ශු. ලූක් – 12 වන පරිච්ඡේදය

කුහකකම හෙළා දැකීම
(මතෙව් 10:26-27)

1 ඒ අතරතුරේ දී ඔවුනොවුන් පෑගෙන තරමට දහස් ගණන් සමූහයක් රැස් ව සිටිය දී, උන් වහන්සේ පළමුකොට සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාරන්න පටන්ගත් සේක: ”පරිසිවරුන්ගේ කුහකකම නමැති මුහුන්වලින් පරෙස්සම් වන්න. 2 සැඟවී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ; සෑම රහසක් ම ප්‍රකාශ කරනු ලැබේ. 3 එබැවින් ඔබ අඳුරෙහි පැවසූ දේ එළියෙහි අසන්න ලැබේ; ඇතුළු ගබඩා වල දී කනට කොඳුරන ලද දෙය පියසි මුදුනෙන් පළ කරනු ලැබේ.”

බිය විය යුතු කාට ද?
(මතෙව් 10:28-31)

4 ”මාගේ මිත්‍රවරුනි, ශරීරය නසා ඉන්පසු අන් කිසිවක් කළ නොහැකි අයට බිය නොවන්නැ යි මම ඔබට කියමි. 5 එහෙත් ඔබ බිය විය යුත්තේ කවරකුට දැ යි මම ඔබට පෙන්වමි. ඔබ නැසුණු පසු නිරයේ හෙළීමට බලය ඇති තැනැන් වහන්සේට බිය වන්න; එසේ ය, උන් වහන්සේට බිය වන්නැ යි මම ඔබට කියමි.
6 ”තුට්ටු දෙකකට ගේකුරුල්ලන් පස් දෙනෙකු විකුණනවා නොවේ ද? දෙවියන් වහන්සේ උන්ගෙන් එකකු වත් අමතක නොකරන සේක. 7 ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න; ඔබ ගේකුරුල්ලන් රාශියකට වඩා අගනේ ය.”

ක්‍රිස්තුන් වහන්සේ පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම
(මතෙව් 10:32-33; 12:32; 10:19-20)

8 ”තවද යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝත් දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන සේක. 9 එහෙත්, මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන තැනැත්තේ දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි දී ප්‍රතික්ෂේප කරනු ලැබේ යයි මම ඔබට කියමි. 10 මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව යමක් කියන කවරෙකුට වුව ද කමාව ලැබෙන්නේ ය; එහෙත් ශුද්ධාත්මයාණන්ට, විරුද්ධ ව අපහාස කරන්නාට නම් කමාවක් නොලැබෙන්නේ ය. 11 ඔවුන් ධර්මශාලාවලට ද අධිපතීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ද ඔබ ගෙන යන කල, ඔවුන්ට උත්තර දෙන්නේ කෙසේ ද කියා වත්, කියන්නේ කුමක් ද කියා වත්, සිතමින් කරදර නොවන්න. 12 ඔබ කිය යුතු දේ ඒ මොහොතේ දී ම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට දන්වනු ඇත.”

පොහොසත් මෝඩයා පිළිබඳ උපමාව

13 සමූහයා අතරෙන් එක් තැනැත්තෙක් කතා කොට, ”ගුරුදේවයෙනි, මා සමඟ අපේ උරුමය බෙදාගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ”යි උන් වහන්සේට කී ය. 14 එහෙත් උන් වහන්සේ කතා කරමින්, ”මිත්‍රය, ඔබ කෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපළ බදෙන්නකු කොට මා පත් කෙළේ කවරෙක් දැ”යි ඔහුගෙන් ඇසූ සේක. 15 ”තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙ‍සේ වදාළ සේක; 16 ”එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇති විය. 17 එවිට ඔහු තම සිතින් කල්පනා කරමින්, මම කුමක් කරම් ද? මාගේ භවභෝග රැස් කර තබන්න ඉඩකඩ නැත. 18 මම මෙ‍සේ කරමි: මාගේ අටුකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්‍ය රැස් කොට තබා, 19 ‘අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙ‍හි රැස් කොට තිබේ. විවේක සුවයෙන් කා බී ප්‍රීති වන්නැ’යි මට ම කියාගනිමි. 20 එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක. 21 දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් නොවී තමාට ම වස්තු රැස් කරගන්නා අය එවැනි ය.”

පෞද්ගලික ඕනෑකම් ගැන කරදර වීම
(මතෙව් 6:25-34; 19-21)

22 තවද උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාරන සේක්: ”එහෙයින් මම ඔබට කියමි, කුමක් කමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. 23 කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද උතුම් ය. 24 කපුටන් ගැන කල්පනා කරන්න: උන් වපුරන්නේ නැත, කපන්නේත් නැත, උන්ට අටුකොටු නැත, ගබඩාවක් ද නැත. එහෙත් දෙවියන් වහන්සේ උන් පො‍්ෂණය කරන සේක. ඔබ පක්ෂීන්ට වඩා කොතරම් අගනේ ද? 25 සිත් තැවුළෙන් ඔබගේ ආයු ප්‍රමාණය eදික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද? 26 ඉදින් එවැනි සුළු දෙයක් වත් කරගන්නට ඔබට නොහැකි නම්, ඔබ අනෙක් කාරණා ගැන කරදර වන්නේ මන් ද? 27 මානෙල් මල් ගැන කල්පනා කරන්න; ඒවා නූල් කටින්නේ වත් වියන්නේ වත් නැත. එහෙත්, තමාගේ සකල රාජ තේජසින් සැරසී සිටි සලමොන් වුව ද මානෙල් මලක් සේ, විරාජමාන නොවී යයි මම ඔබට කියමි. 28 ඇදහිලි හීන තැනැත්තෙනි! කෙතෙහි අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තෘණ දෙවියන් වහන්සේ මෙ‍සේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් ඔබ නොසරසන සේක් ද? 29 එබැවින් ඔබ කුමක් කන්නේ ද කියා වත්, කුමක් බොන්නේ ද කියා වත් සොයමින් කරදර නොවන්න. 30 මේ සියල්ල ලෝකයේ සියලු ජාතීහු මුළු සිතින් සොයා යති; මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ පියාණන් වහන්සේ දන්නා සේක. 31 එසේ නොව උන් වහන්සේගේ රාජ්‍යය සොයා යන්න, එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.
32 ”කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක. 33 ඔබ සතුදේ විකුණා දන් දෙන්න; නොදිරන පසුම්බි ද නොපිරිහෙන වස්තු ද ස්වර්ගයෙහි ඔබට සපයාගන්න. එහි දී ඒවාට සොරු ළං නොවෙති, කාවෝ ද නාස්ති නොකරති. 34 මන්ද, ඔබගේ වස්තුව කොතැන ද, ඔබගේ සිතත් එතැන ම ය.”

විශ්වාසදායක දාසයෝ

35 ”ඔබගේ ඉඟ පටි බැඳගන්න, පහන් ද දල්වා තබාගන්න. 36 තම ස්වාමියා සරණ මංගල්‍යයෙන් පසු, පෙරළා අවුත් දොරට තට්ටු කළ වහා ම දොර හරිනු වස් ඔහුගේ ඊම බල බලා සිටින මනුෂ්‍යයන් හා සමාන ව සිටින්න. 37 ස්වාමියා එන කල දාසයන් අවදි ව සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔහු තමාගේ ඉඟ පටිය බැඳ ඔවුන් කෑමට හිඳුවා ඔවුන්ට උපස්ථාන කරන්නේ ය. 38 ඔහු දෙ වන යාමයේ දී හෝ තුන් වන යාමයේ දී හෝ අවුත් එලෙස ම දකින්නේ නම් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. 39 එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. 40 එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. මෙ‍සේ කියන්නේ, ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින නිසා ය.”

විශ්වාසී හා අවිශ්වාසී දාසයෝ
(මතෙව් 24:45-51)

41 එවිට පේදුරු කතා කරමින්, ”ස්වාමීනි, මේ උපමාව වදාරන්නේ අප උදෙසා ද, නැතහොත් සියල්ලන් උදෙසා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 42 එවිට සමිඳාණන් වහන්සේ මෙ‍සේ පිළිතුරු දුන් සේක: ”ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද? 43 ස්වාමියා ආ කල යම් දාසයකු සිය සේවයෙහි සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය. 44 ඒ ස්වාමියා තමා සන්තක සියල්ල භාර ව ඔහු පත් කරන්නේ යයි ඇත්තෙන් ම මම කියමි. 45 එහෙත් ඒ දාසයා, ‘මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැ’යි සිතමින් දැසිදසුන්ට පහර දෙන්නටත් කා බී මත් වන්නටත් පටන් ගතහොත්, 46 ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී ඒ දාසයාගේ ස්වාමියා අවුත් ඔහුට දරුණු ලෙස දඬුවම් කොට, අවිශ්වාසීන්ට නියම ඉරණම ඔහුටත් නියම කරන්නේ ය. 47 සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය. 48 එහෙත් ඒ අදහස නොදැන, පහර ලැබීමට නිසි දේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නො‍් ය. යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ; යමෙකුට බොහෝ දේ පවරන ලද්දේ ද, ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ.”

භේදයට හේතුව ජේසුස් වහන්සේ ය
(මතෙව් 10:34-36)

49 ”පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද! 50 මට එක්තරා බව්තීස්ම-ස්නාපනයක් ලබන්න තිබේ; එය ඉටු වන තුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි. 51 පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි යි ඔබ සිතන්නාහු ද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස යයි මම ඔබට කියමි. 52 මෙ‍වක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධ ව තිදෙනෙක් ද තිදෙනෙකුට විරුද්ධ ව දෙදෙනෙක් ද භේද වන්නෝ ය. 53 පියා පුතාටත්, පුතා පියාටත්, මව දුවටත්, දුව මවටත්, නැන්දම්මා ලේලිටත්, ලේලිය නැන්දම්මාටත් විරුද්ධ ව භේද වන්නෝ ය.”

අවස්ථාව තේරුම්ගැනීම
(මතෙව් 16:2-3)

54 තවද උන් වහන්සේ සමූහයන්ට කතා කොට, ”අවර දිගින් වලාකුළක් නඟිනු ඔබ දක්නා විට, ‘වර්ෂාවක් එන්නේ ය’යි ඔබ එවේලේ ම කියන්නහු ය; එසේ ම වහින්නේ ය. 55 දකුණු දිගින් සුළඟ හමන විට, ‘දැඩි ග්‍රීෂ්මයක් වන්නේ ය’යි ඔබ කියන්නහු ය; එසේ ම වන්නේ ය. 56 කෛරාටිකයෙනි, අහසේ ද පොළොවේ ද ලකුණු තෝරා දීමට ඔබ දන්නාහු ය; එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේ ද?”

පැමිණිලිකරු සමඟ සමඟි වීම
(මතෙව් 5:25-26)

57 ”හරි දෙය කුමක් දැ යි ඔබ ම විනිශ්චය නොකරන්නේ මන් ද? 58 ඔබේ පැමිණිලිකාරයා සමඟ උසාවියට යන විට, මඟ දී ම ඔහු සමඟ බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළොත් සමහරවිට ඔහු ඔබ නඩුකාරයා වෙත ඇදගෙන යන්නේ ය; නඩුකාරයා ද ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; උසාවියේ නිලධාරියා ඔබ හිරගෙට යවන්නේ ය. 59 අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW