දවසේ පණිවුඩය

ශු. ජපමාලය කියන්නේ යක්ෂයාගේ බලයට අභියෝග කරන යක්ෂයාගේ බලය පරාජය කළ හැකි බලවත් ආයුධයක් බව මතක තබා ගන්න. ශු. ජපමාලය භක්තියෙන් නිතරම උච්චාරණය කරන්න. ශු. ජපමාලයේ බලය අත්දකින්න

තලෙන්තු පිළිබද උපමාව ඔබට මතක ඇති. මේ තලෙන්තු කියන්නේ අපේ හැකියා, දක්ෂතා, මුදල්, බලය ආදී බොහෝ දේ. මේ තලෙන්තු පිළිබද උපමාවෙන් අපිට ලබා දෙන පණිවුඩ කිහිපයක් තියෙනවා.

ඉන් එකක් තමයි මේ අපිට ලබා දී තිබෙන තලෙන්තු අපි භාවිතා කල යුත්තේ යහපත් දේ සදහා පමණයි කියන දේ. අපේ හැකියා අයහපත සදහා යොදා ගන්නේ නම් අපි කරන්නේ ලොකු පාපයක්. ඒ වගේම අපේ මේ තලෙන්තු අපි අපගේ ප්‍රයෝජනයට පමණක් නොව අන් අයගේ ජීවිත ගොඩ නැගීම සදහාත් අනිවාර්යයෙන් යොදා ගන්න ඕනිමයි. ජේසු මේ දේ අපෙන් ගොඩක් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ තලෙන්තු අපි දියුණු කරගන්න උත්සහ කරන්න ඕනි අතරම අන් අයගේ තලෙන්තු වැඩි වර්ධනය කිරීමට අපි උදව් කරන්න ඕනි. මෙන්න මේ දේවල් අපි කරනවනම් ජේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම අපේ තලෙන්තු තව තවත් වැඩි වර්ධනය කරනවාමයි.

දේව වචනයේ අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ පරිසිවරුන්ට කියනවා ඔබට වන විපතක මහත කියා. මන්ද ඔවුන් අනවශ්‍ය දේවල් වලට උනන්දු වුවත් අත්‍යවශ්‍යය දේවල් මඟ හරින බැවින්. මොනවද මේ අත්‍යවශ්‍යය දේවල් සාධාරණත්වය, දයාව, විශ්වාසය වැනි දෑ. ඒවා ඔවුන්ගේ ජීවිත වල තිබුනේ නැහැ.

අද සමාජය තුල අපේ ජීවිත දිහා හැරී බැලුවොත්, අපිත් ලොකු ලොකු තානාන්තර දරනවා වෙන්න පුළුවන්, සමාජයේ ලොකු මිනිසුන් වගේ අන් අය ඉදිරියෙහි සිටිනවා වෙන්න පුළුවන්, පරිත්‍යාගශීලි කෙනෙක් වගේ අනෙක් අයගේ ප්‍රශංසාවට ලක් වෙනවා වෙන්න පුළුවන්.නමුත් මේ හැමට වඩා අපේ ඇතුලාන්තය පිරිසිදු කරගත යුතුයි. සමාජයට මගේ ජීවිතය තේජාන්විත වුනාට, මගේ ගෙදරට , අසල්වැසියාට, මිතුරන්ට මම මහා නපුරු මිනිසෙක්ද කියල හිතල බලන්න. ඉතින් දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස ඇතුලාන්තය ශුද්ධ කරගන්නට අපි උත්සහ කරමු.

ජේසුස් වහන්සේ පරිසිවරුන්ට දෝෂාරෝපණය කිරීමේ සිද්ධිය ඔබට මතක ඇති.

ප්‍රථමයෙන් දෙවියන් වහන්සේට ලංවීමට අන් අයට බාධා කිරීම ගැන ඔවුන්ට දෝෂාරෝපණය කරනවා. දෙවනුව දයාවෙන් තොරව වංචනිකව බොරුවට පේන්න යාච්ඤා කිරීම ගැන දෝෂාරෝපණය කරනවා. ඒ වගේම ඔවුන් අන් අයට ආදර්ශමත් නොවන ලෙස ජීවත් වීම ගැන දෝෂාරෝපණය කරනවා. එමෙන්ම බාහිර වත්පිළිවෙත් මත පමණක් ජීවත් වෙමින් අධ්‍යාත්මික වටිනාකම් වලින් තොරව ජීවත් වීම ගැනත් දෝෂාරෝපණය කරනවා.

එදා ඒ පරිසිවරුන්ට කල දෝෂාරෝපණයට ඔබත් අද ලක්වෙනවාද. මදක් අවංකව සිතන්න. වෙනස් වෙන්න. මන්ද දිනෙක ඔබටත් මේ දේ වලට ජේසුට උත්තර බදින්නට සිදුවේවි.

අද ක්‍රිස්තුස් වහන්සේ කියනවා, “ඔබ පරිසිවරුන් කියන දේවල් පිළිපදින්න, ඒවා තුල යහපත් දේවල් තියෙනවා. නමුත් ඔවුන්ගේ ජීවිත ආදර්ශයට ගන්න එපා” කියා. ඔවුන් කුහකයි. ඔවුන් කියන්නේ එකක්, කරන්නේ එකක්. මේ තුලින් උන්වහන්සේ ලස්සන ගුණාංගයක් මතක් කරනවා. ඒ තමයි මේ ලෝකයේ නරකම කෙනා යහපත් දෙයක් කියනවනම් එය කරන්න, එයාගේ ජිවිතේ එක හොද දෙයක් තියනවානම් එය ආදර්ශයට ගන්න කියන දෙය.

මෙය අපිට අභියෝගයක්. අපි නරක කෙනෙක් දැක්කාම එයාව සම්පූර්ණයෙන් අපි බැහැර කරනවා. නමුත් එසේ නොකළ යුතුයි. මේ සමාජයට අපට යහපතක් කරන්නට පුළුවන් වෙන්නේ, නරක කෙනෙක් වුනත් යහපත් දෙයක් කිවොත් එය පිළිපදින්නට අප උත්සහ ගත්තොත් පමණි. අපිට එදිනෙදා ජිවිතයේදී හම්බෙන්නේ සර්ව සම්පූර්ණ අය නෙමේ. නමුත් ඒ අය යම් යහපතක් කියනවානම්, එය අපේ ජීවිතය තුල ඉටු කරන්නට උත්සහ කරමු.

මංගල භෝජනය පිළිබද වූ උපමාව ඔබට මතක ඇති. මෙහිදී අපි දකිනවා රජ තම රාජ භෝජනයට රටවැසියන්ට ආරාධනා කලත් ඔවුන් එය පිළිගන්නේ නෑ. එවිට මංමාවත්වලට ගොස් පිරිස ගෙනෙන්න කීවා. එවිට ඒ පැමිණිය අය අතරින් කෙනෙකු රාජ භෝජනයකට සුදුසු ඇඳුමක් ඇඳන් නොපැමිණියා කියා ඔහුට දඩුවම් දෙනවා. මෙයින් අපට කතා කරන්නේ දිව්‍ය සත්ප්‍රසාදය වළදන්නට අපිට ඇරයුම් කරන දෙවියන් වහන්සේ ගැනයි.

උන්වහන්සේ අප සැමට විවෘත ආරාධනාවක් කරනවා. නමුත් අපි දිව්‍ය පූජාවට ගියාට අර නුසුදුසු පුද්ගලයා වගේ වෙන්න හොද නෑ. ඒ කියන්නේ පාපිෂ්ඨභාවයෙන් ගිහින් උතුම් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ නොලැබිය යුතුයි. අපේ පාපයනට අවංකව මනස්ථාපනය වී පිරිසිදු සිතින් ගොස් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබිය යුතුයි. හැකිනම් පාපොච්චාරණයක් කිරීමෙන් පසු යා හැකිනම් තවත් හොදයි. යන්නන් වාලේ ගොස් පාපිෂ්ඨ බවින් අපි ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැළදුව හොත් අපි උන්වහන්සේගේ විනිශ්චයට ලක් වෙනවා. ඇයි අපි පිරිසිදුව යන්න ඕනේ? අපි දිව්‍ය සත්ප්‍රසාදය ලැබීම තුලින් උන්වහන්සේ සමඟ ඒකාබද්ධ වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධයි. එවිට උන්වහන්සේ හා සමානව අපිත් ශුද්ධවන්ත විය යුතුයි.

අද සුබ අස්න තුල ධනය සම්බන්ධයෙන් ජේසු කතා කරනවා. ධනවත් පුද්ගලයෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට කොතරම් අමාරුද කියල පෙන්වා දෙනවා. මෙහිදී ප්‍රශ්න තියෙන්නේ ධනය තුල නෙවෙයි, ධනය ලබද්දී ලබද්දී ඒ මිනිසා තුල සිදුවන වෙනසයි. මොනවද මේ වෙනස්කම්

දෙවියන් තුල යැපුණු ඔහු ධනය මත යැපෙන්න යනවා. මුදල් වලින් හැම දේම කරන්න යනවා. මුදල් තමයි දෙයියෝ කියල හිතෙනවා. තණ්හාව වැඩි වෙනවා. ඒ සමගම පරිත්‍යාගශිලී බව අඩු වෙනවා. සල්ලි නැතිව ඉද්දි ජේසුට මුල් තැන දුන්න පුද්ගලයා ධනය ලැබීම තුල ධනය තුල පමණක් කල් ගත කරනවා. ධනය විවිධාකාර පාපයන්ට ඇදගෙන යනවා. මේ ලෝකයට වහලෙක් වෙනවා. ක්‍රම ක්‍රමයෙන් දේව රාජ්‍යයෙන් ඈත් වෙනවා.

ඉතින් මෙතන ප්‍රශ්නේ කොච්චර ධනය තියෙනවද කියන එක නෙමේ, ඔහු ධනය භාවිතා කරන ආකාරය සහ ඒ තුල දෙවිදුන්ගෙන් ඈත් වීමයි. මේදේ පොඩ්ඩක් සල්ලි තියෙන පුද්ගලයෙකුට පවා වෙන්න පුළුවන්. ඉතින් ධනය තුල ඔබව වෙනස් කරන්න දෙන්නේ නැතුව, ඔබ ඒ ධනයම දෙවිදුන්ගේ කැමැත්ත ඉටු කරන්න යොමු කරනවානම්, ජේසුගේ ආශිර්වාදය ඔබට තව ලැබෙන ඇත දිනෙක මරණින් පසු සදාතන ජීවිතයට පවා උරුමකම් කීමට හැකියාව ලැබෙනවා.

අද සුබ අස්න තුල ජේසු කියනවා උන්වහන්සේ නිසා මේ ලෝකයේ බේද බින්න ඇති වෙනවා කියල. මේ කියන්නේ මොකක්ද. ජේසුගේ පැමිණීම තුල කිතු දහම ලොවට ප්‍රකාශ වෙනවා. මිනිසුන් තමන්ගේ වාසියට ආගම දහම හදාගෙන හිටිපු සමාජය වෙනස් වෙන්න පටන් ගන්නවා. නිවැරදි දෙය ව්‍යාප්ත වන විට වැරදි කරන මිනිස්සු එයට විරුද්ධ වෙනවා. මෙයයි සත්‍යය. අවසානයේ ලෝකයේ බොහෝ දෙනෙක් අදහන ආගම බවට කිතු දහම පත් වෙනවා

මේ වගේම තමයි අපේ ජීවිතත්. අපේ ජීවිතය අපි ජේසුට ඇත්තටම බාර දෙනවානම්, එතැන් සිට අපේ ජීවිත වෙනස් වෙන්න පටන් ගන්නවා. ජීවිතය තුල ප්‍රශ්න කියන දේ තියෙන්න පුළුවන්. ජේසු තුල ඉන්නවා කියල ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. නමුට් හේ ප්‍රශ්න වලට සාර්ථක විදිහට අපිට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඒ තුල ජීවිතය ශක්තිමත් වෙනවා. පෙර නොවීවිරූ සතුටක් අත්දකින්න පුළුවන් වෙනවා. මෙය කියවා විතරක් නොව, ජීවිතය තුලද අත් දකින්න. ජේසු තුළ ගමනකට යොමුවන්න. එවිට ඔබට ජේසුගේ බලය අත්දකින්න පුළුවන් වේවි.

අද දේව වචනයෙන් අපට කියන්නේ කුඩා දරුවන්ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න ඉඩ හරින්න. ඔවුන්ව වලක්වන්න එපා කියාය. මෙයින් උන්වහන්සේ අදහස් කලේ අපිත් කුඩා දරුවෙක් මෙන් බැහැපත් වූයේ නැත්නම්, ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය නොහැකි බවයි.

සමහර වෙලාවට අපි දැනුමෙන් පොහොසත් වී, ධනවත් වී, කීර්තිමත් වෙද්දී, මිනිසුන්ගේ සිත් දිනාගෙන බලවත් වෙද්දී, අපි දෙවියන් තුල යැපෙන ස්වභාවය අඩු වෙනවා. අපි සිතන්නට යනවා, අපට අවශ්‍යය ධනය හා බලය අප ළඟ තියෙනවා කියා.
මේ ලෝකය තුල අපට තනියම යැපෙන්න පුළුවන් කියා සිතනවා. අපට දෙවියන්ව අවශ්‍යය නෑ කියා අපි සිතනවා. මතක තබා ගන්න, එවිට දේව රාජ්‍යයද අපෙන් ගිලිහී යනවා. එමනිසයි අපිට පුංචි දරුවෙක් වගේ වෙන්න කියන්නේ. එමනිසා අපි තේරුම් ගත යුතුයි අපේ දැනුමෙන් අපි කොච්චර පූර්ණ වුවත් දෙවියන් නැතිව මේ ජීවිතය ගෙවන්න බැහැ, දෙවියන් නැති ජීවිතයෙන් අරුතක් නැහැ. දෙවියන් නොමැතිව දේව රාජ්‍යයද අපිට හිමි නොවන බව.

ජේසූ මුලින්ම ස්ථාපිත කල ප්‍රසාද නිධානය වන්නේ ආශිර්වාදකාර බන්ධනය නම් වූ උතුම් ප්‍රසාද නිධානයයි. නමුත් වර්තමාන ලෝකයේ මේ උතුම් ප්‍රසාද නිධානය විවිධාකාර විදිහට විකෘති කරමින් මිනිසුන් ජීවත් වෙනවා.

සමලිංගික විවාහයන් සාධාරණිකරණය කරන්න මිනිසුන් පෙළබෙනවා. නමුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුනේ මිනිසා හා ගැහැණිය එකට එකතුව ජීවත් වීමයි. එබැවින් සමලිංගික විවාහයන් කිසිලෙසකවත් නිවැරදි දෙයක් නොවන බව ඉතා පැහැදිලියි. කිතුණුවන් ලෙස අප ඒ සදහා විරුද්ධ විය යුතුයි. ඒ තුල සමාජය නිවැරදි මාර්ගයට ගැනීමට කටයුතු කල යුතුයි. එය කිතුණු අපේ වගකීමක්.

එමෙන්ම ජේසූ කියනවා මෝසෙස් දික්කසාදය අනුමත කලේ එවකට සිටි මිනිසුන්ගේ සිත් දැඩිකම නිසා මිස එය නිවැරදි දෙයක් නිසා නොවෙයි කියල. විවාහ ජීවිතය අභියෝගයක් වෙන්න පුළුවන්. නමුත් ඒ අභියෝග වලින් ජය ගන්නට, යහපත් විවාහ ජිවිතයක් ගත කරන්නට ජේසූ අපිට සැමවිටම උදව් උපකාර කරනවා. එබැවින් විවාහ ජිවිතයේ මුල් තැන ජේසුස් වහන්සේට ඔබ දෙපල දෙන්නේ නම් විවාහ ජීවිතය කිසිදිනක දෙදරුම් කන්නේ නැති බව හොදට මතක තබා ගන්න.

දේව වචනය තුල අපට කියනවා තිරිගු බීජය පොළොවේ වැටී නොමලොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි කියල. මෙයින් ජේසුස් වහන්සේ අදහස් කරන්නේ අපේ ජීවිතත් ඵල දරන්නට නම්, අපි දෙවියන් වහන්සේ හා අසල්වැසියා උදෙසා වැය විය යුතු බවයි. අපි ශුද්ධවූ සභාව උදෙසාද වැය විය යුතුයි. එවිට අප තුලින් අන් අය පෝෂණය වෙනවා.

නමුත් ඔබ, ඔබ වෙනුවෙන් පමණක් වැය වන්නේ නම්, ඔබ ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙනවා සේම, ඔබ අර ඵල නොදරපු තිරිගු බීජය වගේ වෙනවා. ඉතින් අද තීරණය කරමු, ජේසුස් වහන්සේ වෙනුවෙන් වැය වන්නටත් අන් අය වෙනුවෙන් වැය වන්නටත්.

අපේ කිතුනුවන් බොහෝ දෙනා ජීවිතයේදී ජීවිත ප්‍රශ්න හමුවේ ජේසුගෙන් ප්‍රාතිහාර්යය ඉල්ලනවා. මෙසේ කවුරු හරි ජේසුගෙන් ප්‍රශ්න හමුවේ ප්‍රාතිහාර්යයක් ඉල්ලනවා කියන්නේ ඒ කෙනා තුල ජේසු ගැන විශ්වාසයක් නැහැ කියන එකයි. මොකද අපි ප්‍රාතිහාර්යය තුලින් ඉල්ලන්නේ ජේසුගේ කැමැත්ත ජීවිතය තුළ ඉටු කරන්න කියල නෙමේ, අපේ සැලැස්ම කියල ඒක ඉටු කරලා දෙන්න කියලයි.

ජේසු තුළ ගැබුරු විශ්වාසයක් තියෙනවානම් අපි කරන්න ඕනි ප්‍රාතිහාර්යය ඉල්ලන්න නෙමේ, අපේ අවශ්‍යතාවයන් ඔබ වහන්සේ දන්නා නිසා ඒවා නියමිත මොහොතේ නියමිත ආකාරයෙන් ලබා දෙන්න කියලයි ඉල්ලන්න ඕනි. අන්න එවිට ජේසු උන්වහන්සේගේ සැලැස්ම පරිදි අපිට අවශ්‍යය දේ අපි හිතන විදිහට නෙමේ උනත් අපිට හොද විදිහට කරනවාමයි. මොකද අපේ අනාගතය ගැන අපි දන්නේ නැහැ, නමුත් ජේසු දන්නවා.

තමන්ගේ වරද පිළිගෙන එයට අවංකව පසුතැවිලි වී නැවත ඒ පාපයට යොමු නොවී සිටීමට උත්සහ කරන්නා ජේසුගේ සැබෑ ගෝලයෙක්. ජේසු මේ ලෝකයට ආවෙත් එවැනි අය සදහායි. ජේසු මේ ලෝකයේ වැඩිපුරම හිටියෙත් එවැනි අය සමගයි. කවුරු කොන් කලත් ජේසු එවැනි අයව ආදරයෙන් පිළිගත්තා. ජේසුගේ ගෝලයෝ පවා එවැනි තත්වයට වැටුනා. නමුත් ජුදාස් හැර අනිත් හැමෝම තම වරද පිළිගෙන පසුතැවී ජීවිත වෙනස් කරගෙන අවසානයේ මේ තාවකාලික ලෝකෙන් නික්ම ගිය පසු අපේ අරමුණ වන පසු සදාතන ජීවිතයට උරුමකම් දිනා ගත්තා. ජුදාස් වරද පිළිගත්තත්, ජේසුගේ ආදරය විශ්වාස කලේ නැහැ. පාපයෙන් ඈත්වී අලුත් ජීවිතයක් ගත කරන්න උත්සහ කලේ නැහැ. ඒ තුළ ඔහු විනාශ උනා.

පේදුරුතුමා, ක්‍රිස්තුස් වහන්සේව ඇසුරු කිරීම තුලින්, උන්වහන්සේ කල දේවල් දැකීම තුලින්, ඇසීම තුලින් හා තමන්ගේ පාපිෂ්ඨ බව තේරුම් ගෙන, එයින් මිදීමට සැබෑ බැහැපත්කමක් හා වැටුණු තැනින් නැගිටින්න ධෛර්යයක් තිබීම තුලින් උන්වහන්සේව හඳුනා ගත්තා. විශ්වාසය කියන්නේ පර්වතයක් වගේ දෙයක් නෙමේ, එය හැමවිටම වැටෙනවා. නමුත් අපේ වැටීම් හඳුනා ගෙන දේව ආදාරයෙන් නැවත නැගිටීමේ ධෛර්යයක් හා බැහැපත්කමක් තිබිය යුතුයි. ඉතින් අපි උත්සහ කරමු දෙවියන් දුන්න ඒ විශ්වාසය ප්‍රගුණ කර, බැහැපත්කම, මනස්ථාපනය හා ධෛර්යය තුල, දෙවියන්ව සොයන් යන්න. 

ශු. බයිබලයේ සදහන් කානානිය ස්ත්‍රීය තම දුවව සුව කරන්නට කියා ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉල්ලන අවස්ථාව ඔබට මතක ඇති. මෙහිදී අප දකිනවා උන්වහන්සේ ඇයව කිහිපවරක් ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ එසේ කරන්නේ ඇගේ විශ්වාසය ගොඩ නැගීමටයි. මෙයයි අපේ කිතුනු ජීවිතේ ආදර්ශ යාච්ඤා විය යුත්තේ.

අපි යමක් ඉල්ලද්දී; අපි යමක් ඉල්ලන්න අපි සුදුසු නෑ කියන දෙය ඒත්තු ගත යුතුයි. එසේම අප තුල තිබිය යුතුයි නොනවත්වා කරන යැදුම. ඉන්පසු මේ ස්ත්‍රීය මෙන්, ක්‍රිස්තුස් වහන්සේ තුල ගැබුරු විශ්වාසයක් අපි ඇති කරගත යුතුයි. උන්වහන්සේට මේ දෙය කල හැකියි යන විශ්වාසය තිබිය යුතුයි. කෙතරම් ප්‍රතික්ෂේප් වූවත් අධෛර්ය වෙන්න හොඳ නෑ. නොලැබීම් තුලදී වුවත් අත්නොහැර සිටිය යුතුයි. එසේම අප තුල අන් අය වෙනුවෙන් මැදිහත්වීමේ යැදුමක් තිබිය යුතුයි. ඉතින් අපි උත්සහ කරමු, යාච්ඤා කිරීමේදී මේ කොටස් 5 ම අන්තර්ගත කරගන්නට.

එමෙන්ම එය අපේ ජීවිතයට නුසුදුසු එනම් වෙන ප්‍රශ්නයක් ඒ තුලින් ඇතිවිය හැකි දෙයක් නම් අපේම යහපත සදහා ජේසු ඒ දේ අපට ලබා දෙන්නේ නැති බවත් හොදට මතක තබා ගන්න 

ජේසුස් වහන්සේ පන්දහසකට කන්නට දුන් ප්‍රාතිහාර්යය ඔබට මතක ඇති. මේ ප්‍රාතිහාර්යය තුල අපට ලබා දෙන ලොකුම පණිවුඩය තමයි බෙදා ගැනීම.

ඒ අවස්ථාවේ ඒ කුඩා දරුවා තමන් සතු සියල්ල ජේසුට ලබා දුන්නා. ඒ පරිත්‍යාගය තුළ ජේසු ප්‍රාතිහාර්යය සිදු කළා. ගොඩක් දෙනා තමන්ගේ ජීවිත වල ප්‍රාතිහාර්යය බලාපොරොත්තු වෙනවා. නමුත් තමන්ගෙන් වෙන්න ඕනි දේවල් ගැන කිසි තැකීමක් නැහැ. ජේසු අපෙන් බලාපොරොත්තු වෙන ලොකුම දෙයක් තමයි බෙදා ගැනීම. අප සතු දේ අවශ්‍ය අය සමග බෙදා ගැනීම. ඒ තුල අපේ සිතට සහනයක් ලැබෙන අතරම ජේසු අපේ ජීවිත තුලත් ප්‍රාතිහාර්යය සිදු කරනවා.

අපි දැන් ගත කරන්න ඉතා අසීරු කාලයක්. මේ කාලයේ ජේසු මේ බෙදා ගැනීම කියන දේ ගොඩක් අපෙන් බලාපොරොත්තු වෙනවා. අපගේ උදව් උපකාර අවශ්‍යය අය ඕනි තරම් සමාජය තුළ දැන් අපිට දැකගන්න පුළුවන්. ඉතින් බොරුව හිත හදා ගන්න නෙමේ, අවංකව හැකි උපරිමයෙන් ඔවුන්ට උදව් කරන්න. අන්න එවිට ඔබේ ජීවිතය තුලත් ඔබට ප්‍රාතිහාර්යය දැකගන්න පුළුවන් වෙයි. 

Suba Asna - සුබ අස්න

FREE
VIEW