2 මකබි – 7 වන පරිච්ඡේදය –

සහෝදරයන් සත් දෙනා දිවි පිදීම

1 සහෝදරයන් සත් දෙනෙක් ද ඔවුන්ගේ මව හා සමඟ අත්අඩංගුවට ගන්නා ලදහ. ඔවුන්ට කසයෙන් සහ කටුසැමිටිවලින් වධ හිංසා දෙමින්, ඔවුන්ටත් නීති විරො‍්ධි වූ ඌරුමස් කවනු සඳහා රජ තෙම බලහත්කාරකම් කෙළේ ය. 2 ඔවුන්ගෙන් කෙනෙක් සෙස්සන්ගේ කතා නායකයා මෙන් ඉදිරිපත් වී කතා කොට, ”ඔබ අපෙන් දැනගන්න සොයන්නේ කුමක් ද? අපේ මුතුන්මිත්තන්ගේ ව්‍යවස්ථාවන් කඩ කරනවාට වඩා අපි මැරෙන්නට සූදානම් ය”යි කීවේ ය. 3 එවිට කෝපාවිෂ්ට වූ රජ තෙමේ ගින්නක් මත බඳුන් සහ කල්දේරම් තබා ඒවා රත් කරන ලෙස අණ කෙළේ ය. 4 ඒවා ගිනියම් වූ පසු, ඔහුගේ සහෝදරයන් සහ මව බලා සිටිය දී ම, ඔවුන් වෙනුවෙන් කතා කළ තැනැත්තාගේ දිව කපාදැමීමටත් හිස්කබල ඉවත් කිරීමටත් අත් ඇඟිලිවල සහ පා ඇඟිලිවල අගිස් කපාදැමීමටත් නියම කෙළේ ය. 5 ඔහු සම්පූර්ණයෙන් ම දුබල වූ පසු, තවමත් හුස්ම තිබිය දී, ඔහු ගින්න ළඟට ගෙන ගොස් පණ පිටින් ම බඳුනක දමා බදින ලෙස රජ තෙම අණ දුන්නේ ය. බඳුනෙන් දුම පිට වී ඒ මේ අත පාවෙන විට මව සහ ඉතිරි අය උදාර අන්දමින් මැරෙන ලෙස එකිනෙකා දිරිගන්වමින් කතා කොට: 6 ”දෙවි ස්වාමීන් වහන්සේ බලාගෙන වැඩ සිටින සේක. සෙනඟට විරුද්ධ ව මෝසෙස් සාක්ෂි දුන් ගීතයේ සඳහන් පරිදි, ‘එතුමාණෝ සැබැවින් ම එතුමාණන්ගේ සේවකයින්ට කරුණාව පාන සේකැ’යි ප්‍රකාශ කළ හැටියට, ඇත්තෙන් ම උන් වහන්සේ අපට, කරුණාව දක්වන සේකැ”යි කීවෝ ය.
7 මෙසේ ප්‍රථමයා මියගිය පසු, ඔව්හු තමන්ගේ එම තිරිසන් විනෝදය සඳහා දෙවෙනියා ගෙනාවෝ ය. ඔහුගේ හිසෙන් හිසකෙස් සියල්ලත් හමත් ගලවා දමනු ලැබීමෙන් පසු ඔව්හු ඔහුට කතා කොට, ”නුඹේ ශරීරයේ අවයවයෙන් අවයවයට වධ හිංසා කරන්නට පෙර නුඹ මස් කන්නෙහි දැ”යි ඇසූ හ. 8 එහෙත් ඔහු තමාගේ මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් කතා කරමින්, ”කිසිදාක එසේ නොකරමි”යි ආපසු උත්තර දුන්නේ ය. ඔහු ද එසේ ම වධ හිංසාවට පාත්‍ර කරන ලදී. 9 අවසාන හුස්ම හෙළමින් ඔහු කතා කොට, ”අමනුස්ස යක්ෂය, නුඹට මේ ජීවිතයෙන් අප ඉවත් කරන්නට පුළුවන. එහෙත් ලෝක පරමො‍්ත්තමයාණන්ගේ නීති සඳහා අප මැරෙන බැවින් සදහට ම ජීවත්වීම සඳහා එතුමාණෝ අප නැඟිටුවාලන සේකැ”යි කී ය.
10 ඔව්හු ඔහුට පසු ව තෙවෙනියා රැගෙන විනෝද වූ හ. ඔහුගෙන් ද ප්‍රශ්න ඇසූ විට, ඔහු වහා දිව දිගු කොට දෑත ඔසවා 11 ”මට මේ අවයව ලැබුණේ ස්වර්ගයෙනි. දෙවියන් වහන්සේගේ නීතිය උදෙසා මම ඒවා පිළිකුල් කරමි. මම උන් වහන්සේගෙන් ඒවා යළි ලබාගැනීමට බලාපොරොත්තු වෙමි”යි උදාර ලෙස පැවසී ය. 12 ඒ තරුණයාගේ ධෛර්යය ගැනත් දුක් වේදනා විඳීම ගැන ඔහු දැක්වූ නොසැලකිලිමත් බව ගැනත් රජ ද සේවකයෝ ද මවිත වූ හ.
13 මොහු මියගිය පසු සතරවෙනියා රැගෙන ඔහු ද එම අමානුෂික වේදනාවට පාත්‍ර කරන ලදී. 14 ඔහු මරණාසන්න මොහොතේ දී හඬ නඟා කතා කරමින්, ”මිනිසුන්ගේ අතින් අපට මරණය පැමිණීම යස තෝරාගැනීමකි. එහෙත් දෙවියන් වහන්සේ විසින් අපි යළිත් නැඟුටුවනු ලබමු යන දේව පොරොන්දුව පිට විශ්වාසය තබමු. එහෙත් ඔබට නම් උත්ථානයක් නැත; නව ජීවනයක් ද නැතැ”යි කීවේ ය.
15 ඉන්පසු ඔව්හු පස්වෙනියා ඉදිරියට ගෙනැවිත් ඔහුට හිංසා පීඩා කිරීමට පටන්ගත්හ. 16 එහෙත් ඔහු රජු දෙස බලා කතා කොට, ”ඔබ මැරෙන සුලු කෙනෙකු බැවින් මැරෙන සුලු මිනිසුන් කෙරෙහි බලය ඔබට ඇත. ඔබට කැමැති පරිදි ඔවුන්ට කළ හැකි ය. එහෙත් අපේ ජාතිය දෙවියන් වහන්සේ විසින් අත්හැර දමන ලද්දේ ය යි නො සිතන්න. 17 මඳක් නවතින්න. ඔබේ වාරය පැමිණි විට උන් වහන්සේගේ බලපරාක්‍රමය ඔබටත් ඔබේ ජාතියටත් පීඩා කරන සැටි ඔබට පෙනෙනු ඇතැ”යි කී ය.
18 ඔහුට පසු ව සයවැනියා ගෙනෙන ලදී. ඔහු මියයද්දී කතා කොට, ”ඔබ නොරැවටෙන්න. අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව අප පව් කළ බැවින් අපගේ ම වැරැද්දෙන් අපි මෙසේ දුක් විඳිමු. විපාකය බියජනක ය. 19 ඔබ දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කරන්නට උත්සාහ කළ නිසා ඔබ දඬුවම් නොලබන්නෙහි ය කියා නොසිතන්නැ”යි කීවේ ය.
20 ඒ මව නම් විශේෂයෙන් ම ප්‍රශංසනීය වූ ගෞරවාන්විත ලෙස සිහි කළ යුතු කාන්තාවකි. මන්ද ඇය එක දවසක් තුළ දී ම පුත්‍රයන් සත් දෙනෙකුගේ මරණය දෙස බලා සිට, ඇය සමිඳාණන් වහන්සේ තුළ බලාපොරොත්තුව තැබූ බැවින් ඒ සියල්ල නිර්භීත ලෙස ඉවසාගත්තා ය. 21 සැබැවින් ම ඇය ස්වකීය මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් කතා කරමින් ඔවුන් එකිනෙකා දිරිමත් කළා ය. උතුම් පැහැදීමකින් පූර්ණ වී ඇය ස්ත්‍රියකට ආවේණික වූ සිය තර්කය පිරිමියෙකු මෙන් ධෛර්යයෙන් පණගන්වමින් ඔවුන් අමතා, 22 ”ඔබ හැම මාගේ කුසය තුළ පිළිසිඳගත්තේ කෙසේ දැ යි මම නො දනිමි. ඔබට හුස්ම සහ ප්‍රාණය දුන්නේ මා නොවේ; ඔබේ අවයවයන් හැඩගැසුවේ මා නොවේ. 23 ඒවා කෙළේ, මිනිසාගේ උපත සංවිධානය කරමින් සියල්ලේ ආරම්භයට මූලිකත්වය දරන, ලෝකයේ මැවුම්කාරයාණන් ය. උන් වහන්සේගේ ව්‍යවස්ථාව නිසා ඔබ ම ඔබේ ජීවිතය හෙළාදකින බව දකින එතුමාණෝ දයාව පාමින් ඔබට සැබැවින් ම හුස්ම සහ ප්‍රාණය යළි දෙන සේකැ”යි කීවා ය.
24 ඇන්ටිඕකස් වනාහි ඇයගේ කට හඬෙහි යම් කිසි අපහාසයක් ඇතැ යි සැක කර, ඇය තමාට සමච්චල් කරන්නී යැයි සිතී ය. තවද, බාලයා තවමත් පණපිටින් සිටි බැවින් වචනයෙන් පමණක් නොව දිවුරුම් පොරොන්දු පිට ඔහු ඔහුගේ මුතුන්මිත්තන්ගේ ගතානුගතික සම්ප්‍රදායයන් අත්හරින්නේ නම් ඔහු ධනවත් කොට ප්‍රීතියට පත් කරන බව කියා ඔහුට ආයාචනා කෙළේ ය. තවදුරටත්, ඔහු තමාගේ මිතුරෙකු බවට පත් කරගෙන ප්‍රසිද්ධ නිල පදවියක් ඔහුට දෙන බව ද කියන ලදී. 25 එහෙත් ඒ තරුණයා මේ ගැන කිසි ම සැලකීමක් නො දැක්වූයේ ය. එබැවින් රජ තෙම මවට කතා කොට, තරුණයාගේ ජීවිතය බේරාගන්නා ලෙස ඔහුට අවවාද කරන මෙන් ඇයගෙන් ඉල්ලී ය. 26 ඔහු බොහෝ වාරයක් මෙසේ ඉල්ලූ පසු ඈ තම පුතා එකඟ කරවාගැනීමට උත්සාහ කළා ය. 27 ඈ ඔහු වෙත හැරී කෲර පාලකයා විහිළුවට පාත්‍ර කරමින් තම මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් කතා කරමින්, ඔහු අමතා, ”මාගේ පුතුනි, මට අනුකම්පා කරන්න. මම නව මසක් ඔබ මගේ කුසයේ උසුලාගෙන ගියෙමි. අවුරුදු තුනක් කිරි දුනිමි. ඔබට කවා පොවා අද ඔබ සිටින මේ තත්ත්වයට මම ඔබ ගෙනාවෙමි. 28 මාගේ දරුව, අහස හා පොළොව දෙස බලන මෙන් මම ඔබගෙන් ඉල්ලමි. ඒවායේ ඇති සියල්ල ගැන මෙනෙහි කොට කලින් නොතිබුණු දෙයකින් දෙවියන් වහන්සේ මේ සියල්ල මැවූ බවත් එලෙස ම මනුෂ්‍ය වර්ගයා ජීවිතය ලබාගන්නා බවත් පිළිගන්න. 29 මේ අළුගෝසුවාට බිය නොවන්න. ඔබත් ඔබගේ සහෝදරයන්ගෙන් කෙනෙක් බව ඔප්පු කරන්න. එබැවින් දයාවේ දවසේ දී මා ඔබ ද ඔබේ සහෝදරයන් ද සමඟ පිළිගන්නා ලෙස මරණය සාදරයෙන් පිළිගන්නැ”යි කීවා ය.
30 ඈ මෙසේ කියා අවසාන කිරීමටත් පෙර තරුණයා පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: ”ඔබ සැම කුමක් නිසා බලා සිටින්නහු ද? රජුගේ නියෝගයට මම එකඟ නොවෙමි. මෝසෙස් මඟින් අපේ මුතුන්මිත්තන්ට දෙන ලද ව්‍යවස්ථාවේ නියෝගයට මම එකඟ වෙමි. 31 හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධ ව සෑම නපුරක් ම යෙදීමට උත්සාහ කළ ඔබ සැබැවින් ම දෙවියන් වහන්සේගේ අතින් නොමිදෙන්නහු ය. 32 අපි අපේ ම පව් නිසා දුක් විඳිමු. 33 අපට දඬුවම් දී අප විනයගරුක මඟට පමුණුවන පිණිස අපේ ජීවමාන සමිඳාණන් වහන්සේ ස්වකීය උදහස අප පිට වගුරුවන නමුත් එතුමාණෝ තමන් වහන්සේගේ ම සේවකයන් සමඟ සමගි වන සේක. 34 එහෙත් දුෂ්ට කාලකණ්ණියෙකු වන, සකල මිනිස් සංහතියේ ම කුරිරු දුර්ජනයෙකු වන ඔබ, ව්‍යාජ විශ්වාසයකින් තමා ගැන ම පාරට්ටු කරගනිමින් දෙවියන් වහන්සේගේ සේවකයින්ට විරුද්ධ ව අත ඔසවා කිසි තේරුමක් නැති මාන්නයෙන් හිස උදුම්මා නොගන්න. 35 සියලු දේ දකින සව් බලැති දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් ඔබ තවමත් බේරී නොමැත. 36 අපේ සහෝදරයෝ කෙටි කාලීන වූ වේදනාවක් විඳ දරාගත් පසු දේව ගිවිසුම නිසා දැන් සදහට ම ගලන ජීවන ගංගාවෙන් පානය කරන්නෝ ය. එහෙත් ඔබ දේව විනිශ්චය නිසා ඔබේ අහංකාරකමට නිසි දඬුවම වින්ද යුතු ය. 37 මම ද මාගේ සහෝදරයන් මෙන් මාගේ මුතුන්මිත්තන්ගේ ව්‍යවස්ථා උදෙසා මාගේ ශරීරයත් ප්‍රාණයත් පූජා කරමි. අපගේ ජාතිය වෙත දෙවියන් වහන්සේගේ කරුණාව විගස පාන ලෙස ද දුක් කම්කටොලු මඟින් ඔබත් උන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ ය කියා උච්චාරණය කරන ලෙස ද මම උන් වහන්සේට යාච්ඤා කරමි. 38 මෙලෙස අපේ මුළු ජාතිය පිට දෙවියන් වහන්සේ වගුරුවා ඇති උදහස මාත් මාගේ සහෝදරයිනුත් උන් වහන්සේ සමඟ සිටින විට අවසාන වනු ඇත.”
39 රජ තෙම වියරු වී මොහුට අනිත් අයටත් වඩා කෲර ලෙස දඬුවම් කරවිය. මන්ද, රජ තෙම තරුණයාගෙන් ලත් නින්දාව නිසා වේදනා වින්දේ ය. 40 මෙසේ බාලයා ද නොකිළිටි ව සමිඳාණන් වහන්සේ තුළ සම්පූර්ණ විශ්වාසයකින් යුක්ත ව මියගියේ ය. 41 පුත්‍රයන්ට පසු ව අන්තිමයේ දී මියගිය තැනැත්තිය මව වූවා ය.
42 අධික වධ හිංසා සහ ආගමික භෝජන සංග්‍රහයන් පිළිබඳ මේ වාර්තාවෙන් ඔබ සෑහීමට පත් විය යුතු ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW