එස්තර් – 1 වන පරිච්ඡේදය –

අහෂ්වේරොෂ්ගේ මංගල භෝජනය

1 අහෂ්වේරොෂ් රජ දවසේ මෙවැන්නක් සිදු විය. අහෂ්වේරොෂ්ගේ අධිරාජ්‍යය ඉන්දියාව පටන් එතියෝපියාව දක්වා යටත් විජිත එක සිය විසි හතකින් යුක්ත විය. 2 එකල්හි ඔහු තම රාජ්‍ය කාලයේ තුන් වන වර්ෂයෙහි දී සූසා බලකොටුවේ රාජාසනය පිට වැඩහුන් කල, 3 තමාගේ අධිකාරි මණ්ඩලයේ උසස් නිලධාරීන්ට ද අමාත්‍යවරුන්ට ද පර්සියාවේ හා මේදියාවේ සේනාධිපතිවරුන්ට ද ප්‍රදේශවල ප්‍රභූ ජනයාට හා ආණ්ඩුකාරයන්ට ද තමාගේ ප්‍රධානත්වයෙන් මංගල භෝජන උත්සවයක් පැවැත් වී ය. 4 මෙසේ ඔහු ඔවුන් ඉදිරියෙහි තම ධනය හා තම අධිරාජ්‍යයේ යසඉසුරුත් තම රාජශ්‍රියේ තේජෝමහිමයත් විදහා පාන්නට අදහස් කෙළේ ය. මේ මංගල උත්සවය දවස් කීපයක් තුළ, එනම් දවස් එක සිය අසූවක් තුළ පැවතිණි.
5 මේ දවස් නිම වූ විට රජ තෙමේ සූසා බලකොටුවෙහි සිටි ලොකු කුඩා සියලු සෙනඟට රාජ මාලිගාවට යාබද මළුවෙහි සත් දවසක් මංගල භෝජන උත්සවයක් පැවැත් විය. 6 එහි සුදු පාට හා දම් පාට ඇති ගෙත්තමින් සැරසූ තිර රෙදි, සිහින් හණ නූල්වලින් ද නීලරක්ත නූල්වලින් ද යුත් රිදී මුදු, සුදු කිරි ගරුඬ කුළුණුවල සවිකර තිබුණේ ය. විශිෂ්ට ගල් ද, සුදු කිරි ගරුඬ ද සිප්පි කටු හා නොයෙක් වර්ණවල කුඩා ගල් ද අල්ලන ලද බිමක රන් රිදී යහන් තබා තිබිණි.
7 බොන්නට දුන්නේ රන් කුසලාන් වලිනි. ඒවා එකිනෙකට වෙනස් ව තිබිණි. මුද්‍රික පානය රාජකීය ත්‍යාගිවන්තකම අනුව රජු විසින් බහුල ව සපයා තිබිණි. 8 එහෙත්, රජුගේ නියෝගය අනුව කිසිවකුට බොන්නට බල කිරීමක් නොමැති විය. එක එක අමුත්තාට තමා කැමැති පරිදි කරගන්නට ඉඩ හරින ලෙස රජු විසින් තම ගෘහයේ සියලු සේවකයන්ට නියම කර තිබිණි.

වස්තී බිසොවගේ අකීකරුකම

9 වස්තී බිසොව ද අහෂ්වේරොෂ් රජුගේ මාලිගාවෙහි කාන්තා පක්ෂයට මංගල භෝජනයක් පිළිගැන්වූවා ය. 10 සත් වන දවසෙහි දී රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනා ගිය අවස්ථාවක ඔහු තමාගේ පෞද්ගලික සේවාව සඳහා පත් ව සිටි මෙහුමාන්, බිස්තා, හර්බො‍්නා, බිග්තා, අබග්තා, සේතර් සහ කර්කස් යන නපුංසකයන් සත් දෙනාට අණ කරමින් වස්තී බිසොවගේ රූපාලංකාරය ජනයාටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස, 11 ඇය රාජ ඔටුන්න පැළඳ රජු ඉදිරියට කැඳවාගෙන එන්නට නියම කෙළේ ය. 12 සැබැවින් ම ඈ ඉතා රූපසම්පන්න ස්ත්‍රියක් වූවා ය. එහෙත්, වස්තී බිසොව නපුංසකයන් විසින් බාර දෙන ලද රජුගේ ආඥාව අනුව එන්නට අකමැති වූවා ය. 13 එබැවින් රජු බොහෝ සේ උදහස් වී කෝපයෙන් දිළිහිණි. උපදෙස් ලබාගැනීම සඳහා ඔහු නීති ශාස්ත්‍රයෙහි නිපුණ ප්‍රඥාවන්තයන් කැඳවූයේ ය. මන්ද, රජුගේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රවීන නීතිඥයන්ගේ හා නීතිවේදීන්ගේ උපදෙස් සෙවීම සිරිතක් වූ හෙයිනි. 14 ඔහු කර්ෂේනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිස්, මෙරෙස්, මර්සේනා සහ මෙමුකාන් යන, රජු හමුවීමට වරප්‍රසාද ලත් රාජ්‍යයේ ප්‍රධාන ස්ථානවල හිඳින පර්සියාවේ හා මේදියාවේ අධිපතීන් සත් දෙනා තමා වෙතට එන්ට සැලසුවේ ය. 15 ඔහු කතා කොට, ”අහෂ්වේරොෂ් රජු නපුංසකයන් මඟින් බාර දුන් ආඥාව වස්තී බිසොව ඉෂ්ට නො කළ බැවින් නීතිය අනුව ඈට කුමක් කළ යුතු දැ”යි ඇසුවේ ය. 16 එවිට, රජු සහ අධිපතීන් ඉදිරියෙහි මෙමුකාන් උත්තර දෙමින්, ”වස්තී බිසොව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රදේශවල විසිර සිටින සියලු ජනයාටත් වරදක් කළා ය. 17 බිසොව ක්‍රියා කළ ආකාරය අන් සියලු ස්ත්‍රීන් විසින් නොඅනුමාන ව දැනගනු ලබන්නේ ය. එවිට අහෂ්වේරොෂ් රජු වස්තී බිසොව තමා ඉදිරියට කැඳවාගෙන එන්නට අණ කළ නමුත් ඈ නොපැමිණියා යයි කියමින් ඔවුන් තමන්ගේ ස්වාමි පුරුෂයන් තමන්ගේ සිත තුළ හෙළා දකිනු ඇත. 18 තවද, අද දින නිම වන්නට පෙර පර්සියාවේ හා මේදියාවේ අධිපතීන්ගේ භාර්යාවන් බිසොවගේ උත්තරය ගැන අසා රජුගේ අධිපතීන්ට එම ආකාරය පෙන්වා කතා කිරීමට බිය නොවනු ඇත. මේ හේතු කොටගෙන නිග්‍රහයත්, උදහසත්, සැම තැන ම පැතිර යන්නේ ය.
19 ”රජු සතුටු නම්, වස්තී බිසොව මින්පසු අහෂ්වේරොෂ් රජු ඉදිරියට නො එන හැටියට රජුගෙන් රාජාඥාවක් පතළ වන්නටත්, එය වෙනස් නොවන පිණිස පර්සියානුවරුන්ගේ හා මේදවරුන්ගේ ව්‍යවස්ථා අතරේ ලියා තබන්නටත් සලසනු ලැබේ වා! ඇගේ බිසො‍්කම ද ඇයට වඩා සුදුසු තැනැත්තියකට දෙනු ලැබේ වා! 20 රජු විසින් පනවනු ලබන මේ නියෝගය මුළු රාජ්‍යයෙහි පතළ කරනු ලැබිය යුතු ය. එවිට සියලු භාර්යාවෝ උස්පහත්කම් නොබලා තම තමාගේ පුරුෂයන්ට ගෞරවය දක්වන්නො‍් ය”යි කීවේ ය.
21 මේ කීම ඇසූ රජ ද අධිපතීහු ද සතුටට පත් වූ හ. රජ මෙමුකාන්ගේ දැනුමැතිකම අනුව කෙළේ ය. එක එක පුරුෂයා තම තමාගේ ගෘහයේ ස්වාමියා වන්නට හැකි වන පිණිස ඔහු අධිරාජ්‍යයේ සියලු ප්‍රදේශවලට ඒ ඒ ප්‍රදේශවල අකුරෙන් ද, එක එක ජාතියට ඒ ඒ ජාතියේ භාෂාවෙන් ද ලියා ඇරියේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW