2 මකබි – 8 වන පරිච්ඡේදය –

ජූදස් මකබියස් විරො‍්ධය පෑම

1 ජූදස් මකබියස් සහ ඔහුගේ පිරිස ගම් මැදින් රහසින් ගොස් ඔවුන්ගේ නෑදෑයින් එකතු කළො‍් ය; ජුදා ජාතියට පක්ෂපාත ව සිටි අය පුහුණු කොට හය දාහක පමණ සේනාවක් එක්රැස් කරගත්හ. 2 ඔව්හු සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, හැම පැත්තකින් ම පීඩා කරනු ලබන සෙනඟ ගැන සලකා බලන ලෙසත්, අභක්තිකයන් විසින් කෙලෙසන ලද දේව මාලිගාව කෙරෙහි අනුකම්පාව දක්වන ලෙසත් 3 නටබුන් වී පොළොවට සමතලා වෙන්නට යන නුවර ගැන කරුණාව පාන ලෙසත්, උන් වහන්සේට මොරගසන පීඩිත ජනයාට සවන් දෙන ලෙසත්, 4 නිදොස් සිඟිති දරුවන් අපරාධකාරී ලෙස ඝාතනය කරනු ලැබීම සිහි කරන ලෙසත්, උන් වහන්සේට විරුද්ධ ව ප්‍රචාරය කරනු ලබන දේවාපහාසයන් සඳහා දඬුවම් දෙන ලෙසත් ඉල්ලා සිටියෝ ය. 5 මකබියස් හමුදාව සංවිධානය කළ වහාම සමිඳාණන් වහන්සේගේ කෝපය කරුණාවට හැරී, ඒ හමුදාව විජාතිකයන් විසින් පරාජය කරනු ලැබිය නොහැකි තත්ත්වයකට පැමිණියේ ය. 6 ඔහු නුවරවලට සහ ගම්වලට අනපේක්ෂිත ලෙස පහර දෙමින් ඒවාට ගිනි ලෑවේ ය. වාසිදායක ස්ථාන අල්ලාගෙන සතුරන්ට තදින් පහර දුන්නේ ය. 7 මෙවැනි ව්‍යාපාර සඳහා සාමාන්‍ය වශයෙන් පිටත් වී ගියේ රාත්‍රි කාලය උපයෝගී කරගෙන ය. ඔහුගේ වීර වික්‍රමාන්විත කීර්තිය දසත පැතිරිණි.

ජූදස් මකබියස්ගේ වීර ක්‍රියා

8 ජූදස් ක්‍රමයෙන් බලවත් වන බවත්, ඔහුට වැඩි වැඩියෙන් ජය අත් වන බවත් දුටු පිලිප් රාජකීය ප්‍රයෝජනය සඳහා ආධාර බළ ඇණි එවන ලෙස චේලි-සිරියාවේ සහ පිනීෂියාවේ යුද කොමසාරිස්වරයා වන ටොලමිට ලියා යැවී ය. 9 ටොලමි ද රජුගේ අග්‍ර ගණයේ මිතුරකු වන පැට්රොක්ලස්ගේ පුත් නිකනෝර් පත් කොට, මුළු ජුදා ජාතිය සංහාරය කරනු පිණිස, යටත්පිරිසෙයින් විසි දාහකින් යුත් අන්තර් ජාතික හමුදාවක සෙන්පති වශයෙන් ඔහු නියම කොට වහා යැවී ය. තවද, ඔහුගේ සහායකයා වශයෙන්, යුද්ධ ව්‍යාපාර පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති සේනාපතියෙකු වූ ගෝර්ජියස් ද ඔහු විසින් පත් කරන ලදී. 10 ජුදා ජාතික යුද සිරකරුවන් විකුණා, රජු විසින් රො‍්මවරුන්ට ගෙවිය යුතු ව තිබුණු කප්පම් මුදල වන රිදී කාසි දෙදහස ලබාගැනීමටත් නිකනෝර් තීරණය කරගත්තේ ය. 11 එක රිදී කාසියකට ජුදෙව්වන් අනූ දෙනා බැගින් දීමට පොරොන්දු වී අවුත්, ජුදෙව්වරුන් මිලයට ගන්නා ලෙස ඔහු මුහුදුබඩ නගර වාසීන්ට ආරාධනා කෙළේ ය. එහෙත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඔහුට පැමිණෙන්නට තිබුණු විනිශ්චය ගැන ඔහු දැනගෙන සිටියේ නැත.

නිකනෝර්ගේ උපක්‍රම

12 නිකනෝර් ඉදිරියට එන බව ඇසූ ජූදස් තෙමේ සතුරාගේ පැමිණීම ගැන සිය සෙනඟට අනතුරු ඇඟවීමක් කෙළේ ය. 13 එවිට, දුබල සිත් ඇති අය ද දේව සාධාරණකම කෙරෙහි බලාපොරොත්තු රහිත අය ද පලා ගියහ. 14 සෙස්සෝ ඔවුන්ගේ ඉතිරි සම්පත් ද විකුණාදමා, යුද්ධයටත් කලින් ම තමන් විකුණා දැමූ මේ අභක්තික නිකනෝර්ගෙන් තමන් ගළවාගන්න ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කළහ. 15 ඔවුන් උදෙසා උන් වහන්සේ එසේ නොකරන සේක් නම්, යටත්පිරිසෙයින් ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ කළ ගිවිසුම උදෙසා ද, එතුමන්ගේ ශුද්ධ තේජාන්විත මහිමය ඔවුන් දරන බැවින් ද එසේ කරන ලෙස ඔව්හු අයැදූ හ.
16 මකබියස් හය දාහක් පමණ වූ ඔහුගේ හමුදාව සටනට පිළියෙළ කොට, සතුරා නිසා වියවුල් නොවීමටත්, තමන්ට විරුද්ධ ව දුෂ්ට ලෙස ඉදිරියට එන විජාතික පිරිස නිසා අධෛර්යයට පත් නොවන ලෙසටත්, නිර්භීත ව සටන් කරන ලෙසටත්, ඔවුන්ට අවවාද කෙළේ ය. 17 මේ විජාතිකයන් ශුද්ධස්ථානය අපරාධකාරී ලෙස දූෂණය කළ අන්දමත්, නින්දිත තත්ත්වයකට වැටී තිබෙන, නගරය නිසා ඇති වන සිත් වේදනාවත් නිතර සිහි කරන ලෙස ද ඔහු ඔවුන්ට කීවේ ය. 18 ඔහු තවදුරටත් කතා කරමින් ”ඔවුන් තමන්ගේ අවිආයුධ කෙරෙහිත් වීර ක්‍රියා කෙරෙහිත් විශ්වාසය තබනවා විය හැකි ය. එහෙත් අපේ විශ්වාසය සව් බලැති දෙවියන් වහන්සේ කෙරෙහි ය. මඳක් හිස වැනීමෙන් පමණක්, උන් වහන්සේට අපට විරුද්ධ ව එන මේ අයත් මුළු ලෝකයත් විනාශ කරදැමිය හැකි ය”යි පැවසී ය. 19 සෙනකෙරිබ් යටතේ සිටි කාලයේ දී එක සිය අසූ පන්දහසක් සෙනඟ වැනසීගිය සැටිත්, 20 බබිලෝනියේ දී ගලාතිවරුන් සමඟ කළ සටනේ දී ජුදෙව් සෙබළුන් අට දහසක් පමණ සහ මසිදෝනියානුවරුන් හාර දහසක් පමණ සිටි නමුත්, මසිදෝනියානුවරුන් දුබල වන විට ස්වර්ගයෙන් ලැබුණු ආධාරය නිසා අට දහසක් සෙනඟ එකසිය විසි දහසක් දෙනා මරුමුවට පත් කළ අන්දමත්, මහත් යුද කොල්ලයක් ලබාගත් අන්දමත්, ඔහු ඔවුන්ට සිහිපත් කරවී ය.

නිකනෝර් පරාජය කරනු ලැබීම

21 ඔහු මේ වචනවලින් ඔවුන්ගේ ධෛර්යය ප්‍රබෝධවත් කළ හෙයින්, ව්‍යවස්ථා උදෙසා සහ තමන්ගේ රට උදෙසා මැරෙන්නට පවා ඔව්හු සූදානම් වූ හ. එවිට ඔහු තමාගේ හමුදාව දළ වශයෙන් කණ්ඩායම් සතරකට වෙන් කොට, ඒ එක එක කණ්ඩායමකට සෙනඟ එක් දහස් පන්සියයක් නියම කොට, 22 ඒවායේ සෙන්පතියන් වශයෙන් තමාගේ සහෝදරයන් වන සීමොන්, ජො‍්සෙප් සහ ජොනතන් පිළිවෙළින් පත් කෙළේ ය. 23 ඉන්පසු ඔහු ශුද්ධ පොත කියවීමට එස්ඩ්‍රියාස්ට අණ කොට, ”දෙවියන් වහන්සේගෙන් ආධාර ලැබෙන්නේ ය” යන සටන් පාඨය ඔවුන්ට දුන්නේ ය. මෙසේ කොට, ඔහු ම පළමු වන කණ්ඩායමේ සෙන්පතියා වී නිකනෝර්ට විරුද්ධ ව සටනට ගියේ ය.
24 සව් බලැති තැනැන් වහන්සේ ඔවුන්ගේ මිත්‍රයාණන් වූ බැවින්, ඔව්හු සතුරු සෙනඟගෙන් නව දහසකටත් වඩා ඝාතනය කර, නිකනෝර්ගේ පක්ෂයෙන් විශාල කොටසකට තුවාළ කර, ඔවුන් අබල දුබල කොට, සියල්ලන් ම පලවා හැරියෝ ය. 25 තමන් මිල දී ගැනීමට බලාපොරොත්තු වූ අයගේ මුදල් ඔවුන් අතට ම පත් විය. සෑහෙන දුරක් ඔවුන් ලුහුබැඳ ගිය පසු, කාලය මඳ වූ බැවින්, ඔව්හු ආපසු පැමිණියෝ ය. 26 එය සබත් දිනට පෙර දින සන්ධ්‍යාව වූ හෙයින් ඔව්හු සතුරා ලුහුබැඳ යාම දීර්ඝ නොකළහ. 27 ඔව්හු සතුරාගේ අවිආයුධ එකතු කොට, ඔවුන් කොල්ලකාගත් දේවල් උදුරාගෙන, සමිඳාණන් වහන්සේගේ කරුණාවේ පිනි පොද තමන් මත පතිත වීමට සැලැසූ එදින වන සබත් දවසේ දී උන් වහන්සේ වෙත හද පත්ලෙන් පැන නඟින ප්‍රශංසාව සහ ස්තුතිය පුද කළහ.
28 සබත් දවස අවසන් වූ පසු ඔව්හු පීඩනය නිසා කරදරයට පත් වූ අය අතර ද වැන්දඹුවන් සහ අනාථයන් අතර ද, තමන් කොල්ලකාගත් දේවලින් කොටසක් බෙදා දුන්හ. ඉතිරි කොටස ඔවුන් හා ඔවුන්ගේ දරුදැරියන් අතර බෙදාගත්හ. 29 ඉන්පසු ඔව්හු දයානුකම්පා සහිත සමිඳාණන් වහන්සේට තමන් වහන්සේගේ සේවකයන් සමඟ සමඟි වන ලෙස ඉල්ලා ප්‍රසිද්ධියේ යාච්ඤා කළහ.

තිමො‍්තියස් සහ බක්කිදෙස් පරාජය වීම

30 ඔව්හු තිමො‍්තියස්ගේ සහ බක්කිදෙස්ගේ හමුදාවන්ට අභියෝග කොට උස් වූ බලකොටු කීපයක් අල්ලාගෙන විසි දහසක් පමණ සෙනඟ මරාදැමූ හ. ඔව්හු තමන් රැගත් විශාල කොල්ලය සමාන කොටස් දෙකකට බෙදා, එයින් එක් කොටසක් තමන්ට ම තබාගෙන, අනිත් කොටස පීඩනයෙන් දුක් වින්ද අයටත් වැන්දඹුවන්ට සහ අනාථයන්ටත් මහලු අයටත් බෙදා දුන්හ. 31 ඔව්හු සතුරාගේ අවිආයුධ පරිස්සමෙන් රැස් කොට ඒවා පහසු තැන්වල ගබඩා කළහ. කොල්ලයේ ඉතිරි කොටස ඔව්හු ජෙරුසලමට ගෙන ගියහ. 32 ජුදෙව්වරුන්ට මහා අනතුරු පැමිණෙවූ ඉතා නපුරු මිනිසෙකු වූ, තිමො‍්තියස්ගේ ආරක්ෂක මුර සෙබළුන්ට අණ දෙන නිලධාරියා ඔවුන් විසින් මරාදමන ලදී. 33 ඔවුන් ජෙරුසලමේ ජයෝත්සවය පවත්වද්දී ශුද්ධ වූ වාසල් දොරටුවලට ගිනි තැබූ මිනිස්සු පුළුස්සා මරනු ලැබූ හ. ඒ මිනිස්සු කැලිස්තීනස් සමඟ එක්තරා කුඩා ගෙයක සැඟවී සිටියෝ ය. මෙලෙස ඔවුන් විසින් කරන ලද දූෂණයට නිසි විපාකය ඔව්හු ලැබූ හ.

නිකනෝර් පලා යාම

34 ජුදෙව්වරුන් මිලයට ගැනීම සඳහා දහසක් වෙළෙඳුන් කැඳවාගෙන ආ අතිදුෂ්ට කපටියා වන නිකනෝර් තමන් විසින් සුළු කොට ගණන්ගනු ලැබූ මිනිසුන් විසින් ම, සමිඳාණන් වහන්සේගේ ආධාරය ඇති ව, 35 පරාජයට පත් කරන ලදී. එවිට ඔහු තම රාජකීය නිල ඇඳුම ගලවාදමා, පලා යන වහලෙකු මෙන්, හුදකලා ව රට මැදින් ගමන් කෙළේ ය. තමාගේ ම හමුදාව විනාශ වීමට බොහෝ දුරට මඟ පෑදූ ඔහු එසේ ගොස්, වාසනාවකට මෙන් අන්තියෝකිය නුවරට ළඟා විය. 36 මෙලෙස ජෙරුසලම් නුවරින් සිරකරුවන් විකුණා කප්පම් මුදල් ගෙවීමට රො‍්මවරුන්ට පොරොන්දු වූ මේ මිනිසා, ජුදෙව්වරුන්ට ආරක්ෂාකරුවෙකු සිටින බවට සාක්ෂි දුන්නේ ය. ඇරත්, ඒ ආරක්ෂාකරුවාණන් විසින් පනවන ලද ව්‍යවස්ථා ඔවුන් පිළිපැද්ද නිසාම ජුදෙව්වරුන්ට පහර දීමට කිසිසේත් නොහැකි බව ද කියා පෑවේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW