එස්තර් – 2 වන පරිච්ඡේදය –

එස්තර්ට බිසො‍් තනතුර ලැබීම

1 මින් ස්වල්ප කලකට පසු තම බලවත් කෝපය සංසිඳුන විට අහෂ්වේරොෂ් රජුට වස්තී ද ඈ හැසුරුණු ආකාරය ද ඒ සම්බන්ධයෙන් ගන්න ලද තීරණයන් ද සිහි විය. 2 එවිට රජු වෙත සිටි සේවකයෝ ඔහුට කතා කොට, ”රූමත් තරුණියන් රජු උදෙසා සොයත් වා! 3 එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් සූසා බලකොටුවෙහි අන්තඃපුරයට රජුගේ නපුංසකයෙකු වූ, ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි යටතේ රැස් කරන පිණිස රජු විසින් තම රාජ්‍යයේ සියලු ප්‍රදේශවල මුලාදෑනීන් පත් කෙරේ වා! ඔහු ඔවුන්ට තමන් අලංකාර කරගැනීමට අවශ්‍ය වන සියලු දේ සපයා දේ වා! 4 එවිට රජු වඩාත් ම කැමැති වන තරුණිය වස්තී වෙනුවට ඔහුගේ බිසොව වේ වා!”යි කීවෝ ය. මේ යෝජනාවට රජ එකඟ වී එසේ ම කෙළේ ය.
5 බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් පිටුවහල් කරන ලද ජුදාහි රජ වූ ජෙකොනියාස් සමඟ ගෙනයනු ලැබූවන් අතරේ, 6 ජෙරුසලමෙන් නෙරපා දමන ලද බෙන්ජමින් ගෝත්‍රයේ කිෂ්ගේ පුත්‍රයා වන ෂමයිගේ පුත් ජයිර්ගේ පුත්‍රයා වන මොර්දෙකායි නම් ලත් ජුදා ජාතිකයෙක් සූසා බලකොටුවෙහි සිටියේ ය. 7 ඔහු හදස්සා හෙවත් එස්තර් නමැත්තියක දරුවෙකු මෙන් ඇතිදැඩි කරගෙන සිටියේ ය. ඔහුගේ බාප්පාගේ දුව වූ ද මවුපිය දෙදෙනා නැති ව අනාථ වූ ද ඈ මනා පෙනුමකින් සහ ශෝභා සම්පන්න මුහුණකින් යුතු ය. ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකායි ඇය තමාට දුවක වශයෙන් හදාගත්තේ ය.
8 රජුගේ නියෝගය ප්‍රකාශ කරනු ලැබූ කල්හි තරුණියෝ බොහෝ දෙනෙක් සූසාහි බලකොටුවට රැස් කරන ලදුව රාජ මාලිගාවට ගෙනයනු ලැබුවෝ ය. අනෙක් තරුණියන් මෙන් ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි යටතට බාර දෙන ලද මේ තරුණිය ඔහුට ප්‍රසන්න වී ඔහුගේ ප්‍රසාදය ලබා ගත්තා ය. 9 ඔහු ඇයට තමා අලංකාර කරගැනීමට අවශ්‍ය සියලු දේ වන ආහාර පාන හැකි පමණ ඉක්මනින් සපයා දෙන්නට ඕනෑකමින් සිතට ගත්තා පමණක් නොව ඇයට රජ ගෙදරින් තෝරන ලද සේවිකාවන් සත් දෙනෙකු ද දී ඒ සේවිකාවන් සමඟ ඇය අන්තඃපුරයේ වඩා හොඳ කාමර පෙළකට මාරු කෙළේ ය. 10 එස්තර් ඇගේ ජාතිය වත් ඇගේ පරපුර වත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකායි ඇයට අණ කර තිබුණ හෙයිනි. 11 මොර්දෙකායි එස්තර්ගේ සැප සනීප හා ඇයට සිදු විය හැකි සියලු දේ ද දැනගනු සඳහා දිනපතා ම අන්තඃපුරයේ මළුව ඉදිරියේ ඇවිද්දේ ය. 12 එක එක තරුණ ස්ත්‍රීන් සඳහා වූ නියෝගයෙන් නියම කරන ලද කාලයට හෙවත් මාස දොළසකට පසු තමාගේ වාරය අනුව අහෂ්වේරොෂ් රජ ඉදිරියෙහි පෙනී සිටීම අවශ්‍ය විය. මේ සූදානම් වීමේ කාලය මෙසේ ගත කළ යුතු විය. සය මසක් තුළ තරුණියෝ සුවඳ ලාටු තෛලය භාවිත කළෝ ය. තවත් සය මසක් තුළ ගුගුල් ද ස්ත්‍රීන් තමන් අලංකාර කරගැනීම සඳහා සාමාන්‍යයෙන් යොදන සුගන්ධ තෛලය ද පාවිච්චි කළෝ ය. 13 රජු ඉදිරියට යනු පෙර එක එක තරුණිය විසින් තමා කැමැති කොයි දෙයක් වුවත් ඉල්ලිය හැකි විය. එය ඇයට සපයන ලද්දේ ය. ඈ අන්තඃපුරයේ සිට රාජ මාලිගාවට ගිය විට එය තමා සමඟ ගෙන ගියා ය. 14 ඈ එහි ගියේ සවස ය. පසු දින ස්ත්‍රීන්ගේ දෙ වන ගෙට, රජුගේ නපුංසකයා වූ උපභාර්යාවන්ගේ රැකවලා වූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට, හැරී ආවා ය. රජු ඇයට ප්‍රිය ව නම කියා ඇයට අඬ ගැසුවොත් මිස නැත්නම් ඇය රජු ළඟට තවත් පැමිණියේ නැත.
15 එහෙත්, මොර්දෙකායි විසින් දුවක වශයෙන් ඇති කරගන්නා ලද්දා වූ ද තම බාප්පා වූ අබිහයිල්ගේ දුව වූ ද එස්තර්ට රජු වෙත යාමට වාරය පැමිණි විට රජුගේ නපුංසකයා වූ ද ස්ත්‍රීන්ගේ රැකවලා වූ ද හෙගයි නියම කළ දේ හැර අන් කිසිවක් ඈ නොඉල්ලුවා ය. එහෙත්, එස්තර් ඈ දුටු සියලු දෙනාගේ විස්මය දිනා ගත්තා ය. 16 මෙසේ එස්තර්ට අහෂ්වේරොෂ් රජුගේ රජ කාලයේ සත් වන වර්ෂයේ තෝබෙත් නම් දස වන මාසයෙහි දී රජගෙයි ඔහු වෙත ගෙනයනු ලැබුවා ය. 17 රජ ද සියලු ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ප්‍රිය කෙළේ ය. ඈ ඔහු ඉදිරියෙහි අන් සියලු තරුණියන්ට වඩා ප්‍රශංසා ද ලබා ගත්තා ය. එබැවින් ඔහු ඇගේ හිස පිට රාජ ඔටුන්න තබා වස්තී වෙනුවට ඇය බිසො‍් තනතුරට තෝරාගත්තේ ය.
18 ඉන්පසු රජ තමාගේ සියලු අධිපතීන්ට හා සේවකයන්ට එස්තර්ගේ මංගල භෝජනය වූ මහා භෝජන උත්සවයක් පවත්වා සියලු ප්‍රදේශවලට නිවාඩු දිනයක් නියම කර රාජකීය ත්‍යාගවන්තකමින් සරු ලෙස පාරිතෝෂිකයන් බෙදා දුන්නේ ය.

මොර්දෙකායි සහ හාමාන්

19 අනෙක් තරුණියන් මෙන් දෙ වන අන්තඃපුරයට මාරු කරනු ලබන විට එස්තර්, මොර්දෙකායි ඇයට අණ කළ පරිදි, 20 ඇගේ ජාතිය වත් පරපුර වත් ඈ නොදන්වා සිටියා ය. ඈ තමා මොර්දෙකායිගේ භාරකාරත්වය යටතේ සිටිය දී මෙන් දැනුදු ඔහු නියම කළ දේ ඉටු කළා ය. 21 එකල්හි මොර්දෙකායි රාජකීය භාණ්ඩාගාරයෙහි සේවාවෙහි යෙදී සිටියේ ය. රජු කෙරෙහි අමනාපයෙන් සිටි නපුංසකයන් වූ බිග්තාන් සහ තෙරෙෂ් යන එළිපත මුරකාවේ දෙදෙනෙක් අහෂ්වේරොෂ් රජු රහසින් මැරීමට කුමන්ත්‍රණය කළෝ ය. 22 මොර්දෙකායි ඒ ගැන එස්තර් බිසවට දැන්වූයේ ය. එස්තර් ද මොර්දෙකායිගේ නාමයෙන් රජුට ඒ ගැන කීවා ය. කාරණය විභාග කරගත් කල්හි එය සැබෑ බව ඔප්පු විය. කුමන්ත්‍රණකාරයෝ දෙදෙනා පෝරකයට යවන ලද්දෝ ය. මේ කාරණය රජු ඉදිරියෙහි දී ම රාජ වංශාවලියෙහි ලියා තබන ලද්දේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW