ශු. ජොහන් – 1 වන පරිච්ඡේදය

– 1 වන පරිච්ඡේදය –

ධර්මයාණන් මිනිසත් බව ගැනීම

1 ආරම්භයේ දී, ධර්මයාණෝa සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක.
2 ආරම්භයේ දී උන් වහන්සේ, දෙවියන් වහන්සේ සමඟ සිටි සේක.
3 සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී;
උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය.
4 උන් වහන්සේ තුළ ජීවය විය;
ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.
5 ආලෝකය අන්ධකාරයෙහි බබළයි;
අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය.
6 දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය. 7 ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි. 8 ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය.
9 සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.
10 උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක;
ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය.
එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.
11 උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.
12 එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක.
13 එසේ උපත ලැබූයේ, මානව සන්තතියෙන් වත්, කායික සබඳතාවෙන් වත්, මිනිස් පියෙකුගෙන් වත් නොව, දෙවියන් වහන්සේගෙන් ම ය.
14 ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක.
දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
15 ජොහන් උන් වහන්සේ ගැන සාක්ෂි දෙමින්, ”මට පසුව එන තැනැන් වහන්සේ මට පෙර වූ බැවින්, මට වඩා උතුම් ය යි මා කීවේ මුන් වහන්සේ ගැන ය”යි මොරගසා කී ය.
16 උන් වහන්සේගේ පූර්ණතාවෙන් අපි සියල්ලෝ ම වරප්‍රසාද පිට වරප්‍රසාද ලැබීමු. 17 කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය. 18 කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ ළයෙහි වැඩවසන, උන් වහන්සේගේ එක ම පුත්‍රයාණෝ ම උන් වහන්සේ ප්‍රකාශ කර වදාළ සේක.

ස්නාවක ජොහන්ගේ සාක්ෂිය
(මතෙව් 3:1-12; මාක් 1:2-8; ලූක් 3:15-17)

19 ”ඔබ කවරෙක් දැ”යි අසන පිණිස ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන් ද ලෙවීයයන් ද යැවූ කල, ජොහන් සාක්ෂි දෙමින්, 20 ”මම ක්‍රිස්තුස් නොවෙමි”යි නොසඟවා ම ප්‍රකාශ කෙළේ ය. 21 ”එසේ නම් කිමෙක් ද? ඔබ එලියා දැ”යි ඔව්හු ඇසූ හ. ”නැතැ”යි ඔහු කී ය. ”ඔබ ඒ දිවැසිවරයා ද?” යන ප්‍රශ්නයටත්, ”නැතැ”යි ඔහු කී ය. 22 ”එසේ නම්, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ”යි ඔව්හු ඇසූ හ. 23 ”මම නම්, යෙසායා දිවැසිවරයා කී පරිදි, ‘සමිඳාණන්ගේ මඟ පිළියෙළ කරන්නැ’යි පාළුකරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි”යි ජොහන් පිළිතුරු දුනි.
24 එවන ලද සමහරෙක් පරිසිවරු ය. 25 ඔව්හු ප්‍රශ්න කරමින්, ”ඉදින් ඔබ ක්‍රිස්තුස් වත්, එලියා වත්, ඒ දිවැසිවරයා වත් නොවන්නෙහි නම්, බව්තීස්ම-ස්නාපනයb කරන්නේ කුමක් නිසා දැ”යි ඇසූ හ. 26 ජොහන් ද පිළිතුරු දෙමින්, ”මම වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත්, ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති. 27 එනම්, මට පසුව වඩින තැනැන් වහන්සේ ය; උන් වහන්සේගේ පාවහන් පටි මුදන්නට වත් මම නොවටිමි”යි කී ය. 28 මෙය සිදුවූයේ, ජොහන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ජොර්දානෙන් එතෙර‍ බෙතානියේ දී ය.

දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ

29 පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, ”මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ! 30 මට පසු ව එන තැනැන් වහන්සේ මට පෙර සිටි බැවින් මට වඩා උතුම් යයි යමෙකු ගැන මම කීවෙම් ද? ඒ මුන් වහන්සේ ය; 31 මම උන් වහන්සේ නොහැඳින සිටියෙමි; එහෙත්, වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමින්, මා පැමිණියේ උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රකාශ වන පිණිස ය”යි කී ය.
32 තවද, ජොහන් සාක්ෂි දරමින්, ”ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බැස උන් වහන්සේ මත වැඩ හිඳිනු මම දිටිමි; 33 මම උන් වහන්සේ නොහැඳින සිටියෙමි; එහෙත්, වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරන්නට මා එවා වදාළ තැනැන් වහන්සේ ම මට කතා කොට, ‘ආත්මයාණන් යමෙකු පිට බැස විත් වැඩ හිඳිනු ඔබ දකින්නෙහි ද, ඒ වනාහි ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරන තැනැන් වහන්සේ ය’යි වදාළ සේක. 34 ඒ දේ මම ම දිටිමි; දැක, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි සාක්ෂි දැරුවෙමි”යි කීවේ ය.

මුල් ශ්‍රාවක පිරිස

35 පසු දින නැවතත් ජොහන් සිය ගෝලයන් දෙදෙනෙකු සමඟ සිටිය දී 36 මඟ වඩිනා ජේසුස් වහන්සේ දෙස බලා, ”බලන්න, දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ”යි කී ය. 37 ගෝලයෝ දෙදෙන ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියහ. 38 ජේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපස එනු දැක, ”ඔබ කුමක් සොයන්නහු දැ”යි ඇසූ සේක. ඔව්හු ද, ”රබ්බි, (එහි තේරුම ගුරුදේවයෙනි, යනු යි.) ඔබ වැඩ වසන්නේ කොතැන දැ”යි ඇසූ හ. 39 ”ඇවිත් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. එසේ ඔව්හු අවුත් උන් වහන්සේ වැඩ වසන ස්ථානය දැක, එදින උන් වහන්සේ සමඟ ගත කළහ. වේලාව සවස හතරට පමණ වී ය.
40 ජොහන්ගේ කීම අසා උන් වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් නම්, සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ ය. 41 ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, ”අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්‍රිස්තුස්’ යනු යි.) 42 ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ”ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට ‘කේපස්’ යයි කියනු ඇතැ”යි වදාළ සේක. (‘කේපස්’ යන්නෙහි අර්ථය ‘පර්වතය’c යනු යි.)

පිලිප් සහ නතානියෙල් කැඳවීම

43 පසු දින ජේසුස් වහන්සේ ගලීලයට යන්නට ඉටාගත් සේක. එහි දී පිලිප් හමු වී, ”මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. 44 පිලිප් වනාහි ඇන්ඩෘගේ සහ පේදුරුගේ ගම වූ බෙත්සයිදාවෙන් ආ තැනැත්තෙකි. 45 පිලිප් ද නතානියෙල් සොයා ගෙන, ”මෝසෙස් ව්‍යවස්ථාවලියෙහි හා දිවැසාවලියෙහි සඳහන් කර ඇති තැනැන් වහන්සේ, එනම්, ජෝසෙප්ගේ පුත් නාසරෙත්හි ජේසුස් වහන්සේ අපට හමු වූ සේකැ”යි කී ය. 46 නතානියෙල් ද කතා කරමින්, ”වැදගැම්මක් ඇති කිසිවක් නාසරෙතින් නික්මේ දැ”යි ඇසී ය. ”ඇවිත් බලන්නැ”යි පිලිප් කී ය. 47 ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, ”මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ”යි ඔහු ගැන වදාළ සේක. 48 ”ඔබ මා ගැන කෙසේ දන්නෙහි දැ”යි නතානියෙල් උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”පිලිප් ඔබ කැඳවන්නටත් පෙර, අත්තික්කා ගස යට ඔබ සිටිනු මම දිටිමි”යි වදාළ සේක. 49 නතානියෙල් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඔබ වහන්සේ නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල්හි රජිඳාණෝ ය”යි කී ය. 50 ජේසුස් වහන්සේ ද පිළිතුරු දෙමින්, ”ඔබ අත්තික්කා ගස යට සිටිනු මම දිටිමි, යි මා ඔබට වදාළ බැවින් ද, ඔබ අදහා ගත්තේ? මීට වඩා මහත් දේ ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක. 51 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි; ස්වර්ගය විවර වී, මනුෂ්‍ය-පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැඟ යනවාත්, බැස එනවාත් ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW