ශුද්ධාත්මයාණෝ ආත්මික දීමනා මගින් ඔබට මඟ පෙන්වන සේක

සෑම කිතුණුවකු සදහාම ආත්මික දීමනා ශුද්ධාත්මයාණන් වෙත තිබේ. අප මෙම දීමනා පිළිගැනීම එතුමාගේ කැමැත්තයි. එවිට එකිනෙකාට උපකාර කිරීමට අපට හැකි වේ.

1 කොරින්ති 12:4, 7 “විවිධාකාර දීමනා ඇතත්, සිටින්නේ එක ම ශුද්ධාත්මයාණෝ ය. අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත. “

ඇදහිමේත්, හාස්කම් කිරීමේත්, සුව කිරීමේත් දීමනා ගැන ඔබ කියවා ඇත. ශුද්ධාත්මයණාන්ගෙන් වූ තවත් දීමනා මෙසේය.

1කොරින්ති 12: 8,10 “කෙනෙකුට ආත්මයාණන් මඟින් උවදෙස් දීමේ ප්‍රඥාව ද, තවත් කෙනෙකුට එම ආත්මයාණන් මඟින් ම ධර්මය පහදා දීමේ ඥානය ද දී ඇත…. තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත.”

ඔබට අවශ්‍ය ප්‍රඥාවේ හෝ දැන ගැන්මේ පණිවිඩය ශුද්ධාත්මයාණෝ ඔබගේ පියතුමා හෝ ආත්මයනාන්ගෙන් පිරුණු වෙනත් කිතුණුවකු මගින් ඔබට දීමට පුළුවන. නැතහොත් එම පණිවිඩය බලවත් හැඟීමක් හෝ ආධ්‍යාත්මික ආලෝකයක් ලෙස කෙලින්ම ඔබ කරා පැමිණිය හැක. නිශ්චිත අවස්ථාව සදහා දේව කැමැත්ත කුමක්දැයි ක්ෂණියකින් ඔබට වැටහී යයි. ශුද්ධ ලියවිලි පදයන්හි අර්ථයත් ඒවා ඔබගේ ගැටළුවට අදාල වන අයුරුත් ඔබගේම දැනගැන්මට පිටස්තරව එළිදරව් වෙයි. වෙන කෙනෙකුට උපකාර කරනු පිණිසද දෙවියන් වහන්සේ නිසි වචන ඔබට දෙන සේක.

ඔබ ස්වාමින් වහන්සේ ගැන අන්‍යන්ට කතා කරන විටත්, ශුද්ධ ලියවිලි පාඨ උගන්වන විටත්, ශුද්ධාත්මයාණන්ගේ මෙම මඟ පෙන්වීම අවශ්‍ය කෙරේ. තම දරුවන්ට හරියාකාරව උපදෙස් දීම සදහා දෙමාපියන්ට දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ වචන උවමනා කෙරේ. ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියා කිරීම කරදර අවස්ථා වලට පමණක් නොව දිනපතා භාවිතය සදහාය.

එපීස 1: 17 “ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන්…”

අනාගත කීම්, අන්‍ය භාෂා පණිවිඩ හා ඒවා තේරුම් කර දීම වනාහි ශුද්ධාත්මයාණෝ සමුහයකට කතා කිරීමේ ආකාරයන්ය. ධර්ම වාක්‍ය යනු දේශකයාගේ භාෂාවෙන් කියවෙන දේව පණිවිඩයයි. එය අනාගත සිද්ධියක් සම්බන්ධව හෝ අසන්නන් දිරිමත් කරවන හෝ සනසන පණිවිඩයක් විය හැක. විටෙක මෙම පණිවිඩය අන්‍ය භාෂාවකින් කියවී තේරුම් කර දීම දෙවනුව සිදු වේ. මෙම දීමනා දෙක එක්වූ විට ධර්ම වාක්‍ය කීමේ දීමනාවට සමානය.

තමන්ට අසන්ට ලැබුණු ව්‍යාජ පණිවිඩ හේතුකොට මෙම ශුද්ධාත්ම දීමනා වලට සමහරු බියක් දක්වති. මෙය හොර නෝට්ටුවක් ලැබේයැයි සිතා මුදල් ගැනීම ප්‍රතික්‍ෂේප කිරීමක් බදුය. දේව කටයුතු අනුකරණය කිරීමෙන් ජනයාව වියවුල් කිරීමට සාතන් සැමවිට තැත් කර ඇත. ශුද්ධ ලියවිලි සමයේ බොරු අනාවැකි කියන්නන් සිටියා සේම අදත් සිටිති. එහෙත් ව්‍යාජ හෝ අනුකරණ කටයුතු වලට බියෙන් ශුද්ධාත්ම දීමනා ඔබ ප්‍රතික්ෂේප කිරීම ඔබේ මිතු ශුද්ධාත්මයාණන්ගේ කැමැත්ත නොවේ.

ව්‍යාජ අනුකරණ වලින් ඔබව රවටනු ලබනවාට දෙවියන්වහන්සේද කැමති නැත. ආත්මවල් විමසීම ශුද්ධාත්ම දීමනාවක් ලෙස දී ඇත්තේ එබැවිනි. එම දීමනාව නපුරු ආත්මවල ක්‍රියා වලින් හා මිනිසුන්ගේ වැරදි මත වලින්ද සභාව ආරක්ෂා කරන්නේය. සමහර අවස්ථාවන්හිදී මනුෂ්‍යයෝ තමන්ගේ මත දේව එළිදරව් කිරීම් ලෙස වරදවා සිතති. අසවලා සමඟ විවාහ වන්න, අසවල් තැනට යන්න, අසවල් දේ කරන්න යන ව්‍යාජ “පණිවිඩ” දීමෙන් සමහරු මහත් අවුල් හට ගන්වති. එබැවින් සියලුම පණිවිඩ පරික්ෂා කරන ලෙස දෙවියන් වහන්සේ අපට කියන සේක.

1 තෙසලෝනික 5: 19-22 ” ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න; දිවැස් වැකි සුළු කොට නොතකන්න. සියල්ල විමසා බලා, යහපත් දේ තදින් අල්ලාගන්න. සියලු ආකාර නපුරෙන් වළකින්න.”

ශුද්ධාත්මයාණන්ගේ පණිවිඩය මෙසේ පස් වැදෑරුම් වේ.
01. පණිවිඩය මුළුමනින්ම දේව වචනයට එකග විය යුතුයි.
උදා: යමෙකුට අන්‍යන්ගේ භාර්යාවක් ලබා ගන්නැයි කියවෙන පණිවිඩයක් ශුද්ධාත්මයන්ගෙන් නොවේ. ශුද්ධාත්මයාණෝ පැමිණියේ දෙවියන්වහන්සේට කීකරු වන්නට අපට උපකාර වන්නට මිස, දේව අණ කඩ කරන ලෙස කීමට නොවේ. දේව වචනයට ඇති එකඟත්වය ඉතාම වැදගත් මිම්මකි. අන් සියල්ල එයින් මැනිය යුතුය.

02. පණිවිඩය සත්‍ය විය යුතුය.
දෙන පණිවිඩය සැබෑ නොවේ නම් එය ශුද්ධාත්මයනන්ගෙන් නොවේ. මක්නිසාද ශුද්ධාත්මයාණෝ සත්‍යතාවයේ ආත්මයනෝය. ස්වාමින් වහන්සේගෙන් වූ අනාවැකි ඉෂ්ඨ වන්නේය.

ජෙරමියා 28: 9 “…සැබැවින් ම සමිඳාණන් වහන්සේ විසින් එවන ලද දිවැසිවරයෙක් යයි හඳුනාගත හැක්කේ ඔහුගේ වචන ඉෂ්ට වූ විට ය.”

ද්විතිය කථාව 18: 21, 22 “සමිඳාණන් වහන්සේ නොවදාළ දිවැස් වැකියක් තිබේ නම්, අපි ඒ ගැන කෙසේ දැනගන්නෙමු දැ’යි ඔබ සිතන්න පුළුවන. 22 දිවැසිවරයෙකු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කිරීමට ඉදිරිපත් වූ නමුත්, ඔහු කී දේ සිදු නොවේ නම්, ඉටු නොවේ නම්, ඒ කරුණ සමිඳාණන් වහන්සේ නොවදාළ එකකි. එය දිවැසිවරයා තම හිතුවක්කාරකමින් කී කරුණකි. එවැන්නෙකුට ඔබ බිය නොවිය යුතු ය.”

ශු.ජොහාන් 16: 13 “ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක.”

03. පණිවිඩය ක්‍රිස්තුස්වහන්සේව ගෞරවයට පැමිණවිය යුතුය.
දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ සහ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණෝ පියාණන්ද පුත්‍රයානන්ද දෙදෙනාවම ගෞරවයට පමුණුවන සේක.

ශු. ජොහාන් 16: 14 “උන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින්, මා මහිමයට පමුණුවන සේක.”

1 කොරින්ති 12: 3 “දේවාත්මයාණන් කරණකොටගෙන කතා කරන කිසිවෙකු ‘ජේසුස් වහන්සේ සාප ලත් කෙනෙකැ’යි නොකියන බව ද”

04. පණිවිඩය අවුලක් නොව ආශිර්වාදයක් ගෙන ආ යුතුය.
1 කොරින්ති 14: 3,4, 26 “එහෙත් දිවැස් වැකි දෙසන්නා, අභිවෘද්ධිය ද ධෛර්යය හා සැනසීම ද දෙන වචන මිනිසුන්ට කතා කරයි… එහෙත් දිවැස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේ ය….මේ සියල්ල ම සභාවේ අභිවෘද්ධිය පිණිස වේ වා!”

05. පණිවිඩය පවසන්නා සිහි කල්පනාවෙන් සිටින අතර සියල්ල පිළිවෙලට කිරීමේ වගකීමෙන් යුක්ත වේ.
ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියා කිරීම් වලට අනුරූපව සමහර විට සාතන් ක්‍රියා කරයි. මළවුන් එනම් ආත්ම සමඟ කතා කිරීමේදී එසේ කතා කරන්නෝ එම ආත්ම වල පාලනයට නතු වූ විට සිහියෙන් නොසිට මුර්ජාවට පත් වේ. නමුත් ශුද්ධාත්මයාණෝ යම් පුද්ගලයෙක් තුලින් පණිවිඩය දෙන කල එතුමා එසේ කරන්නේ ඒ පුද්ගලයාගේ සිහි කල්පනාව ඇතුවය. පියතුමාට හෝ අන් අයෙකුට දෙවියන් වහන්සේ දී ඇති පණිවිඩය බාධා නොවන ලෙස කතා කල යුතුද නිහඩව සිටිය යුතුද තෝරාගැනීමේ නිදහස ඒ පුද්ගලයා සතුව ඇත. 1 කොරින්ති 14 හි ශු. පාවුල් තුමා මේ ගැන පැහැදිලිව උගන්වයි. ශුද්ධාත්ම දීමනා පාවිච්චි කිරීම සදහා පියතුමා අන්‍යන්ව උනන්දු කල යුතුය. එහෙත් වියවුලකින් තොරව සියල්ල හරියාකාරව සිදුවන බව සොයා බැලීමත් ඔහුගේ වගකීමයි. එබැවින් ශුද්ධාත්මයාණන්ගේ දීමනා ලත් අය පියතුමාගේ නායකත්වය වටහා ගෙන ඔහුගේ අවවාද හා උපදෙස් පිළිපැදිය යුතුය.

1 කොරින්ති 14: 32, 33, 40 “දිවැස් වැකි දෙසන අයගේ ආධ්‍යාත්මික කුශලතා ඔවුන්ගේ ම පාලනයෙහි තිබිය යුතු ය. මන්ද, දෙවියන් වහන්සේ ව්‍යාකූලත්වයේ නොව සාමයේ දෙවියන් වහන්සේ ය…..සියල්ල විනීත ව ද විධිමත් ව ද කළ යුතු ය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW