ජුනි 09 වන දින සුබ අස්න – ශු. මාක් 3: 20 – 35

20 උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ. 21 උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, ”උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි.
22 ජෙරුසලමෙන් ආ විනයධරයෝ, ”මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, ”දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ. 23 එවිට උන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, උපමාවලින් කතා කරමින් මෙසේ වදාළ සේක: ”සාතන් දුරු කරන්න සාතන්ට ම පුළුවන් ද? 24 යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය. 25 යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය. 26 සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ. 27 එහෙත්, බලවතෙකු පළමුකොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද බඩු කොල්ලකන්න කිසිවෙකුට නොහැකි ය. ඔහුගේ ගෙය කොල්ලකන්න හැකි වන්නේ, එසේ කළොත් පමණකි.
28 ”සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය. 29 එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.” 30 මෙසේ වදාළේ, ”උන් වහන්සේට අශුද්ධාත්මයක් වැහී ඇතැ”යි ඔවුන් පැවසූ බැවිනි. 31 එවිට උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද අවුත් පිටත සිට, උන් වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූ හ. 32 සමූහයක් උන් වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු, ”අන්න, ඔබේ මෑණියෝත්, සහෝදරයෝත්, සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති”යි උන් වහන්සේට කී හ. 33 උන් වහන්සේ උත්තර දෙමින්, ”මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද” කියා පෙන්වමින්, 34 තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා, ”මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ! 35 දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW