එළිදරව් – 17 වන පරිච්ඡේදය –

අපකීර්තිමත් වේශ්‍යාව

1 පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් කෙනෙක් අවුත් මට කතා කොට, ”මෙහි එන්න, බොහෝ ජල පිට හිඳින මහා වේශ්‍යාවගේ විනිශ්චය ඔබට පෙන්වන්නෙමි. 2 පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම් කළො‍් ය. පොළොවේ වැසියෝ ද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රික පානයෙන් මත් වුණෝ ය”යි කීවේ ය.
3 දේව දූතයා ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මරුකතරකට මා ගෙන ගියේ ය. එහි රතු ම රතු මෘගයෙකු පිට ස්ත්‍රියක වාඩි වී සිටිනු මම දිටීමි. ඒ මෘගයා දේවාපහාස නාමවලින් පිරී සිටියේ ය. ඌට හිස් සතක් ද අං දසයක් ද විය. 4 ඒ ස්ත්‍රිය රත්නිල් හා තද රතු වස්ත්‍ර හැඳ රන්, මුතු, මැණික් ආභරණවලින් සැරසී සිටියා ය. පිළිකුල්කමින් ද ඇගේ අශික්ෂිත වේශ්‍යාකමින් ද පිරුණු රන් කුසලානක් ඈ අතේ විය. 5 ඇගේ නළල පිට: ”මහා බබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේ ද පිළිකුල්කම් වල ද මව” යන ගුප්ත නාමයක් ලියා තිබිණි. 6 ඒ ස්ත්‍රිය සැදැහැවතුන්ගේ ද, ජේසුස් වහන්සේ නමින් දිවි පිදූවන්ගේ ද ලෙයින් මත් ව සිටියා ය. ඈ දුටු විට මම අතිශයින් පුදුම වීමි.
7 දේව දූතයා මට කතා කොට, ”ඔබ පුදුම වූයේ මන් ද? ස්ත්‍රියගේ ද, ඇය උසුලාගෙන යන හිස් සතක් හා අං දසයක් ඇති මෘගයාගේ ද, අබිරහස ඔබට කියමි”යි පැවසී ය. 8 ඔබ දුටු මෘගයා වරක් ජීවත් ව සිටියේ ය. දැන් නැත. ඌ පාතාලයෙන් නැඟී එන්නට ද විනාශයට යන්නට ද සිටින්නේ ය. ලෝකාරම්භයේ සිට ජීවන පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසය කරන්නෝ, මෘගයා සිටි හැටිත්, දැන් නැති හැටිත්, මතු එන හැටිත් දැක පුදුම වන්නෝ ය.
9 ”නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. හිස් සත නම් ස්ත්‍රිය වාඩි වී සිටින කඳු සත ය. තවද ඒ හිස් සත රජවරු සත් දෙනෙකි. 10 පස් දෙනෙක් මළාහ, එක් කෙනෙක් තව ම සිටින්නේ ය, අනෙක් තැනැත්තා තව ම පැමිණියේ නැත. ඔහු පැමිණි කල ටික කලක් පමණක් සිටිය යුතු ය. 11 ජීවත් ව සිටියා වූ ද දැන් නැත්තා වූ ද මෘගයා, සත් දෙනාගෙන් එකෙකු වන අතර, අටවැනියෙක් ද වේ. ඔහු විනාශයට යන්නේ ය.
12 ”ඔබ දුටු අං දසය නම් තව ම රජකම නොලත් රජවරු දස දෙනෙකි. එහෙත් ඔව්හු මෘගයා සමඟ එක පැයකට පමණක් රජවරුන් ලෙස රාජ බලය ලබන්නෝ ය. 13 මොවුහු එක ම අරමුණක් ඇති ව, තමන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. 14 මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”
15 ඔහු මට තවදුරටත් කතා කොට, ”වේශ්‍යාව වාඩි වී සිටි තැන ඔබ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝ ද ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද වෙති. 16 ඔබ දුටු අං දසය හා මෘගයා නම් වේශ්‍යාවට වෛර බැඳ, ඈ සහමුලින් ම නග්න කර, ඇගේ මාංස කා, ඈ මුළුමනින් ගින්නෙන් දවන අය වෙති. 17 මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක. 18 ඔබ දුටු ස්ත්‍රිය නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහා නගරය”යි කීවේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW