ශු. ලූක් – 1 වන පරිච්ඡේදය

පිළිගැන්වීම

1 ශ්‍රීමත් තියෝපිලස් තුමෙ‍නි, අප අතර ඉටු වී ඇති සිද්ධීන් අලළා කථා වස්තුවක් සම්පාදනය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කර ඇත. 2 ඔවුන් එසේ කර ඇත්තේ ඒ සිද්ධීන් මුල සිට ම සියැසින් දුටු අය හා දහම් පණිවුඩය දෙසූ අය අපට භාර දුන් කරුණු අනුව ය. 3 එබැවින්, මුල සිට ම සියල්ල තතු පරිදි විමසා බැලූ මට ද ඔබ උදෙසා විධිමත් වෘත්තාන්තයක් ලිවීම මැනවැ යි සිතිණි. 4 මා එසේ ලියන්නේ, ඔබ තුමාණන්ට උගන්වා ඇති කරුණුවල නියම සත්‍යය පහදා දෙන පිණිස ය.

ස්නාවක ජොහන්ගේ උත්පත්තිය

5 ජුදාහි රජ වූ හෙරොද්ගේ කාලයෙහි අබියාගේ පේරුවට අයත් සෙකරියස් නම් එක් පූජක නමක් විය. ඔහුට ආරොන්ගේ පෙළපතෙන් බිරිඳක් වූවා ය. ඇගේ නම එලිසබෙත් ය. 6 මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ. 7 එලිසබෙත් වඳ ව සිටි බැවින් ඔවුන්ට දරුසම්පතක් නො වී ය. ඇරත් ඒ දෙපොළ වයස් ගත ව සිටියහ.
8 සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට, 9 පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙ‍න්, සෙකරියස්ට පැවරිණි. 10 සුවඳ දුම් පූජා පවත්වන වේලෙහි මුළු පිරිස පිටත යාච්ඤා කරමින් උන්හ. 11 එවිට දුම් පූජාසනයට දකුණු පසින් සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔහුට දර්ශනය විය. 12 සෙකරියස් ඔහු දැක කැළඹී බියපත් විය. 13 දේව දූතයා ඔහුට කතා කොට, ”සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න. 14 සතුට හා සොම්නස ඔබට ඇති වේ. බොහෝ දෙන ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් ප්‍රීති වන්නාහ. 15 මන්ද, ඔහු සමිඳාණන් වහන්සේ අබිමුවෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහු මිදියුස වත්, මත්පැන් වත් නොබොන්නේ ය. මව්කුස සිට ම ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්නේ ය. 16 ඔහු ඉශ්රායෙල්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත හරවන්නේ ය. 17 ඔහු මවුපියන් හා දරුවන් සමඟි කරවන පිණිස ද, නොදැමුණු ජනයන් දමිටුන්ගේ ප්‍රඥාවට හරවන පිණිස ද, සැදී පැහැදී සිටින සෙනඟක් සමිඳාණන් වහන්සේට සූදානම් කර දෙන පිණිස ද, එලියාගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් උන් වහන්සේට පෙරටුව යන්නේ ය”යි කී ය.
18 එවිට සෙකරියස්, දේව දූතයා අමතමින්, ”මා මෙ‍ය දැනගන්නේ කෙසේ ද? මම මහල්ලෙක්මි; මාගේ භාර්යාව ද වයස්ගත ව සිටී ය”යි කී ය. 19 දේව දූතයා පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේ අබිමුවෙහි සේවා කරන ගාබ්‍රියෙල් මම ය; මා එවන ලද්දේ ඔබ සමඟ කතා කරන්නටත්, මේ සුබ ආරංචිය ඔබට පවසන්නටත් ය. 20 බලන්න. නියම කාලයෙහි ඉටුවන්න යන, මා කී දේ ඔබ අවිශ්වාස කළ බැවින්, මේ කාරණා සිදු වන දවස දක්වා ඔබ කතා කළ නොහැකි ව නිහඬ වනු ඇතැ”යි කී ය.
21 සෙකරියස් එන තෙක් බලා සිටි සමූහයා ඔහු ශුද්ධස්ථානයෙහි පමා වීම ගැන මවිත වූ හ: 22 ඔහු පිට වී ආ කල ඔවුන් සමඟ කතා කිරීමට අපොහොසත් විය. ඔහු පූජා ස්ථානයෙහි යම් කිසි දර්ශනයක් දක්නට ඇතැ යි ඔව්හු තේරුම්ගත්හ. ඔහු ද අතින් සංඥා කරමින් ගොළුගැහී සිටියේ ය. 23 සේවා කාලය නිම වූ පසු ඔහු සිය නිවෙසට ගියේ ය.
24 මඳ කලකට පසු ඔහුගේ බිරිඳ වන එලිසබෙත් ගැබ්ගෙන, පස් මසක් රහසිගත ව වෙසෙමින්, 25 ”ලෝකයා අතර පැවති මාගේ නින්දාව පහ කරනු වස් සමිඳාණන් වහන්සේ මෙ‍කල මා දෙස කරුණාවෙන් බලා මේ දේ කළ සේකැ”යි කීවා ය.

ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීම

26 සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ, 27 දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. 28 දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ”විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය. 29 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. 30 දේව දූතයා ඈට කතා කොට, ”මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය. 31 මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න.
32 ”උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; 33 උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය.
34 එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, ”මට පුරුෂයෙකු නැති බැවින් මෙ‍වැන්නක් කෙසේ විය හැකි දැ”යි ඇසුවා ය. 35 දේව දූතයා ඈට උත්තර දෙමින්, ”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. 36 බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය. 37 මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය. 38 මරිය තුමී කතා කරමින්, ”බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.

මරිය තුමී එලිසබෙත් බැහැදැකීම

39 දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්, 40 සෙකරියස්ගේ ගෙට ඇතුළු වී, එලිසබෙත් හට ආචාර කළා ය. 41 එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, 42 මහ හඬින් උදන් අනමින්, ”ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය. 43 මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද? 44 මක්නිසා ද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය. 45 සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.

මරියාවන්ගේ උදාන ගීය

46 එවිට මරිය තුමී මෙ‍සේ උදන් ඇනුවා ය:
”මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,
47 මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි;
48 මක්නිසා ද, එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක.
හැම පරපුරක් ම මෙ‍තැන් සිට, භාග්‍යවන්තී ය’යි මට කියනු ඇත.
49 පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක.
‘පරිශුද්ධයාණෝ’ යනු එතුමන්ගේ නාමය ය.
50 එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.
51 සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර,
52 මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක.
53 සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.
54 අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට,
55 සදහට ම පොරොන්දු වූ දයාව සිහි කරමින් සිය සේවක ඉශ්රායෙල් සෙනඟ හට, පිහිට වූ සේක.”
56 මරිය තුමී, එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියා ය.

ස්නාවක ජොහන්ගේ උපත

57 නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවා ය. 58 ඇගේ අසල්වැසියෝ ද නෑයෝ ද සමිඳාණන් වහන්සේ ඈ කෙරෙහි මහා දයානුකම්පාවක් දැක්වූ බැව් අසා ඇය සමඟ ප්‍රීති වූ හ. 59 තවද, අට වන දා චර්මඡේදන පිළිවෙත පිණිස ඔව්හු දරුවා ගෙනැවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියස් යයි නම් තබන්නට සැරසුණහ. 60 එහෙත්, ඔහුගේ මව කතා කරමින්, ”එසේ නොවේ; ඔහුට ජොහන් යන නාමය තැබිය යුතු ය”යි කීවා ය. 61 ”ඔබේ නෑයන් අතර ඒ නාමය ඇත්තෙක් නැතැ”යි ඔව්හු ඈට කී හ. 62 ඔහුගේ පියා ඔහුට කුමන නමක් තබන්න කැමැති දැ යි දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥා කළහ. 63 ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන, ”ඔහුගේ නම ජොහන් ය”යි ලිවී ය. සියල්ලෝම මවිත වූ හ. 64 එකෙණෙහි ම ඔහුගේ කතා ශක්තිය ලැබිණි; ඔහු දෙවියන් වහන්සේ පසසමින් කතා කෙළේ ය. 65 අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙ‍පවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය. 66 ඒ ඇසූ හැම දෙන ම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන, ”ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේ දැ”යි ඇසූ හ. මක්නිසා ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය.

සෙකරියස්ගේ ප්‍රශංසා ගීතය

67 ජොහන්ගේ පිය වූ සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව දිවැස් වැකි පවසමින් මෙ‍සේ කී ය:
68 ”ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේ වා!
69 සිය දාසයා වූ දාවිත්ගේ වංශයෙන් අප හට, බලවත් මිදුම්කාරයෙකු එතුමාණෝ එවූ සේක.
70 එසේ වූයේ, පෙර ශුද්ධ දිවැසිවරුන්ගේ මුවින් පැවසූ ලෙස ය.
71 රුපුන්ගෙන් හා අපට වෙර බැන්දවුන්ගෙන්, අප මුදාලන පිණිස, එතුමාණෝ එය කළ සේක;
72 මෙ‍සේ, අප පියවරුන්ට කළ දයා-පොරොන්දුව ඉටු කර, සිය ශුද්ධ ගිවිසුම සිහි කළ සේක.
73 එය, අප පිය ආබ්‍රහම්ට එතුමන් දිවුළ දිවුරුම ය.
74 මෙ‍සේ කෙළේ, අප සතුරන්ගෙන් මිදීම ලබමින්, නොබිය ව එතුමන්ගේ සේවයේ යෙදෙමින්,
75 එතුමන් අබිමුවෙහි බැතියෙන් හා දැහැමින්, දිවි ඇති තෙක් විසීමට ය.
76 ළදරුව, ඔබ සමිඳුන්ට පෙරටුව යමින්, එතුමන් මඟ පිළියෙළ කරන බැවින්, ‘මෙ‍හෙසුරු දිවැසිවර’ යන නම ඔබට දෙනු ඇත.
77 එතුමන්ගේ සෙනඟට පව් කමාවෙන් ලැබෙන ගැළවීම, ඔබ ඔවුන්ට දන්වන්නෙහි ය.
78 අප දෙවිඳාණෝ මෘදු ය, දයාවන්ත ය.
අප කෙරෙහි අහසින් ළහිරු රැස් උදා කරවන සේක.
79 ‍ අඳුරේ හා මරණ සෙවණේ සිටින්නවුන් කෙරෙහි, එලෙසින් එළිය උදා කරවමින් සෙත් මඟ යාමට අපට මඟපෙන්වන සේක.”
80 දරුවා වැඩී, ආත්මානුභාවයෙන් බලවත් ව තමන් ඉශ්රායෙල්ට ප්‍රකාශවන දිනය දක්වා පාළුකරයෙහි සිටියේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW