කොලොස්සි – 2 වන පරිච්ඡේදය –

පාවුලු තුමා කොලොස්සිවරුන් වෙනුවෙන් වෙහෙසීම

1 ඔබ උදෙසාත්, ලවෝදීසයේ වැසියන් උදෙසාත්, පෞද්ගලික වශයෙන් මා නුදුටු සියල්ලන් උදෙසාත් මා කෙතරම් අධික ලෙස වෙහෙස මහන්සි දරනවා දැ යි ඔබට දන්වන්නට කැමැත්තෙමි. 2 මා එසේ කරන්නේ ඔවුන්ගේ සිත් ධෛර්යවත් වන පිණිසත්, ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටින පිණිසත්, අවබෝධයෙන් ඇති වන සම්පූර්ණ සහතිකකමේ සම්පත උරුම කරගෙන, දෙවියන් වහන්සේගේ රහස තේරුම්ගන්නා පිණිසත් ය. ඒ රහස ක්‍රිස්තුන් වහන්සේ ම ය. 3 උන් වහන්සේ තුළ ප්‍රඥාවේත් දැනගැන්මේත් සකල ධන සම්භාරය නිදන් වී ඇත.
4 මා මෙසේ කියන්නේ කිසිවකුගේ බොරු චාටුවලින් ඔබ මුළා නොවන පිණිස ය. 5 මම ශරීරාකාරයෙන් ඈත් ව සිටින නමුත්, ආධ්‍යාත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනයානුකූල හැසිරීමත්, ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථීරකමත් දැක ප්‍රීති වෙමි.

පරිපූර්ණ ක්‍රිස්තියානි ජීවිතය

6 එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන් වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න. 7 උන් වහන්සේ තුළ මුල් ඇදගන්න පරිදි ස්ථීර ව සිටින්න; උන් වහන්සේ මත ඔබේ ජීවිත නිර්මාණය කරගන්න; ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න.
8 ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න. 9 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි. 10 සකල භූතාධිපතීන්ට හා බලධාරීන්ට ඉහළින් පරමෝත්තම වන උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබේ පූර්ණත්වය සැලසී ඇත.
11 උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබ චර්මඡේදනය කරනු ලැබුවහු ය. ඒ වනාහි සැත්කමකින් කරන ලද චර්මඡේදනයක් නොව, මාංසික ක්ලේශයන් ඉවත් කිරීමේ චර්මඡේදනයකි. ක්‍රිස්තුන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත එය යි. 12 මන්ද, බව්තීස්ම-ස්නාපනයේ දී ඔබ උන් වහන්සේ සමඟ වළලනු ලැබ, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය තුළ ඇති විශ්වාසය කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබුවහු ය. 13 ඔබ පව්කාරයන් නිසාත්, අචර්මඡේදිතයන් වූ නිසාත් මැරී සිටි නමුත්, දෙවියන් වහන්සේ ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ ජීවත් කර ඔබේ සියලු පව් කමා කළ සේක. 14 අණපණත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක. 15 මෙලෙස උන් වහන්සේ භූතාධිපතීන් ද බලධාරීන් ද නිරායුධ කොට ඔවුන් ප්‍රසිද්ධියේ ජය පෙරහරින් ගෙන ගොස් ප්‍රදර්ශනය කළ සේක.
16 එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. 17 ඒවා පැමිණෙන්නට තිබුණු දේවල ඡායාවක් පමණි. ඒ දේවල යථා තත්ත්වය ක්‍රිස්තුන් වහන්සේ ය. 18 තපස් රැකීම නිසා හෝ දේවදූත වන්දනා මාන නිසා හෝ විශේෂ දර්ශන නිසා හෝ උඩඟු වූ කිසිවෙකුට, ඔබට හිමි තැනින් ඔබ පහ කිරීමට ඉඩ නොදෙන්න. එබඳු අය කෙලෙස් සිතින් බැඳී පුහු අභිමානයෙන් උද්දාම වී සිටිති. 19 ඔව්හු සභාවේ හිස වන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ නොවෙති. එහෙත් ඇට කටු හා නහරවලින් ශරීරය ඒකාබද්ධ කොට, පො‍්ෂණය කර, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය වර්ධනය වන්නට සලසන්නේ ඒ හිස ය.

ලෝකයෙන් ජය ගැනීම

20 ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරී, ලෝකයේ භූතාධිපතීන්ගෙන් ජය ගත්තහු නම් තව ම ලෝකයට අයිති වූවන් මෙන් ජීවත් වෙමින්, 21 ‘මේවාට අත නොගසනු’, ‘මේවා අනුභව නොකරනු’, ‘මේවා ස්පර්ශ නොකරනු’ යන නියෝග වලට යටත් වන්නේ මන් ද? 22 මනුෂ්‍යයා පැනවූ මේ නියෝග, භාවිතා කළ පසු කුණු වී යන දේ පිළිබඳ ව ය. 23 තමන් ම මවාගත් නමස්කාර ක්‍රම නිසාත්, ව්‍යාජ නිහතමානීකම නිසාත්, ශරීරයට වද දීම නිසාත්, බැලූ බැල්මට ඒ නියෝගවල වටිනාකමක් ඇති සේ පෙනුනත් මාංසික තෘෂ්ණා මැඬලීමට ඒවායින් කිසි රුකුලක් නොලැබේ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW