ආචාරය
1 දේව කැමැත්ත අනුව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි, 2 කොලොස්සියේ සිටින, ක්‍රිස්තියානි ඇදහිලිවන්ත සහෝදර සැදැහැවතුන් වෙත ලියා එවමු. අප පියාණන් වන දෙවියන් වහන්සේගෙන් කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!
ස්තුති දීම හා යාච්ඤාව
3 අපගේ යාච්ඤාවල දී, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට, අපි ඔබ උදෙසා නොකඩව තුති දෙමු. 4 මන්ද, ඔබගේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ලත්, සියලු සැදැහැවතුන් කෙරෙහි පවත්නා ඔබේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි. 5 ඒ දෙකට හේතු වූ ඔබගේ ස්වර්ගීය බලාපොරොත්තුව ගැන පළමුවෙන් ඔබට අසන්නට ලැබුණේ, සත්‍ය සුබ අස්නේ දහම් පණිවුඩය ඔබ වෙත පැමිණි විට ය. 6 ඔබ වෙතට මෙන් ම මුළු ලෝකය වෙතට ද ඒ සුබ අස්න පැමිණ තිබේ. තවද, ඔබ එය අසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසි පරිදි අවබෝධ කරගත් දා පටන්, එය ඔබ අතර පල දරා, වර්ධනය වූවාක් මෙන්, ලොව පුරා එය පල දරමින් වර්ධනය වන්නේ ය. 7 අපගේ ප්‍රේමවන්ත හවුල් දාසයෙකු ද ක්‍රිස්තුන් වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෙකු ද වන එපප්‍රස් අප වෙනුවෙන් ඒ සුබ අස්න ඔබට ඉගැන්වී ය. 8 ආත්මයාණන්ගෙන් වූ ඔබේ ප්‍රේමය ගැන අපට සැළ කෙළෙත් ඔහු ය.
9 මේ කරුණ නිසා, අපි එය ඇසූ දා පටන් ඔබ ගැන නොකඩව යාච්ඤා කෙළෙමු. සියලු ආකාර ප්‍රඥාව ද ලොව්තුරා ඥානය ද ලබා, ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන, 10 සමිඳාණන් වහන්සේට ඔබින ලෙසත්, ප්‍රිය මනාප වන ලෙසත් හැසිරෙන මෙන් යාච්ඤා කරමු. සියලු ආකාර යහපත් ක්‍රියාවලින් පලදායි වන මෙන් ද දෙවියන් වහන්සේ දැනගැන්මෙහි වැඩි වර්ධනය වන මෙන් ද යාච්ඤා කරමු. 11 ධෛර්යයෙන් ද ඉවසිල්ලෙන් ද ප්‍රීතියෙන් ද සියල්ල දරාගැනීමට දෙවියන් වහන්සේ ස්වකීය මහිමාන්විත බලපරාක්‍රමය අනුව සියලු ආකාර බලයෙන් ඔබ ශක්තිමත් කරන සේක් වා. 12 ආලෝකයේ වසන සැදැහැවතුන්ගේ උරුමයට පංගුකාරයන් වීමට ඔබ සුදුස්සන් කළ පියාණන් වහන්සේට ස්තුති කරන්න. 13 අන්ධකාරයේ බලයෙන් අප මුදා, තම ප්‍රේමාන්විත පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පැමිණෙව්වේ උන් වහන්සේ ය. 14 උන් වහන්සේ විමුක්තිය ද පව් කමාව ද අපට ප්රදානය කළ සේක.
ක්‍රිස්තුන් වහන්සේගේ පරම ශ්‍රේෂ්ඨත්වය
15 ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක. 16 මක්නිසා ද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල් ද නොපෙනෙන්නා වූ දේවල් ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේ ය; සියලු දේ උන් වහන්සේ කරණකොටගෙන ද උන් වහන්සේ උදෙසා ද මවා තිබේ; 17 උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය. 18 උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක. 19 මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය. 20 උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ aයාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක.
21 පසුගිය කාලයේ දී ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියහු ය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරු ව සිටියහු ය. 22 එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය. 23 එය ඉටු වීමට නම්, ඔබ ඇදහිල්ලේ නිරත ව සිටිමින්, සුබ අස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස්, එය පදනම් කොටගෙන ස්ථීර ව පැවතිය යුතු ය. ඔබ ඇසූ සුබ අස්න අහසින් යට සැමදෙනට ම ප්‍රකාශ කර ඇත. පාවුලු නම් මම ඒ සුබ අස්නේ සේවකයෙක් වීමි.
පාවුලු තුමාගේ සේවය
24 ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි. 25 මේ සභාවේ සේවකයෙකු වශයෙන් දෙවියන් වහන්සේ මා පත් කර, ඔබේ යහපත උදෙසා මට වගකීමක් භාර දුන් සේක. ඒ වගකීම නම්, දෙවියන් වහන්සේගේ පණිවුඩය සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීම ය. 26 ඒ පණිවුඩය, යුග හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසක් ව සැඟවී තිබී, දැන් උන් වහන්සේ සැදැහැවතුන් හට එය අනාවරණය කර ඇත. 27 ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක. 28 අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු. 29 මේ සඳහා, මා තුළ බලවත් සේ ක්‍රියා කරන ක්‍රිස්තුන් වහන්සේගේ බල මහිමයේ ප්‍රකාරයට දිරි දරමින් වීර්ය කරමි.