2 මකබි – 6 වන පරිච්ඡේදය –

විජාතික වත්පිළිවෙත් බලහත්කාරයෙන් පැවරීම

1 ටික කලකට පසු, ජුදෙව්වරුන්ගේ පැරණි සිරිත් විරිත් අත්හැරදමන ලෙසත් දෙවියන් වහන්සේගේ නීතිය අනුව ජීවත් නොවන ලෙසත් ඔවුන්ට බල කරන පිණිස ද, 2 ජෙරුසලමෙහි දේව මාලිගාව කෙලෙසා, දේශවාසීන් ඉල්ලූ පරිදි ගෙරිසීම් කන්ද මත සිවුස් හෙවත් ඔලිම්පියන් සිවුස් නමැති ආගන්තුක සත්කාරයේ කුල දෙවියාට එම දේව මාලිගාව කැප කරන පිණිස ද, රජ තෙමේ ඇතන්ස් නුවරින් වැඩිමහල්ලෙකු එහි යැවී ය. 3 මෙවැනි නපුරක් බලහත්කාරයෙන් පැවරීම පීඩාදායක දෙයක් වූවා පමණක් නොව, එය කිසිසේත් නොඉවසනසුලු දෙයක් ද විය. 4 විජාතිකයෝ දේව මාලිගාව තුළ ප්‍රීති උත්සව පවත්වමින් අසීමිත සල්ලාලකම්වල යෙදුණා හ. වෙනත් අසභ්‍ය දේවලට අමතර ව ඔව්හු ශුද්ධ භූමිය තුළ ගණිකාවන් සමඟ කම්සැපෙහි යෙදෙමින් ස්ත්‍රීන් සමඟ සයනය කළහ. 5 ව්‍යවස්ථාව අනුව අපවිත්‍ර යයි සම්මත කරන ලද සතුන්ගෙන් පූජාසනය පිරී ඉතිරිණි. 6 සබත හො‍් පාරම්පරික මංගල්‍යයන් හො‍් පැවැත්වීමට නොහැකි වූවා පමණක් නොව යමකු ජුදා ජාතිකයකු හැටියට පිළිගැනීම පවා අපහසු විය. 7 රජුගේ ජන්මො‍්ත්සවයට අදාළ ව පවත්වන ලද මාසික උත්සවයන්හි දී පූජා කරන ලද සතුන්ගේ බඩවැල් පවා කෑමට මිනිසුන්ට බල කරන ලදී. දියෝනිසියස් නම් දෙවියාගේ උත්සවය පැමිණි විට, මල් මාලා පැළඳගෙන එම දෙවියාගේ උත්සව පෙරහැරේ යාමට ඔවුන්ට බල කරන ලදී. 8 ටොලමයිස්හි වැසියන්ගේ ඉල්ලීම අනුව යාබද ග්‍රීක් නගරවල වසන ජුදෙව්වන් ද ඉහත සඳහන් නියෝග පිළිපැදිය යුතු ය යි ආඥාවක් නිකුත් කරන ලදී. මෙලෙස ඔවුන්ටත් යාග පූජාවල ආහාරවලට පංගුකාරයන් වීමට බල කරන ලදී. 9 ග්‍රීක සිරිත්විරිත්වලට සිය කැමැත්තෙන් එකඟ නොවන අය මරාදැමීමට ද අණක් දෙන ලදී. එබැවින් මහා විපතක් ඉතා ආසන්න බව කාටත් පැහැදිලි විය.
10 උදාහරණයක් වශයෙන්, තමන්ගේ දරුවන් චර්මඡේදනය කිරීම ගැන ස්ත්‍රීන් දෙදෙනෙකුට විරුද්ධ ව චෝදනා කරන ලදී. ඔවුන්ගේ බිළිඳු දරුවෝ ඔවුන්ගේ පියයුරු මත (උරෙහි) එල්ලා නුවර වටේට ප්‍රසිද්ධියේ ගෙන ගොස්, පසු ව නුවර ප්‍රාකාරයට උඩින් තල්ලු කරදමනු ලැබූ හ. 11 අප්‍රසිද්ධියේ සබත් දවස පැවැත්වීම සඳහා ගුහාවල රැස්වුණු තවත් අයට විරුද්ධ ව පිලිප් ඉදිරියේ චෝදනා කරන ලදුව, ඔව්හු සියල්ලෝ ම පුළුස්සාදමනු ලැබූ හ. ඔව්හු ද සබත් දවසේ ශුද්ධවන්තකම නිසා තමන්ගේ හෘදය සාක්ෂිය අනුව තමන්ගේ ආරක්ෂාව සඳහා කිසිත් නොකළහ.

පීඩනයේ නියම තේරුම

12 මේ පොත කියවන සෑම කෙනෙකු ම මේ ව්‍යසන ගැන වියවුල් නොවී, මෙවැනි දඬුවම් පැමිණෙන්නේ අපගේ ජාතිය වැනසීමට නොව එය විනයගරුක කිරීමට බව කල්පනා කරන ලෙස මම තරයේ ඉල්ලා සිටිමි. 13 සැබැවින් ම, නපුරුකම් කරන අයට ඔවුන්ගේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට බොහෝ කාලයක් නො ලැබී, ඔවුන්ට වහාම ප්‍රතිවිපාක ලැබෙන්නේ නම්, එය වනාහි මහා කරුණාව දැක්වෙන ලකුණකි. 14 හිමිතුමාණෝ විජාතිකයන් ගැන ක්‍රියා කරන විට, ඔවුන්ට දඬුවම් දීමට කලින්, ඔවුන්ගේ පාප සම්භාරය සම්පූර්ණ වන තෙක් ඉවසිලිමත් ව බලා සිටින සේක. එහෙත් උන් වහන්සේ අප ගැන ක්‍රියා කරන්නේ වෙනත් පිළිවෙළකට ය. 15 අපේ පව් උත්සන්න වූවාට පසු ව අපට දඬුවම් කිරීමට නොසිට දැන් දැන් ම දඬුවම් කරන සේක. 16 මෙලෙස උන් වහන්සේ ස්වකීය කරුණාව සම්පූර්ණයෙන් ම අපෙන් අහක් කර නොගන්නා සේක. උන් වහන්සේ යම් කිසි විපතක් එවා අප විනයගරුක මඟට යොමු කළත් ස්වකීය සෙනඟ අත් නොහරින සේක. 17 මෙය කර ඇත්තේ මතක් කිරීමක් වශයෙන් පමණකි. දැන් ඉතින් අපි තවත් ප්‍රමාද නොවී අපේ කථාන්තරය යළිත් අරඹමු.

එලෙයාසර් දිවි පිදීම

18 ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රමුඛ ආචාර්යවරයෙකු ව සිටියාවූ ද, ඒ වන විටත් බොහෝ වයස්ගත ව සිටියාවූ ද, උදාරතර පෙනුමක් ඇති ව සිටි, එලෙයාසර් නමැත්තාට ඌරුමස් කවන පිණිස ඔහුගේ කට බලහත්කාරයෙන් අරවන ලදී. 19 එහෙත් ඔහු අපකීර්තියෙන් ජීවත් වීමට වඩා කීර්තිමත් ලෙස මියයාමට අධිෂ්ඨාන කරගෙන සිය කැමැත්තෙන් ම දංගෙඩිය වෙත ගමන් කෙළේ ය. 20 ඔහු එසේ යද්දී කෙළ ගසා කටේ තිබුණ දේ බිම දැමී ය. ඔහු මෙය කළේ ධෛර්යවන්ත ඕනෑ ම කෙනෙකු තමාගේ ජීවිතය රැකගැනීමට ඇති ස්වභාවික ඇල්ම පවා නොතකා නීති විරො‍්ධි කිසිවක් රස බැලීම ප්‍රතික්ෂේප කරන අයුරිනි. 21 මේ පාපිෂ්ඨ භෝජන සංග්‍රහය භාර ව සිටි අය ද, ඔහු සමඟ තිබුණ ඔවුන්ගේ දීර්ඝ කාලීන මිත්‍රත්වය නිසා, ඔහු විසින් ම පිළියෙළ කරන ලද, ඔහුට නීත්‍යනුකූල ව කන්නට අවසර තිබුණු මස් වර්ගයක් ගෙනැවිත්, රජුගේ නීතිය පරිදි යාග පූජාවේ මාංස කන බව බොරුවට අඟවමින් එය කන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා හ. 22 ඔවුන්ගේ දීර්ඝ මිත්‍රත්වය නිසා ඇතිවුණු කරුණාවෙන් ප්‍රයෝජන ගනිමින් මෙසේ කිරීමෙන් මරණින් බේරෙන්නට ඔහුට ඉඩක් තිබිණි. 23 එහෙත් ඔහු තමාගේ වයසටත් වයසින් ඇති වන ගරුත්වයටත් කීර්තිමත් පැසුණු හිසටත් ඔබින උදාර තීරණයක් ගනිමින්, ළමා වියේ පටන් ඇති වූ නිදොස් චරිතය අනුව යමින්, විශේෂයෙන් ම, දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද ශුද්ධ නීතියට එකඟ ව ක්‍රියා කරමින්, තමාගේ පැහැදීම ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරමින්, තමා පාතාල ලෝකයට යවන ලෙස ඔවුන්ට කීවේ ය. 24 තවද ඔහු කතා කරමින්: ”මෙවැනි රැවටිලි කිරීම අපේ ජීවිතයේ මේ අවස්ථාවට තරම් නොවේ. අනූ වියේ සිටි එලෙයාසර් විදේශිකයන්ගේ ජීවිත පිළිවෙළට එකඟ වූයේ යයි යොවුන් වියේ පසු වන බොහෝ දෙනා සිතන්නට පුළුවන. 25 මාගේ ආයු ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසක් නිසා මා මෙසේ ක්‍රියා කළොත් ඔවුන් මා නිසා නොමඟ යත හැකි ය. එවිට මගේ මහලු වියට මා ගෙන දෙන්නේ කෙලෙසීම සහ අපකීර්තිය පමණකි. 26 එහෙත් මේ මොහොතේ දී නම් මිනිසාගේ අතින් මා ලබන මරණයෙන් මිදෙන්නට මට පුළුවන. එසේ වුවත් කිසිදාක ජීවතුන් අතර වේ වා, මළවුන් අතර වේ වා, සව් බලැති තැනැන් වහන්සේගේ ග්‍රහණයෙන් මිදෙන්නට මට නොහැකි ය. 27 එබැවින් මට මේ දැන් ජීවිතයෙන් තුරන් වීමට මිනිස් ශක්තිය ඇති නිසා මගේ මහලු වියට ඔබින කෙනෙකු බව මම ඔප්පු කරන්නෙමි. 28 එවිට, අපේ පූජනීය වූ ද ශුද්ධ වූ ද ව්‍යවස්ථාව උදෙසා ආශාවෙන් සහ ත්‍යාගශීලීකමෙන් යුතු ව සුබ මරණයක් ලබාගන්නේ කෙසේ ද යන්න ගැන උතුම් ආදර්ශයක් මම අපේ තරුණයන්ට තබා යන්නෙමි”යි කීවේ ය.
මේ වචන කියා ඔහු කෙළින් ම දංගෙඩිය වෙත ගියේ ය. 29 මේ වන තෙක් ඔහුට කාරුණික ලෙස සැලකූ පිරිස මේ ප්‍රකාශනයට පසු එය අන්ත පිස්සුවක් ලෙස සලකාගෙන ඔහුට විරුද්ධත්වය දැක්වූ හ. 30 පහර කා මියයන්නට පෙර ඔහු හඬ නඟා සුසුම්ලමින්, ”මට මරණයෙන් ගැළවෙන්නට ඉඩ තිබුණත්, පහර පිට පහර ලැබීම නිසා මා ඇඟපතේ වේදනා වින්දත්, සමිඳාණන් වහන්සේ වෙත මා තුළ ඇති ගරුබිය නිසා ම ඉතා ප්‍රීතියෙන් වේදනා විඳින බව ශුද්ධ වූ දැනුම ඇති උන් වහන්සේ පැහැදිලි ලෙස දකින සේකැ”යි කී ය.
31 තරුණයන් උදෙසා පමණක් නොව ජාතියේ බහුතර පක්ෂය උදෙසා ද තමාගේ මරණය උදාරතර ආදර්ශයක් බවට පත් කරවමින්, දැහැමිකමේ වාර්තාවක් පිහිටුවමින්, ඔහු මියගියේ එලෙස ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW