– 7 වන පරිච්ඡේදය –

ස්තේපන්ගේ පිළිතුරු කතාව

1 එවිට උත්තම පූජකයා, ”මේ ඇත්ත දැ”යි ඇසී ය. 2 ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: ”සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී, 3 ‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක. 4 එවිට ඔහු කල්දීයයන්ගේ දේශයෙන් නික්ම ගොස් හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ ඇවෑමෙන් දෙවියන් වහන්සේ ඔහු එතැනින් ඉවත් කොට ඔබ දැන් වසන මේ දේශයට ගෙනා සේක; 5 එහි අඩියක් පමණ වත් උරුමයක් ඔහුට නුදුන් සේක. එහෙත්, එවකට ඔහුට දරුවෙකු නොසිටි නමුත්, මේ දේශය ඔහුට ද ඔහුගේ දරු පරම්පරාවට ද උරුම කර දීමට පොරොන්දු වූ සේක. 6 දෙවියන් වහන්සේ වදාළ දේ නම් මේ ය: ‘ඔහුගේ දරු පරම්පරාව අන්‍ය දේශයක ආගන්තුකයන් ව සිටිනවා ඇත. ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන අවුරුදු හාර සියයක් මුළුල්ලේ ඔවුන්ට පීඩා කරනු ඇත. 7 ඔව්හු යම් ජාතියකට වහල් වෙත් ද, මම ඒ ජාතිය විනිශ්චයට පමුණුවමි; ඉන්පසු ඔව්හු පිටත් ව අවුත් මේ ස්ථානයෙහි මට නමස්කාර කරති.’ 8 තවද, උන් වහන්සේ ගිවිසුමේ ලකුණක් වශයෙන් චර්මඡේදනය ඔහුට දුන් සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් ද උපන්නේ ය. ආබ්‍රහම් අට වන දා ඔහු චර්මඡේදනය කෙළේ ය. ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව කුලපතියෝ දොළොස් දෙනා ද උපන්හ. ඔව්හු සියල්ලෝ චර්මඡේදනය කරනු ලැබූ හ.
9 ”ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට, 10 සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය. 11 එකල මුළු මිසර දේශයෙහි ද කානාන්හි ද සාගතයක් ඇති වූයෙන් මහත් විපත්තියක් ඇති විය. අපගේ පියවරුන්ට කිසි ආහාරයක් නොමැති විය. 12 එහෙත් මිසරයෙහි ධාන්‍ය ඇති බව ජාකොබ් අසා, පළමු වරට අපේ පියවරුන් එහි යැවී ය. 13 දෙ වන වාරයේ දී ජෝසෙප් තම සහෝදරයන්ට හඳුන්වා දෙනු ලැබී ය. පාරාවෝට ද ජෝසෙප්ගේ වංශය හෙළි විය. 14 එකල ජෝසෙප් තම පිය වූ ජාකොබ් ද හැත්තෑපස්දෙනෙකුගෙන් යුත් ඔහුගේ සියලු ඥාතීන් ද කැඳවා යැවී ය. 15 ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ. 16 ඔව්හු ෂෙකෙම් නුවරට ගෙන යන ලදුව, ෂෙකෙම්හි හේමොර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී මිල ගණනකට ගත් සොහොන් ගෙය තුළ තැන්පත් කරනු ලැබූ හ.
17 ”දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ. 18 එකල ජෝසෙප් ගැන නොදත් අන් රජෙක් මිසරයේ රජකමට පත් විය. 19 ඔහු අප ජාතියට විරුද්ධ ව යටිඋගුල් අටවා, අපගේ ළදරුවන් මැරී යන ලෙස පිටතට දමන්නට අපගේ පියවරුන්ට බල කෙළේ ය. 20 මෝසෙස් උපන්නේ මේ කාලයේ දී ය. ඔහු දෙවියන් වහන්සේට ප්‍රිය වූ සුන්දර දරුවෙක් විය. ඔහු ස්වකීය පියාගේ ගෙදර තුන් මසක් ඇතිදැඩි කරනු ලැබී ය. 21 ඉන්පසු ඔහු ඉවත දමනු ලැබූ කල පාරාවෝගේ දුව ඔහු රැගෙන, ඇගේ ම පුත්‍රයා මෙන් ඇතිදැඩි කරගත්තා ය. 22 මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය.
23 ”මෝසෙස්ට සතළිස් වසක් පමණ වූ විට, ඉශ්රායෙල් පුත්‍රයන් වන තම නෑදෑ පිරිස බලන්නට යාමට ඔහුගේ සිතේ අදහසක් ඇති විය. 24 ඉශ්රායෙල්වරුන්ගෙන් කෙනෙකුට අයුක්තියක් කරනු දැක, ඔහුට පක්ෂ ව, මිසරයාට පහර දී, පීඩා කරනු ලැබූ තැනැත්තාට යුක්තිය ඉටු කෙළේ ය. 25 දෙවියන් වහන්සේ ඔහු අතින් ඔහුගේ නෑදෑ පිරිසට විමුක්තිය සලසා දෙන බව ඔවුන් තේරුම්ගෙන ඇතැ යි ඔහු සිතී ය. එහෙත් ඔව්හු එය තේරුම් නොගත්හ. 26 පසුවදා ඉශ්රායෙල්වරුන් දෙදෙනෙකු දබර කරනු දැක, ඔවුන් සමඟි කිරීමේ අදහසින් ඉදිරිපත් වී, ‘මිත්‍රවරුනි, ඔබ සහෝදරයෝ ය; එකිනෙකාට අයුතුකම් කරන්නේ මන්දැ’යි ඇසී ය. 27 එහෙත් අසල්වැසියාට අයුතුකම් කරමින් සිටි මිනිසා මෝසෙස් තල්ලු කර දමා, ‘අප කෙරෙහි අධිපතියෙකු ද විනිශ්චයකාරයෙකු ද කර ඔබ පත් කෙළේ කවරෙක් ද? 28 ඔබ ඊයේ මිසරයා මැරූ ලෙස, මාත් මරන්නට හදනවා දැ’යි කී ය. 29 ඒ කීම නිසා මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයෙහි ආගන්තුක ව විසී ය. එහි දී ඔහුට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්හ.
30 ”සතළිස් අවුරුද්දක් ගත වූ පසු, සීනයි කඳු පාළුකරයේ පඳුරක ගිනි ජාලාවක් තුළ දේව දුතයෙක් ඔහුට දර්ශනය විය. 31 මෝසෙස් ඒ දර්ශනය දැක, පුදුම වී, එය සොයා බලන පිණිස ළඟට ගිය කල, 32 ‘ඔබේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ මම වෙමි’යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ ඇසුණේ ය. මෝසෙස් වෙව්ලන්නට වී, වැඩිදුර පරීක්ෂා කරන්නට බිය විය. 33 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ‘නුඹේ පාවහන් ගලවනු; මන්ද, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකි. 34 මිසරයෙහි වසන මාගේ ජනතාව විඳින පීඩා සැබැවින් ම දිටිමි; ඔවුන්ගේ සුසුම්ලෑම ඇසීමි; ඔවුන් ගළවන පිණිස බැස ආවෙමි; එනු, මම දැන් නුඹ මිසරයට යවමි’යි වදාළ සේක.
35 ”අප කෙරෙහි අධිපතියෙකු හා විනිශ්චයකාරයෙකු ලෙස පත් කරන ලද්දේත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේත් මේ මෝසෙස් ය. එහෙත් පඳුරෙහි දර්ශනය වූ දේව දූතයා මඟින් අධිපතියෙකු හා මිදුම්කාරයෙකු ද වන පිණිස දෙවියන් වහන්සේ විසින් යවන ලද්දේත් මොහු ම ය. 36 මිසරයෙහිදීත්, රතු මුහුදේදීත්, සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි පාළුකරයේදීත්, හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔවුන් පිටතට ගෙන ගියේත් මේ මෝසෙස් ම ය. 37 ‘දෙවියන් වහන්සේ මා එවූ ලෙස ම ඔබගේ සහෝදරයන් අතරෙන් ඔබට දිවැසිවරයෙකු එවන සේකැ’යි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේත්, මේ මෝසෙස් ම ය. 38 සීනයි කන්දේ දී තමාට කතා කළ දේව දූතයා සමඟ ද අපේ පියවරුන් සමඟ ද පාළුකරයෙහි වූ සභාවේ ද සිටියේත්, අපට ප්‍රදානය කරන පිණිස ජීවන දහම ලැබුවේත් මොහු ම ය.
39 ”එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්, 40 ආරොන්ට කතා කරමින්, ‘අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනව, මන්ද, මිසර දේශයෙන් අප ගෙන ආ ඒ මෝසෙස්ට කුමක් වී ද කියා නොදනිමු’යි කී හ. 41 ඔව්හු ඒ දවස්වල දී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ඔප්පු කර, තමන් අතින් සෑදූ දේ ගැන ප්‍රීති වූ හ. 42 එවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙතින් හැරී, ග්‍රහ දේවතා නමස්කාරයට ඔවුන් අත්හැරදැමූ සේක. දිවැසිවරයන්ගේ පොතේ ඒ ගැන,
‘ඉශ්රායෙල් වංශය, කාන්තාරයෙහි සතළිස් වසක් තුළ ඔබ මට බිලි හා පූජා ඔප්පු කළහු ද?
43 නැත, නමස්කාර කරන පිණිස ඔබ විසින් සාදන ලද රූප, එනම්, මොලෙක්ගේ දේවාලය ද රෙපාන් දෙවියාගේ තාරකාව ද ඔබ ඔසවාගෙන ගියහු ය.
එබැවින් ඔබ බබිලෝනියෙන් එපිටට නෙරපන්නෙමි’ යනුවෙන් ලියා තිබේ.
44 ”අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය. 45 අපගේ පියවරු ජෝෂුවා හා සමඟ, දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ දේශය අයිති කරගත් අවස්ථාවේදීත්, ඔවුන් ලබාගත් මේ කූඩාරම ද ගෙන ගොස් දාවිත්ගේ කාලය දක්වා තබාගත්හ. 46 දාවිත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසාදය ලබා, ජාකොබ්ගේ දෙවියන් වහන්සේට වාසස්ථානයක් සැපයීමට අවසර ඉල්ලී ය. 47 එහෙත් උන් වහන්සේට මන්දිරයක් තැනුවේ සලමොන් ය.
48 ”එසේ වුවත් අතින් සෑදූ ස්ථානවල මහෝත්තමයාණන් වහන්සේ වාසය නොකරන සේක. ඒ බව දිවැසිවරයා මෙසේ කියා ඇත: 49 ‘අහස මාගේ සිහසුන ය,
පොළොව මාගේ පාපුටුව ය, කෙබඳු ගෘහයක් ඔබ මට ඉදි කරන්නහු ද?
නොහොත්, මාගේ විවේක ස්ථානය කිමෙක් ද?
50 මේ සියල්ල මාගේ අතින් නොසාදන ලද දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
51 ”හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය. 52 ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත. 53 දේව දූතයන් විසින් දෙන ලද ව්‍යවස්ථා ඔබ ලැබූ නමුත් ඒවා නොපිළිපැද්දහු ය.”

ස්තේපන්ට ගල් ගැසීම

54 ඔව්හු ඒ අසා, ඔහුට විරුද්ධ ව කෝපයෙන් දිළිහී දත්මිටි කෑහ. 55 එහෙත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ ව, ස්වර්ගයට බැල්ම හෙළා, දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැඟිට සිටිනවාත් දැක, 56 ”අන්න, ස්වර්ගය විවර වී ඇත, මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැඟිට සිටිනවා මට පෙනේ ය”යි කී ය. 57 එහෙත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරහඬගසා, තමන්ගේ කන් වසා ගෙන, එක සිතින් ඔහු පිටට කඩා පැන, 58 ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූ හ. සාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබූ හ. 59 ”ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනවැ”යි කියා ස්තේපන් යාච්ඤා කරද්දී ඔව්හු ඔහුට ගල් ගැසූ හ. 60 ඔහු දණින් වැටී, ”සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW