; ජොහන් 13:21-30)

7 පාස්කු බැටළුවා පූජා කළ යුතු නුමුහුන් රොටි මංගල්‍යය පවත්වන දවස පැමිණියේ ය. 8 එවිට උන් වහන්සේ පේදුරු ද ජොහන් ද යවමින්, ”ඔබ ගොස් අප විසින් පාස්කු භෝජනය වළඳන පිණිස පිළියෙළ කරන්නැ”යි වදාළ සේක. 9 ”කොතැන පිළියෙළ කරනවාට ඔබ වහන්සේ කැමැති සේක් දැ”යි ඔව්හු ඇසූ හ. 10 උන් වහන්සේ, ”ඔබ නුවරට ඇතුළු වූ විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ ගොස් ඔහු යන ගෙදරට ඇතුළු වී, 11 ගෘහ මූලිකයාට කතා කොට, ‘මා විසින් මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වැළඳීම සඳහා වෙන් කර ඇති කාමරය කොයි ද කියා ගුරුදේවයාණෝ අසන සේකැ’යි කියන්න. 12 සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි පිළියෙළ කරන්නැ”යි වදාළ සේක. 13 ඔව්හු ගොස්, උන් වහන්සේ වදාළ ලෙස ම සියල්ල සම්බවූයෙන්, පාස්කු භෝජනය පිළියෙළ කළහ.

අන්තිම රාත්‍රි භෝජනය
(මතෙව් 26:26-30; මාක් 14:22-26; 1 කොරි: 11:23-25)

14 නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. ප්‍රේරිතයෝ ද උන් වහන්සේ සමඟ හිඳගත්හ. 15 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි. 16 ඒ මන්දැ යි මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළඳමි”යි වදාළ සේක. 17 උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, ”මෙ‍ය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න. 18 මන්ද, මම ඔබට කියමි, මෙ‍තැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදියුස පානය නො කරන්නෙමි”යි වදාළ සේක. 19 උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, ”ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ”යි වදාළ සේක. 20 එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, ”මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය. 21 එහෙත්, දැන් මා පාවා දෙන්නාගේ අත මා ළඟින් ම මේසය මත තිබේ. 22 මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය. එහෙත්, ඔහු පාවා දෙන ඒ මනුෂ්‍යයාට වන විපතක මහතැ”යි උන් වහන්සේ වදාළ සේක. 23 එවිට එය කරන්නට යන්නේ ඔවුන්ගෙන් කවරෙක් දැ යි ඔව්හු තම තමන් අතර විමසන්නට පටන්ගත්හ.

ශ්‍රේෂ්ඨතම තැනැත්තා පිළිබඳ ප්‍රශ්නය

24 තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැ යි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇති විය. 25 උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: ”විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතෛෂීහු යයි කියනු ලබති. 26 එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙ‍න් ද නායකයා සේවකයා මෙ‍න් ද වේ වා; 27 වඩා උතුම් කවරේ ද, කෑමට හිඳින තැනැත්තා ද, නැතහොත් සේවකයා ද? කෑමට හිඳින තැනැත්තේ නොවේ ද? එහෙත්, මම නම්, ඔබ මැද සේවකයා මෙ‍න් වෙමි. 28 මාගේ පරීක්ෂාවල දී මා සමඟ සිටි අය ඔබ ම ය. 29 එබැවින් මාගේ පියාණන් වහන්සේ මට රාජ්‍යය පවරා දුන් සේ ම, 30 මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයේ දී කන බොන පිණිස ද සිහසුන් අරා ඉශ්රායෙල් ගො‍්ත්‍ර දොළොස කෙරෙහි විනිශ්චය කරන පිණිස ද වරය මමත් ඔබට පවරා දෙමි.”

පේදුරුගේ අපලාපය ගැන කලින් කීම
(මතෙව් 26:31-35; මාක් 14:27-31; ජොහන් 13:36-38)

31 ”සීමොන්, සීමොන්, මෙ‍ය අසන්න. තිරිඟු පොළන්නාක් මෙ‍න් ඔබ සියලු දෙන පොළාලන්නට සාතන් අවසර ලබා ඇත. 32 එහෙත්, ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස ඔබ උදෙසා මම යාච්ඤා කෙළෙමි. ඔබ යළිත් හැරුණු පසු, ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නැ”යි වදාළ සේක. 33 ඔහු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔබ හා සමඟ හිරේ යාමට හා මරණයට වුව ද මම සූදානම් ව සිටිමි”යි උන් වහන්සේට කී ය. 34 ජේසුස් වහන්සේ කතා කරමින්, ”පේදුරු, මම මෙ‍ය ඔබට කියමි, ඔබ මා නොදන්නා බව තුන් වරක් කියන තුරු, අද රෑ කුකුළා නොහඬළන්නේ ය”යි වදාළ සේක.

පසුම්බිය, මල්ල සහ කඩුව

35 උන් වහන්සේ ඔවුන්ට වදාරමින්, ”පසුම්බියක් වත්, මල්ලක් වත්, පා වහන් වත් නැති ව මා ඔබ යැවූ කල කිසිවක් හිඟ වී දැ”යි ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, ”නැතැ”යි කී හ. 36 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”එහෙත් දැන් පසුම්බියක් ඇති තැනැත්තා එය ගනී වා, එසේ ම මල්ලක් ද ගනී වා, කඩුවක් නැති තැනැත්තා තම සළුව විකුණා, කඩුවක් මිළ දී ගනී වා. 37 මම මෙ‍ය ඔබට කියමි, ‘උන් වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබී ය’යි ලියා තිබෙන ඒ කීම මා තුළින් මුදුන් පත් විය යුතු ය; මා ගැන ලියා ඇති දෙය සම්පූර්ණ වන්නේ ම ය”යි වදාළ සේක. 38 ඔව්හු කතා කරමින්, ”ස්වාමීනි, බැලුව මැනව, කඩු දෙකක් මෙ‍හි ඇතැ”යි කී හ. උන් වහන්සේ ද: ”ඔය ඇති”යි වදාළ සේක.

ඔලීව කන්දෙහි යාච්ඤාව
(මතෙව් 26:36-46; මාක් 14:32-42)

39 එවිට ජේසුස් වහන්සේ පිටත් ව සිරිත් පරිදි ඔලීව කන්දට වැඩිය සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පසුපස්සේ ගියහ. 40 උන් වහන්සේ එහි පැමිණි පසු කතා කොට, ”ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැ”යි වදාළ සේක. 41 ගලක් ගසන තරම් දුරක් උන් වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී, දණින් හිඳ යාච්ඤා කරමින්, 42 ”පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේ වා”යි වදාළ සේක. 43 එකල දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී, උන් වහන්සේ ශක්තිමත් කෙළේ ය. 44 උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙ‍න් බිම වැටිණි. 45 උන් වහන්සේ යාච්ඤා කරමින් සිට නැඟිට, ශ්‍රාවකයන් වෙත අවුත්, ඔවුන් ශෝකය නිසා නිඳා හිඳිනු දැක, 46 ”ඔබ නිඳා ඉන්නේ මන් ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස නැඟිට යාච්ඤා කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක.

ජේසුස් වහන්සේ පාවා දීම
(මතෙව් 26:47-56; මාක් 14:43-50; ජොහන් 18:3-11)

47 උන් වහන්සේ මෙ‍වදන් පවසත් ම සමූහයක් පැමිණියහ. දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ජූදස් නමැත්තා ඔවුන්ට පෙරටුව අවුත්, ජේසුස් වහන්සේ සිඹින පිණිස උන් වහන්සේ වෙතට ළං විය. 48 ජේසුස් වහන්සේ ද ”ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක. 49 උන් වහන්සේ සමඟ සිටි අය සිදු වන්න යන දෙය දැක, ”ස්වාමීනි, කඩු පහරක් දෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 50 ඔවුන්ගෙන් එක් කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. 51 එහෙත් ජේසුස් වහන්සේ, ”ඔය ඇති, නවතින්න,” කියා ඔහුගේ කන අතගා සුව කළ සේක. 52 ජේසුස් වහන්සේ තමන්ට විරුද්ධ ව ආ නායක පූජකයන්ට ද දේව මාලිගාවේ මුර සෙබළුන්ට ද ප්‍රජා මූලිකයන්ට ද කතා කොට, ”ඔබ සොරෙකු හා සටනට මෙ‍න් කඩු මුගුරු රැගෙන ආවාහු ද? 53 දිනපතා මා දේව මාලිගාවෙහි ඔබ හා සමඟ සිටිය දී ඔබ මට විරුද්ධ ව අත් එසෙව්වේ නැත. එහෙත් මෙ‍ය ඔබගේ අවස්ථාව ය. අන්ධකාරය රජ කරන මොහොත ය”යි වදාළ සේක.

පේදුරුගේ අපලාපය
(මතෙව් 26:57-58, 69-75; මාක් 14:53-54, 66-72; ජොහන් 18:12-18, 25-27)

54 ඔව්හු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියහ. පේදුරු ද ඈතින් පසුපස්සේ ගියේ ය. 55 ඔවුන් මළුව මැද ගිනි මැලයක් ගසා එක් ව හිඳගෙන සිටිය දී, පේදුරු ඔවුන් මැද හිඳගත්තේ ය. 56 එවිට එක් සේවිකාවක් ඔහු ගිනි මැලය ළඟ සිටිනු දැක, ඔහු දෙස හොඳට බලා, ”මේ මිනිසාත් ඔහු සමඟ සිටියේ ය”යි කීවා ය. 57 ”ස්ත්‍රිය, නැත. මම ඔහු නාඳුනමි”යි පේදුරු කී ය. 58 මඳ වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, ”ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය”යි කී ය. පේදුරු පිළිතුරු දෙමින්, ”නැත, නැත, එසේ නොවේ ය”යි කී ය. 59 පැයකට පමණ පසු තවත් කෙනෙක් කතා කොට, ”ඇත්තෙන් ම මොහුත් ඔහු සමඟ සිටියේ ය. මන්ද, මොහු ගලීලයෙකැ”යි තරයේ ම කියා සිටියේ ය. 60 පේදුරු ද, ”ඔබ කියන දේ මට නොතේරේ” යයි කී ය. එකෙණෙහි ම, ඔහු කතා කරද්දී ම, කුකුළෙක් හැඬලී ය. 61 සමිඳාණන් වහන්සේ හැරී පේදුරු දෙස බැලූ සේක. පේදුරු ද, ”අද කුකුළා හඬලන්නට පළමුවෙන් ‘ඔහු නාඳුනමි’යි තුන් වරක් ඔබ මා ගැන කියන්නෙහි ය”යි සමිඳාණන් වහන්සේ ඔහුට පැවසූ කීම සිහි කොට, 62 පිටතට ගොස්, දැඩි දුකින් හැඬී ය.

නිගා කිරීම හා පහර දීම
(මතෙව් 26:67-68; මාක් 14:65)

63 එකල ජේසුස් වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන් වහන්සේට කවට කම් කරමින් පහර දුන්හ. 64 ඔව්හු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, ”ඔබට ගැසුවේ කවරෙක් ද කියා දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කී හ. 65 ඔව්හු තවත් බොහෝ දේ උන් වහන්සේට විරුද්ධ ව කියමින්, අපහාස කළහ.

ජේසුස් වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි
(මතෙව් 26:59-66; මාක් 14:55-64; ජොහන් 18:19-24)

66 පහන් වූ කෙණෙහි ම, නායක පූජකයන් ද විනයධරයන් ද ඇතුළු ප්‍රජා මූලිකයන්ගේ සංගමය රැස් ව, සිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට උන් වහන්සේ ගෙන ගොස්, 67 ”ඔබ ක්‍රිස්තුස් ද? අපට කියන්නැ”යි කී හ. උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා ඔබට කීවත් ඔබ විශ්වාස කරන්නේ නැත; 68 මා ඔබගෙන් ඇසුවත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. 69 එහෙත් මෙ‍තැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමයේ දකුණු පස වැඩහිඳිනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. 70 ඔව්හු සියල්ලෝ, ”එසේ නම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ දැ”යි ඇසූ හ. උන් වහන්සේ ද, ”මා එසේ බැව් පවසන්නේ ඔබ ම ය”යි වදාළ සේක. 71 ඔව්හු ද, ”වෙන සාක්කියක් අපට කුමට ද? මෙ‍ය ඔහුගේ ම කටින් කියනවා අපගේ ම කණින් ඇසීමු”යි කී හ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW