2 මකබි – 3 වන පරිච්ඡේදය –

හෙලිඕඩොරස් ජෙරුසලමට පැමිණීම

1 නායක පූජක ඕනියස්ගේ භක්තිවන්තකම ද නපුරු ක්‍රියා කෙරෙහි ඔහු දැක්වූ ද්වේෂය ද නිසා ශුද්ධ නගරය තුළ සියල්ලෝ ම සාමකාමී ව ජීවත් වූ හ; හැකි පමණ හොඳින් ව්‍යවස්ථා පිළිපැද්දා හ. 2 එකල රජවරු පවා අතිශුද්ධස්ථානයට ගෞරව දක්වා ඉතා අගනා පුද පඬුරු ඔප්පුකොට දේව මාලිගාවේ මහිමාලංකාරය වැඩිදියුණු කළහ. 3 ආසියාවේ රජවූ සෙලවුකස් ද තමාගේ පෞද්ගලික ආදායමෙන්, පුද පූජා සඳහා වන වියහියදම් කෙළේ ය.
4 එහෙත් බිල්ගාගේ වංශයේ සීමොන් නමැත්තෙකු දේව මාලිගාවේ පරිපාලනය සඳහා පත් කරනු ලැබ, නගරයේ වෙළෙඳාම් පොළවල් සම්බන්ධ නීති නියෝග නිසා ඔහුට නායක පූජක තැන සමඟ ගැටෙන්නට සිදු විය. 5 තම අදහසට ඕනියස් කැමැති කරවාගැනීමට ඔහුට නොහැකි වූ බැවින්, ඔහු එකල චේලි-සිරියාවේ සහ පිනීෂියාවේ යුද කොමසාරිස්වරයා ව සිටි තාර්සස්හි අපොල්ලෝනියස් වෙතට ගියේ ය. 6 ඔහු එහි ගොස්, ජෙරුසලමෙහි භාණ්ඩාගාරයේ කිය නොහැකි තරම් ඉමහත් ධනස්කන්ධයක් තිබෙන බව ද එහි එකතු කර තිබෙන වස්තු සම්භාරය අසංඛ්‍ය බව ද යාග පූජාවන් සඳහා වියහියදම්වලට යන ප්‍රමාණයට වඩා එම වස්තු ප්‍රමාණය විශාල බව ද ඒ සියල්ල ම රජුගේ පාලනය යටතට ගත හැකි බව ද සැළ කෙළේ ය. 7 එවිට අපොල්ලෝනියස් රජු හමු වූ අවස්ථාවක දී තමාට දන්වන ලද එම වස්තුව ගැන රජුට කීවේ ය. මෙය ඇසූ රජ තෙමේ තමාගේ භාණ්ඩාගාරික, හෙලිඕඩොරස් තෝරාගෙන දන්වන ලද එම වස්තුව ඉවත් කරගැනීම සඳහා උපදෙස් දී ඔහු එහි යැවී ය.
8 හෙලිඕඩොරස් වහා පිටත් විය. චේලි-සිරියාවේ සහ පිනීෂියාවේ නගර පරීක්ෂා කරන මුවාවෙන් මෙන් ඔහු ගිය නමුත් ඇත්ත වශයෙන් ම ඔහු ගියේ රජුගේ අදහස ඉටු කරන පිණිස ය. 9 ඔහු ජෙරුසලමට පැමිණි විට නායක පූජක තැන විසින් ඔහු සාදරයෙන් පිළිගනු ලැබීමෙන් පසු තමා එහි පැමිණීමට හේතුව දන්වා, තමාට දන්වන ලද දේවල් ප්‍රකාශ කොට, යථා තත්ත්වය එබඳු දැ යි ඇසී ය. 10 එවිට නායක පූජක තෙම ඔහුට විස්තර ඉදිරිපත් කරමින්, වැන්දඹුවන් සහ අනාථයන් සඳහා එහි මුදල් වෙන් කර තිබෙන බව පැවසී ය. 11 තවද ඉතා උසස් නිල පදවියක සිටින තෝබියස්ගේ පුත්‍ර වූ හිර්කානස්ට එම මුදලින් කොටසක් අයිති බවත්, නපුරු සීමොන් චෝදනා කළ දේ ඇත්ත නොවන බවත්, මුළු ධන සම්පත ම රිදී කාසි හාරසියයක් සහ රන් කාසි දෙසියයක් බවත් දැන්විය. 12 ඔහු තවදුරටත් කතා කරමින්, එම ශුද්ධස්ථානය කෙරෙහි විශ්වාසය තැබූ අයට විරුද්ධ ව ද මුළු ලොව පුරා ම පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන එම ස්ථානයේ නො කෙලසිය යුතු මහානුභාව සම්පන්නත්වයට විරුද්ධ ව ද අසාධාරණයක් කිරීම ගැන කොහෙත් ම නොසිතිය යුතු බව ද දැන්විය.

ජෙරුසලමෙහි සන්ත්‍රාසය

13 එසේ වුවත්, රජ තමාට දුන් උවදෙස් නිසා රාජකීය භාණ්ඩාගාරය සඳහා වහා එම මුදල් රාජසන්තක කළ යුතු බව හෙලිඕඩොරස් තරයේ කියා සිටියේ ය. 14 ඔහු මේ සඳහා දිනයක් නියම කොට, එහි තිබුණු වස්තුව පිළිබඳ වට්ටෝරුවක් පිළියෙළ කිරීමට ගියේ ය. එවිට නුවර පුරා සන්ත්‍රාසයක් ඇති විය. 15 නිල ඇඳුම් ලා ගත් පූජකවරු මුණින් වැටී, වස්තුව තැන්පත් කළ අය වෙනුවෙන් ඒවා ආරක්ෂා කර දෙන ලෙස නීතියේ කර්තෘවරයාණන්ටත්, ස්වර්ගයටත් යාච්ඤා කළහ. 16 නායක පූජකතුමාගේ එහි පැමිණීම බලා හුන් අයගේ හදවත් විනිවිද යන සුලු විය. ඔහුගේ විලාසය හා වෙනස් වූ පැහැය සිතෙහි වූ වේදනාව එළිදරව් කරන සංකේතයක් විය. 17 භීතියත් ඇඟපත වෙව්ලීමත් නිසා තැතිගෙන සිටි, ඔහු දුටු අයට ඔහු විඳි චිත්ත සන්තාපයේ තරම ඉතා තදින් කාවැදිණි. 18 ශුද්ධස්ථානයට එල්ල කරන ලද නින්දාවෙන් එය මුදාගැනීම සඳහා ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීමට අදහස් කළ අය මහත් වේගයෙන් ගෙවලින් පිටතට ආහ. 19 කාන්තාවෝ තමන්ගේ යටි කය ගෝණි රෙදිවලින් වසාගෙන වීථිවල එක්රැස් වූ හ. ගෙවල හුදකලා ව නවත්වනු ලැබූ යුවතියන්ගෙන් සමහරු දොරවල් අසලට දිව ගියහ. සමහරෙක් නුවර පවුරු සමීපයටත් දිව ගියහ. තවත් සමහරෙක් කවුළුවලින් පිටතට එබී බලාගෙන සිටියාහ. 20 සියලුදෙනා ම යාච්ඤාවෙහි යෙදී ස්වර්ගය දෙසට තමන්ගේ දෑත් දිගු කළහ. 21 මුණින් වැටී බිම දිගා වීම සඳහා මිනිසුන්ගේ රොක් වීම ද දැඩි සිත් වේදනාවෙන් පෙළෙමින් සිටි නායක පූජකවරයාගේ අසුබ පෙරනිමිති ද දැකීම දුක්බර ජවනිකාවක් විය. 22 වස්තුව තැන්පත් කළ අය සඳහා ඒ වස්තුව ආරක්ෂා කර දෙන පිණිස සෙනඟ සව් බලැති සමිඳාණන් වහන්සේට යාච්ඤා කිරීමෙහි යෙදී සිටින අතර 23 හෙලිඕඩොරස් තෙමේ තමාට නියම ව තිබුණු කාර්යය නොනවත්වා කරගෙන ගියේ ය.

හෙලිඕඩොරස්ට දඬුවම් දීම

24 හෙලිඕඩොරස් ඔහුගේ මුර සෙබළුන් සමඟ භාණ්ඩාගාරය අසලට පැමිණි විට, සකල බලතාවයන්ගේ සහ ආත්මයන්ගේ පරමො‍්ත්තමයාණන් දර්ශනයකින් පෙනුනෙන්, හෙලිඕඩොරස් සමඟ ගමන් ගත් සියල්ලෝ ම දේව බලය ගැන තුෂ්ණීම්භූත ව පිළිකුල් සහගත භීතියකට පත් වූ හ. 25 අලංකාර ලෙස සරසන ලද, අශ්වයෙක් ද ඌ අරා සිටි බිහිසුණු අසරුවෙක් ද ඔවුන් ඉදිරිපිට දර්ශනය වූ හ. ඌ පස්සා ගාත්වලින් කෙළින් සිටගෙන සාහසික ලෙස ඉස්සරහ ගාත්වලින් හෙලිඕඩොරස්ට, පහර දුන්නේ ය. අසරුවා සම්පූර්ණයෙන් ම සැරසී සිටියේ රත්රන්වලිනි. 26 තවද, කැපී පෙනෙන ශරීර ශක්තියෙන් ද පැහැපත් ශෝභාවකින් ද යුත්, විශිෂ්ට ලෙස සැරසුණු, තරුණයෝ දෙදෙනෙක් ද ඒ වේලාවේ දී ම ඔහුට දර්ශනය වූ හ. ඔව්හු හෙලිඕඩොරස්ගේ දෙපස සිටගෙන ඔහුට පහර පිට පහර දෙමින් නො නවත්වා තැළූ හ. 27 හදිසියෙන් ම හෙලිඕඩොරස් ඝන අඳුරකින් වට කරනු ලැබී ය. ඔහු බිම ඇද වැටිණි. ඔහුගේ පිරිස ඔහුගේ සහායට පැමිණ ඔහු ඔසවා යහනක තැබූ හ. 28 මේ මිනිසා වනාහි අප කලින් කී අන්දමට මහා පිරිසක් පිරිවරාගෙන තමාගේ මුර ඇණිය ද සමඟ මොහොතකට කලින් භාණ්ඩාගාරයට ඇතුළු වූ තැනැත්තා ය. ඔහුට කිසි දෙයක් කරගත නොහැකි වූ විට ඔහු උසුලාගෙන ගිය තැනැත්තෝ ප්‍රසිද්ධියේ ම පරමො‍්ත්තම දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය පිළිගත්හ.
29 හෙලිඕඩොරස් කතා කරගත නොහැකි ව ගැළවීමේ කිසි ම බලාපොරොත්තුවක් නැති ව දේව දඬුවමට යටත් කරනු ලැබ බිම වැතිර සිටින විට, 30 තමන් වහන්සේගේ ශුද්ධස්ථානය අරුමපුදුම ලෙස තේජස් සම්පන්න කළ සමිඳාණන් වහන්සේට, ජුදෙව්වරු ප්‍රශංසා කළහ. සුළු වේලාවකට පෙර භීතියෙන් හා ව්‍යාකූලත්වයෙන් පිරී තිබුණු දේව මාලිගාව තුළ දැන් සව් බලැති දෙවියන් වහන්සේ ප්‍රකාශ වීමෙන් ප්‍රීති ප්‍රමො‍්දය පිරී ඇත්තේ ය. 31 එවිට හෙලිඕඩොරස්ගේ පිරිසෙන් සමහර දෙනෙක් ඕනියස්ට කතා කොට, මරණාසන්න වී සිටින මේ මිනිසාට යළි ජීවිතය දානය කරන ලෙස මහො‍්ත්තමයාණන්ට යාච්ඤා කරන මෙන් ඔහුගෙන් විගස ඉල්ලා සිටියා හ.
32 ජුදෙව්වරුන් හෙලිඕඩොරස්ට කිසි යම් ද්‍රෝහි ක්‍රියාවක් කළහ යි රජු සැක සිතන්නට පුළුවනැ යි සිතා බිය වූ නායක පූජක තැන ද ඔහුගේ සුවය සඳහා පුද පූජාවක් ඔප්පු කෙළේ ය. 33 නායක පූජක තැන වන්දි ගෙවීමේ වත්පිළිවෙත් ඔප්පු කරන විට, කලින් දර්ශනය වූ තරුණයෝ ම එම වස්ත්‍ර ම ඇඳගෙන දර්ශනය වූ හ. මොවුහු හෙලිඕඩොරස් ළඟ සිටගෙන ඔහුට කතා කොට, ”නායක පූජක ඕනියස්ට ස්තුති කරන්න. මන්ද සමිඳාණන් වහන්සේ ඔබට ජීවිතය දුන්නේ ඔහු නිසා ය. 34 ස්වර්ගයෙන් කස පහර ලැබූ ඔබ දෙවියන් වහන්සේගේ බල මහිමය සියලු මිනිසුන්ට ප්‍රකාශ කළ යුතු යි” කී හ. මෙසේ කියා ඔව්හු අතුරුදහන් වූ හ.

හෙලිඕඩොරස්ගේ සිත් හැරීම

35 හෙලිඕඩොරස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කොට, තමාගේ ජීවිතය ආරක්ෂා කළ උන් වහන්සේට ප්‍රසිද්ධියේ බාරහාර වී, ඕනියස්ගෙන් ගෞරව පූර්වක ව සමුගෙන, ඔහුගේ හමුදාව සමඟ රජු වෙත ආපසු ගියේ ය. 36 ඔහු තමාගේ ම දෙනෙතින් දුටු අති උත්තම දෙවියන් වහන්සේගේ ක්‍රියා ගැන ප්‍රසිද්ධියේ ම සියලු සෙනඟ ඉදිරියෙහි සාක්ෂි දුන්නේ ය. 37 රජ තෙමේ දෙ වන වතාවටත් කුමන ආකාර කෙනෙකු ජෙරුසලමට යැවිය යුතු දැ යි හෙලිඕඩොරස්ගෙන් ඇසුවේ ය. ඔහු උත්තර දෙමින්, 38 ”රජයට විරුද්ධ කැරලිකාරයෙකු හො‍් සතුරෙකු හො‍් ඔබට ඇත්නම් එවැන්නෙකු එහි යැව්ව මැනවි. ඔහුට තම පණ බේරාගෙන එන්න වරම් ලැබුණත්, ඔහුට හොඳට ම කස පහර කන්නට ඔබ සලසනවා ඇත. මන්ද, ඒ ස්ථානයේ දෙවියන් වහන්සේගේ අරුම සහගත පරාක්‍රම බලයක් පවතියි. 39 සගලොව වැඩවසන තැනැන් වහන්සේ එම ස්ථානය රැකබලා ගනිමින් එය ආරක්ෂා කරන සේක. ඊට අනතුරක් කරන්නට පැමිණෙන අයට උන් වහන්සේ පහර දී ඔවුන් විනාශ කරන සේකැ”යි කීවේ ය. 40 හෙලිඕඩොරස් හා සම්බන්ධ කාරණයේ ප්‍රතිඵලය හා භාණ්ඩාගාරය ආරක්ෂා වීම පිළිබඳ කතාව එසේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW