එළිදරව් – 10 වන පරිච්ඡේදය –

දේව දූතයා හා කුඩා පොත

1 ඉන්පසු තවත් බලවත් දේව දුතයෙකු වලාකුළක් පැළඳ, හිස මත දේදුන්නක් දරා ස්වර්ගයෙන් බසිනු දිටිමි. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන් ද විය. 2 ඔහුගේ අතේ දිග හළ කුඩා පොතක් විය. ඔහු සිය දකුණු පය මුහුද පිට ද වම් පය ගොඩබිම පිට ද තබා, 3 සිංහයෙකු ගොරවන්නාක් මෙන් මහ හඬින් මොරගැසී ය. ඔහු මොරගැසූ කල ගිගුරුම් සත ද කතා කෙළේ ය. 4 ඒ ගිගුරුම් සත කතා කළ විට මම ලියන්නට සැරසුණෙමි. එවිට, ”ගිගුරුම් සත කී දේ රහසේ තබාගන්න; එය නොලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසිණි. 5 මුහුද පිට ද ගොඩබිම ද සිටිනු මා දුටු දේව දූතයා, ස්වර්ගය දෙසට සිය දකුණත ඔසවා, 6 සදහට ම ජීවත් වන, ස්වර්ගයත් එහි ඇති දේත්, පොළොවත් එහි ඇති දේත්, මුහුදත් එහි ඇති දේත් මවා වදාළ තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරමින් මෙසේ කී ය: ”තවත් පමා වීමක් නැත. 7 සත් වන දේව දූතයාගේ හොරණෑව පිඹීමේ වේලාව පැමිණි විට, දෙවියන් වහන්සේ තම සේවක දිවැසිවරයන්ට ප්‍රකාශ කළ ලෙස, උන් වහන්සේගේ අබිරහස සම්පූර්ණ වනු ඇත.”
8 ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින්, ”ඔබ ගොස් මුහුද පිට ද ගොඩබිම ද සිටින දේව දූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්නැ”යි මට කී ය. 9 මම දේව දූතයා වෙත ගොස්, ”කුඩා පොත මට දෙන්නැ”යි කීවෙමි. ඔහු ද: ”එය රැගෙන කන්න; එයින් ඔබේ ආමාශය තික්ත වන්නේ ය. එහෙත් එය ඔබේ කටෙහි මීපැණි ලෙස මිහිරි වන්නේ ය”යි මට කී ය. 10 මම ද දේව දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මීපැණි ලෙස මිහිරි ව තිබුණේ ය. එය කෑ පසු මාගේ ආමාශය තික්ත විය.
11 තවද: ”ඔබ බොහෝ සෙනඟ ද ජාතීන් ද භාෂාවන් ද රජුන් ද ගැන නැවතත් දිවැස් වැකි ප්‍රකාශ කළ යුතු ය”යි මට කියන ලද්දේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW