ගලාති – 4 වන පරිච්ඡේදය

දේව දරුකම ලැබීම

1 මා අදහස් කරන්නේ මෙය යි: උරුමක්කාරයා සියල්ලට ම හිමිකාරයා වන නමුත්, ඔහු බාල වයස් කාරයෙකු ව සිටින තාක්, දාසයෙකුට වඩා වෙනසක් නැත. 2 පියා නියම කළ වයසට පැමිණෙන තුරු උරුමක්කාරයා භාරකාරයන් හා වගකිව යුතු අය යටතෙහි සිටියි. 3 එසේ ම අපිත් බාල වයස්කාරයන් ව සිටිය දී විශ්වයේ දෙවිදේවතාවන්ට වහල් ව සිටියෙමු. 4 එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක. 5 එසේ කළේ අප දරුකම ලබනු වස් උන් වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි සිටි අය මුදාගන්නා පිණිස ය. 6 තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස, ”අබ්බා, පියාණෙනි,” කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවා වදාළ සේක. 7 මෙසේ ඔබ තවදුරටත් දාසයෙක් නොව පුත්‍රයෙකි. පුත්‍රයෙක් නම්, දේව වරමින් උරුමක්කාරයෙකි.

ගලාතිවරුන් ගැන සැලකිල්ල

8 එසේ වුව ද ඔබ ඒ කාලයේ දී දෙවියන් වහන්සේ නොහැඳින, සැබැවින් ම දෙවිවරුන් නොවන අයට වහල් ව සිටියහු ය. 9 එහෙත් දැන් ඔබ දෙවියන් වහන්සේ පිළිගෙන තිබිය දී, නොහොත් දෙවියන් වහන්සේ ඔබ පිළිගෙන තිබිය දී, ඔබ ඒ දුර්වල, නිෂ්ඵල දෙවිදේවතාවුන්ට වහල්වීමේ ආශාවෙන්, නැවත ඔවුන් දෙසට හැරෙන්නේ කෙසේ ද? 10 ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහු ය. 11 සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත.
12 සහෝදරවරුනි, මා ඔබෙන් උදක් ම ඉල්ලන්නේ ඔබත් මා හා සමාන වන්නට කියා ය. වරක් මමත් ඔබ හා සමාන ව සිටියෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත. 13 මා මුලින් සුබ අස්න ගෙනාවේ මට ශරීරාබාධයක් තිබූ නිසා බව ඔබ දන්නහු ය. 14 එහෙත් මාගේ ආබාධය ඔබට කරදරයක් වුව ද, ඒ නිසා ඔබ මා පිළිකුල් කළේවත්, මට ද්වේෂ කළේවත් නැත. එසේ නොව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ද එපමණක් නොව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ම මෙන් ද ඔබ මා පිළිගත්තහු ය. 15 එසේ නම්, ඔබට තිබුණු ඒ ප්‍රීතිය දැන් කොයි ද? ඔබගේ ඇස් උගුළා මට දෙන තරමට වුව ද ඔබ සූදානම් ව සිටි බව සහතික ලෙස කිව හැකි ය. 16 දැන් මා ඇත්ත කතා කරන නිසා ම මම ඔබට සතුරෙක් වී සිටිම් ද?
17 මා ඉහත සඳහන් කළ පුද්ගලයන් ඔබට හිතවත්කමක් දක්වන නමුත්, එසේ කරන්නේ හොඳ අදහසකින් නොවේ. ඔවුන්ගේ අදහස නම්, ඔබ මා කෙරෙන් වෙන් කොටගෙන ඔබගේ සිත් දිනා ගැනීම යි. 18 යහපත සඳහා මිනිසුන්ගේ සිත් දිනාගැනීම, මා ඔබ සමඟ සිටින විට පමණක් නොව, කොයි වේලේත් හොඳ දෙයකි. 19 මාගේ දරුවෙනි, ඔබ තුළ ක්‍රිස්තු ගතිගුණ හැඩගැසෙන තුරු, ඔබ උදෙසා නැවතත් මම ප්‍රසව වේදනා විඳිමි. 20 ඒ නිසා හැකි නම් ඔබ සමඟ සිට වෙන පිළිවෙළකට ඔබට කතා කරන්න කැමැත්තෙමි. මන්ද, ඔබ ගැන මාගේ සිත වියවුල් වී තිබේ.

ගිවිසුමේ පූර්වාදර්ශ: සාරා හා හාගර්

21 ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න. 22 ආබ්‍රහම්ට පුත්‍රයන් දෙදෙනෙකු සිටි බව එහි කියා ඇත. එක් දරුවෙක් වහල් ස්ත්‍රියගෙනි. අනික් දරුවා නිවහල් ස්ත්‍රියගෙනි. 23 වහල් ස්ත්‍රියගේ පුතා ස්වාභාවික ලෙස ද, නිවහල් ස්ත්‍රියගේ පුතා දේව පොරොන්දුව අනුව ද උපන්නො‍් ය. 24 මෙය උපමාවකි. ස්ත්‍රීහු දෙදෙනා ගිවිසුම් දෙකකි. වහල් කමට දරුවන් දැරූ ස්ත්‍රිය, සීනයි කන්දෙන් පැමිණෙන ගිවිසුම ය. ඒ හාගර් ය. 25 සීනයි කන්ද අරාබියෙහි ඇත. එය දැන් තිබෙන ජෙරුසලමට අදාළ වේ. මන්ද, ඈ තමාගේ දරුවන් සමඟ දාස කමෙහි සිටින්නී ය. 26 එහෙත් නිවහල් ස්ත්‍රිය නම් ස්වර්ගීය ජෙරුසලම යි. ඒ අපගේ මාතාව ය. 27 ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත:
”දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, ප්‍රීතියෙන් මොරදෙන්න.
මන්ද, පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝ ය.”
28 සහෝදරයෙනි, ඔබ ඊසාක් ලෙස පොරොන්දුවේ දරුවෝ ය. 29 එහෙත් ස්වාභාවික ලෙස උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට ඒ කාලයේ දී පීඩා කළ ලෙස, දැනුත් පීඩා කරනු ලැබේ. 30 එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි කුමක් කියා ඇද් ද? ”වහල් ස්ත්‍රිය හා ඇගේ දරුවා පන්නාදමන්න; මන්ද, නිවහල් ස්ත්‍රියගේ පුත්‍රයාට, වහල් ස්ත්‍රියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේ ය” යනුයි. 31 එබැවින්, සහෝදරවරුනි, අපි වහල් ස්ත්‍රියකගේ නොව, නිවහල් ස්ත්‍රියකගේ දරුවෝ වෙමු.

Suba Asna - සුබ අස්න

FREE
VIEW