එස්තර් – 3 වන පරිච්ඡේදය –

1 ටික කලකට පසු අහෂ්වේරොෂ් රජ අගාග් දේශයේ හම්මෙදාතාගේ පුත් හාමාන් අනෙක් අය අතරෙන් වෙන්කොට තෝරාගත්තේ ය. ඔහු හාමාන් ගරුත්වයෙන් උසස් කර ඔහුගේ සියලු සමාගම්කරුවන් වූ අනෙක් නිලධාරීන්ට ඉහළ විශිෂ්ටත්වයක් ඔහුට දුන්නේ ය. 2 තවද භාණ්ඩාගාරයේ සේවාවෙහි නියුක්ත වූ රජුගේ සියලු සේවකයන් හාමාන්ට හිස නමා ආචාර කළ යුතු බවට රාජාඥාවක් ඔහු විසින් පනවන ලද්දේ ය. 3 මොර්දෙකායි ආචාර කිරීමට අකමැති වූයේ ය. එවිට භාණ්ඩාගාරයෙහි සිටි රාජ්‍ය සේවකයන් ඔහුට කතා කොට, ”ඔබ රාජාඥාව නොපිළිපදින්නේ මන්දැ”යි ඇසුවෝ ය. 4 ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නමුත් ඔහු ඇහුම්කන් නුදුන්නේ ය. එවිට ඔව්හු මොර්දෙකායි තමාගේ අදහස අනුව තවත් දුරට කරගෙන යන්නේ දැ යි බලන පිණිස මේ බව හාමාන්ට දැන්වූවෝ ය. මන්ද, තමා ජුදෙව්වෙකැ යි ඔහු ඔවුන්ට කියා තිබුණු හෙයිනි. 5 මොර්දෙකායි ආචාර නොකළ බව තමා විසින් ම දුටු හාමාන් අතිශයින් කෝපාවිෂ්ට වූයේ ය. 6 මොර්දෙකායි අයිති වූයේ කුමන ජාතියට දැ යි ඔහු දැනගත් විට මොර්දෙකායිට පමණක් පහර දීම සුළු දෙයක් කොට සලකා මොර්දෙකායි සමඟ අහෂ්වේරොෂ්ගේ මුළු අධිරාජ්‍යයෙහි පදිංචි ව සිටි සියලු ජුදෙව්වරුන් විනාශ කිරීමට ඔහු අරමුණු කර ගත්තේ ය.

ජුදෙව්වරුන් සමූලඝාතනය කිරීමේ ආඥාව

7 අහෂ්වේරොෂ් රජුගේ දොළොස් වන වර්ෂයේ නිසාන් නම් වූ පළමු වන මාසයෙහි දී, දවස හා මාසය දැනගනු සඳහා හාමාන් ඉදිරියෙහි පූර් හෙවත් පස ඇට දමනු ලැබුවේ ය. 8 පස ඇට දොළොස් වන මාසය වූ අදාර් මාසයට වැටුණේ ය. හාමාන් රජුට කතා කොට, 9 ඔබේ රාජ්‍යයේ සියලු ප්‍රදේශවල ගණන් නැති ජනයා අතර අපට සම්බන්ධ කර ගත නොහැකි එක්තරා මනුෂ්‍ය වර්ගයක් පැතිර ගොස් සිටී. ඔවුන්ගේ නීති අනෙක් සියලු ජාතීන්ගේ නීතිවලට වෙනස් ය. ඔවුන් රජුගේ නීති පිළිපදින්නේ නැත. එබැවින් ඔවුන් රුස්සා සිටීම රජුගේ ප්‍රයෝජනය සඳහා නොවේ. ”ඔවුන් විනාශ කිරීමට නියම කිරීම රජුගේ අභිමතය වන්නේ නම් රාජකීය භාණ්ඩාගාරයට බාර දෙන පිණිස මම එහි නිලධාරීන්ට රිදී කාසි දහ දාහක් ගෙවන්නෙමි”යි කීවේ ය.
10 එවිට රජු තමාගේ අතින් පේරැස් මුද්ද ගළවා ජුදෙව්වරුන්ගේ පීඩකයා වූ අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන්ට දී 11 ඔහුට කතා කොට, ”ඔබේ මුදල ඔබට ම තබාගන්න; මේ සෙනඟ සම්බන්ධයෙන් කියම් නම් මම ඔවුන් ඔබට පාවා දෙමි. ඔබ කැමැති දෙයක් කරන්නැ”යි කීවේ ය.
12 එවිට පළමු මාසයේ දස තුන් වන දින රජුගේ ලේකම්වරුන් කැඳවා රැස් කර හාමාන් විසින් රජුගේ දිසාපතීන්ට ද සියලු ප්‍රදේශවල ආණ්ඩුකාරයන්ට ද එක එක ප්‍රදේශයේ අධිපතීන්ට ද රජුගේ නියමයේ පිටපත් එක එක රටේ අකුරුවලින් හා එක එක සෙනඟගේ භාෂාවෙන් පිළියෙළ කර යවනු ලැබුවේ ය. මේ ආඥාව අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා රජුගේ පේරැස් මුද්දෙන් මුද්‍රා කරන ලදී. 13 අදාර් නම් දොළොස් වන මාසයේ දස තුන් වන දින තරුණයන් හා මහල්ලන් ද බාලයන් හා ස්ත්‍රීන් ද යන සියලු ජුදෙව්වරුන් එක දවසේ දී ම නැති කරදමන්නටත් විනාශ කරන්නටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්ටත් අණ කළ ලියවිල්ල දූතයන් මඟින් යවන ලද්දේ ය.
මේ ලියවිල්ලේ පිටපත මෙසේ ය: ”මහා අහෂ්වේරොෂ් රජු විසින් ඉන්දියාව පටන් එතියෝපියාව දක්වා පැතිර පවතින ප්‍රදේශ එක සිය විසි හතේ ආණ්ඩුකාරයන්ට හා ඔවුන්ගේ මුළු සහකාර ප්‍රාදේශීය මුලාදෑනීන්ට ද ලියා එවන වග නම්: බොහෝ ජාතීන් පිට ආධිපත්‍යය දරන්නා වූ ද මුළු ලෝකයේ ස්වාමීන් වූ ද මම, කිසිකලෙක බලයේ අහංකාරයෙන් මත් ව ක්‍රියා නොකරන්නට ද නිතර වැදගත් පැවතුම් ඇති ව හා අනුකම්පා සහගත ව පාලනය කිරීමට ද මේ ආකාරයෙන් මාගේ වැසියන්ට කලබලයක් හො‍් කැළඹීමක් නොමැති ව ජීවිතය නිතර භුක්ති විඳීමේ භාග්‍යය ලබා දීමට ද මාගේ රාජ්‍යයට ශිෂ්ටාචාරයේ ලාභ ප්‍රයෝජන හා ඒ රාජ්‍යයේ එක කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා අවහිරයක් නොමැති ව ගමන් කිරීමේ පහසුව ලබා දී සියලු මනුෂ්‍යයන් ආශා කරන සාමය පිහිටුවීමට ද අදහස් කරගෙන සිටිමි. මේ පරමාර්ථ ඉටු කරගත හැක්කේ කෙසේ දැ යි අපේ උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කළ විට මාගේ උපදේශකයන්ගෙන් එක් කෙනෙක් වූ, අප අතර ප්‍රඥාවෙන් විශිෂ්ට වූ ද නොවරදින හිතේසිවන්තකම හා වෙනස් නොවන විශ්වාසවන්තකම සම්බන්ධයෙන් ඔප්පු සාක්ෂි ඇත්තා වූ ද නිලයෙන් අපට පමණක් දෙවැන්නා වූ ද හාමාන් නම් උපදේශකයා ප්‍රකාශ කළ ප්‍රකාර ලෝකයේ සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේ නපුරු අදහස් ඇති මනුෂ්‍ය ජාතියක් මිශ්‍ර වී සිටී. ඔව්හු තමන්ගේ නීතිවලින් අනෙක් සියලු ජාතීන්ට විරුද්ධ ය. ඔව්හු රජුගේ නියමයන් නිතර හෙළා දකිති. පොදු යහපත සඳහා අප විසින් පිහිටු වන ලද පාලනයට ඔව්හු බාධාවකි. වංශයෙන් ඔව්හු අපූර්ව ජාතියකි. ඔවුන්ගේ නොහොබිනා නීති ක්‍රමයෙන් වෙනස් ව සිටින මුළු මනුෂ්‍ය සංහතියට ම ඔව්හු විරුද්ධ වෙති. ඔව්හු අපේ යහපතට සතුරුකම් කරති. අති දුෂ්ට අපරාධ කරමින් අපේ රාජ්‍යයේ චිරස්ථිතිය අන්තරායට පත් කරති. ”මේ නිසා අපේ යහපත රැකබලා ගැනීමට පත් කරන ලද්දා වූ ද අපට දෙ වන පියෙකු හා සමාන වූ ද හාමාන්ගේ ලියවිල්ලෙහි සඳහන් කරන ලද සියලු දෙනා ස්ත්‍රීන් හා දරුවන් ඇතුළු ව ඔවුන්ගේ සතුරන්ගේ කඩුවෙන් කිසි අනුකම්පාවක් හො‍් දයාවක් නොමැති ව මේ වර්ෂයේ අදාර් නම් දොළොස් වන මාසයේ දස සතර වන දින දී සම්පූර්ණයෙන් විනාශ කරන ලෙස අපි අණ කරමු. එවිට ඊයේත් අදත් අපේ විරුද්ධකාරයන් වූ මොවුන් එක දවසක දී පාතාල ලෝකයට හෙළාදමනු ලැබූ විට අපේ රජයට සදා ස්ථිරත්වය ද සාමය ද අත්වන්නේ ය.”
14 ඉහත කී දවසට සූදානම් වී සිටින පිණිස සෑම ප්‍රදේශයක ම නීතියක් වශයෙන් ප්‍රකාශ කරනු ලැබිය යුතු මේ නියෝගය සියලු මනුෂ්‍ය වර්ගයාට ප්‍රසිද්ධ කරන ලද්දේ ය. 15 රජුගේ අණ පිට පණිවුඩකාරයෝ වහාම පිටත් ව ගියෝ ය. මේ නියෝගය පළමුවෙන් ම ප්‍රකාශ කරන ලද්දේ සූසා බලකොටුවෙහි ය. රජු සහ හාමාන් ආහාර පානාදියෙන් අධික ලෙස පිනා ගිය අතර සූසා නුවෙරහි කැළඹීම හා ත්‍රාසය රජකම් කෙළේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW