2 මකබි – 2 වන පරිච්ඡේදය –

මණ්ඩපය ද ගිවිසුම් කරඬුව සහ පූජාසනය ද සඟවා තැබීම

1 අප විසින් විස්තර කරන ලද පරිදි රටින් පිටුවහල් කරනු ලැබූ අයට ගින්න රැගෙන යාමට දිවැසිවර ජෙරමියා අණ කළ විට පහත සඳහන් උපදේශ ද දී තිබෙන බව පහත පැරණි ලියවිලිවලින් අපි සොයාගතිමු. 2 එනම්, ඔහු ඔවුන්ට ව්‍යවස්ථාව භාර දෙමින්, පිටුවහල් කරන ලද අය කිසි දාක සමිඳාණන් වහන්සේගේ අණපණත් අමතක නොකළ යුතු බව හා ඔවුන් රන් රිදී පිළිමත් ඒවායේ විචිත්‍ර වස්ත්‍රාභරණත් දුටු විට ඒවාට නො රැවටිය යුතු බව ය. 3 තවද ඒ සමඟ ම දුන් වෙනත් උපදේශ අතර ඔවුන්ගේ සිත්වලින් ව්‍යවස්ථාව බැහැර නො කරන ලෙස ද ඔහු ඔවුන්ට තදින් අවවාද කෙළේ ය. 4 දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශය නරඹන පිණිස මෝසෙස් නැඟුණ කන්දට දිවැසිවරයා යන විට තමා සමඟ මණ්ඩපය සහ ගිවිසුම් කරඬුව රැගෙන යා යුතු බවට නියමයක් දේව ප්‍රකාශනයන් මඟින් දන්වන ලද බවත් එම ලියවිල්ලෙහි විස්තර කර තිබුණි. 5 ජෙරමියා පැමිණි විට ඔහුට එහි ගුහාවක් සම්බ විය. ඔහු එය ඇතුළට මණ්ඩපය ද ගිවිසුම් කරඬුව සහ සුවඳ දුම් පූජාසනය ද ගෙනා පසු එහි දොරටුව වසාදැමී ය. 6 ඔහුගේ පිරිසෙන් සමහරුන් මාර්ගය ලකුණු කිරීම සඳහා පැමිණි නමුත් ඔවුන්ට එය සොයාගත නො හැකි විය. 7 ජෙරමියා මෙය දැනගත් විට ඔවුන්ට බැණ වදිමින්, ”දෙවියන් වහන්සේ සිය සෙනඟ එකට එකතු කොට උන් වහන්සේ ඔවුන්ට කරුණාව පෙන්වන තුරු එම ස්ථානය කිසිවකු නො දත යුතු යි. 8 එම කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ යළිත් සියල්ල අනාවරණය කරන සේක. එවිට සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය වෙනවා ඇත. මෝසෙස්ගේ කාලයේ දී ද අතිශුද්ධස්ථානය තේජාන්විත ව කැප වන ලෙස සලමොන් රජු යාච්ඤා කළ විටත් වලාකුළු දර්ශනය වුණාක් මෙන් වලාකුළ ද පෙනෙනු ඇතැ”යි කීවේ ය. 9 තවද සලමොන් රජු තම ප්‍රඥා මහිමයෙන් ශුද්ධස්ථානයේ වැඩ හමාර කොට එය කැප කිරීමට පුද පූජාව ඔප්පු කළ සැටි ද එහි වාර්තාගත කර තිබුණි. 10 මෝසෙස් සමිඳාණන් වහන්සේට යාච්ඤා කළ විට අහසින් ගින්න බැස අවුත් පුද පූජාව දැව්වා සේ ම සලමොන් රජු යාච්ඤා කළ විටත්, ඉහළින් පැමිණි ගින්න දවන යාග පූජා දවාදැම්මේ ය. 11 පාප පූජා පඬුර දැවී ගියේ එය අනුභව නොකළ හෙයින් ය යි මෝසෙස් විසින් කියන ලදී. 12 සලමොන් රජ ද පිළිවෙළට ම අට දවසක් මංගල්‍ය පැවැත් විය.

නෙහෙමියාගේ පුස්තකාලය

13 තවද කලින් කී දේවලට අමතර ව නෙහෙමියා විසින් පුස්තකාලයක් පිහිටුවනු ලැබ එහි ඔහු රජවරුන්ට සහ දිවැසිවරුන්ට අදාළ කරුණු පිළිබඳ ග්‍රන්ථ ද දාවිත් රජුගේ ලියකියවිලි ද පුද පූජා සම්බන්ධ රජවරුන්ගේ ලියුම් ද එක්රැස් කළ අන්දම ගැන ලේඛනවල සහ නෙහෙමියාගේ ජීවිත සටහන් පිළිබඳ කෘතියේ වාර්තා කර තිබිණි. 14 එලෙස ම මෑත කාලයේ දී වූ යුද්ධයේ දී විසුරුවා දමනු ලැබූ ග්‍රන්ථ සියල්ල ම ජූදස් විසින් එකතු කරන ලදී. ඒවා අප අතර තවමත් තිබේ. 15 ඔබට ඒවායින් යමක පිටපත් වුවමනා නම් ඒවා ලබාගැනීම සඳහා කෙනෙකු එවන්න.

කැප කිරීමේ උත්සවයට ඇරයුම

16 අවසන් කොට, දැන් අප දේව මාලිගාවේ පවිත්‍ර වීමේ මංගල්‍යය පැවැත්වීමට සූදානම් බැවින් ඔබ ද එම මංගල්‍ය දිනයන් පවත්වන ලෙස ඉල්ලා ඔබ වෙත ලියා එවන්නෙමු. 17 ස්වකීය සෙනඟ මුළුමනින් ම මිදූ දෙවියන් වහන්සේ ව්‍යවස්ථාව මඟින් පොරොන්දු වූ ලෙස සියල්ලන් මත සිය උරුමය ද රාජ්‍යය ද පූජකවරය ද ශුද්ධවන්තකම ද දානය කරමින්, උන් වහන්සේ තුළ අපගේ බලාපොරොත්තුව තබන පරිදි උන් වහන්සේ අප හට සැබැවින් ම කඩිනමින් දයාව පෙන්වන සේක. 18 එලෙස දයාව පෙන්වා මහ නපුරෙන් අප මුදා දේව මාලිගාව පවිත්‍ර කොට ඇති බැවින් උන් වහන්සේ මිහි පිට හැම තැනින් ම අතිශුද්ධස්ථානයට අප එකතු කරන සේක.

සම්පාදකගේ පෙර වදන

19 ජූදස් මකබියස් සහ ඔහුගේ සහෝදරයන් පිළිබඳ ඉතිහාසය ද මහා දේව මාලිගාව පවිත්‍ර කිරීම ද පූජාසනය කැප කිරීම ද සයිරින්හි ජේසන් විසින් ලියන ලද ග්‍රන්ථ පහක ඉදිරිපත් කරන ලදී. 20 ඇන්ටිඕකස් එපිපානෙස් සහ ඔහුගේ පුත්‍රයා වන යූපාටෝර් සමඟ කරන ලද යුද්ධ ද ජුදා ජාතිය සඳහා වීර වික්‍රමාන්විත ලෙසින් තරඟ කරමින් සටන් කළ අයට අහසින් පෙනුණු දර්ශන ද ඔහු ඒවායේ විස්තර කර ඇත. 21 ඔවුන් ස්වල්ප දෙනෙකු වූ නමුත් ඔව්හු මුළු රට විනාශ කළ විදෙස් පිරිස් පලවාදැමූ හ. 22 ඔව්හු ලෝක ප්‍රසිද්ධ දේව මාලිගාව ප්‍රතිසංස්කරණය කොට ජෙරුසලම් නගරය නිදහස් කොට, අවලංගු වීමට ගිය ව්‍යවස්ථාවන් යළිත් ස්ථාපිත කළහ. ඔවුන් මේ සියල්ල කෙළේ සමිඳාණන් වහන්සේ ඔවුන්ට දයාව පෙන්වා කරුණාභරිත වූ බැවිනි.
23 සයිරින්හි ජේසන් විසින් ලියන ලද ග්‍රන්ථ පහේ සඳහන් කරුණු සියල්ල සාරාංශයක් වශයෙන් එක ග්‍රන්ථයක් මඟින් දීමට මම උත්සාහ කරමි. 24 මේ ඉතිහාසයේ කථා වස්තූන් තේරුම්ගැනීමට කැමැති අයට ඒවායේ කරුණුවල බහුලත්වය නිසා ඇති වන දුෂ්කරතාව ද ඒවායේ සංබ්‍යා ලේඛන රාශිය ද මම මැනවින් වටහාගතිමි. 25 රසාස්වාදය පතා කියවන අයගේ විනෝදය සඳහාත් ඒවායේ කරුණු මතකයේ තබාගැනීම අවශ්‍ය වන සිසුන්ගේ පහසුව සඳහාත් කලාතුරකින් කියවන පාඨකයාගේ පවා ප්‍රයෝජනය සඳහාත් ක්‍රියා කිරීමට මම වෑයම් කෙළෙමි. 26 මේ සාරාංශය පිළියෙළ කිරීම සඳහා මා භාරගත් වගකීම සුළුපටු නොවේ. එය ඉටු කිරීම සඳහා වෙහෙස මහන්සි දරමින් මැදියම් රැය දක්වා කාලය වැය කෙළෙමි. 27 රාත්‍රියේ භෝජන සංග්‍රහයක් පිළියෙළ කොට අමුත්තන් තෘප්තිමත් කරවීමට අදහස් කරන යමෙකුට එම වගකීම පහසු එකක් නොවන්නා සේ ම, මා භාරගත් කටයුත්ත ද ලේසි පහසු එකක් නොවේ. එසේ වුවත් පාඨකයන්ගේ පොදු යහපත සඳහා මෙම දුෂ්කර කාර්යය මම ප්‍රීතියෙන් භාරගතිමි. 28 සුළු දේවල් සම්බන්ධ ව විස්තරාර්ථ සාකච්ඡා කිරීම ඓතිහාසික කර්තෘවරයන්ට භාර කොට, මාගේ කටු සටහනේ ප්‍රධාන විෂයයන් ගැන මම මාගේ අවධානය යොමු කරමි. 29 ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගෙයක් ගොඩනඟන විට ඔහු මුළු ගොඩනැඟිල්ල වෙත ම තම අවධානය යොමු කළ යුතු ය. එහෙත් බිත්ති පින්තාරු කරන ශිල්පියා කළ යුත්තේ ඒවායේ විචිත්‍රතාව සඳහා අවශ්‍ය දේ සොයාගැනීම පමණකි. මාගේ කටයුත්ත ද එලෙස යයි මම නිගමනය කරමි. 30 ඉතිහාසයක මුල් කර්තෘවරයාට පැවරෙන කොටස නම් එහි මුළු ක්ෂේත්‍රය ම තේරුම්ගෙන පුළුල් ලෙස සාකච්ඡා කොට සුළු කරුණු ගැන පවා හොඳින් සැලකිලිමත් වීම ය. 31 සාරාංශයක් ලියන තැනැත්තා කළ යුත්තේ අඩංගු කරුණු සම්බන්ධ ව මුළුමනින් ම විස්තරාර්ථ නො දී ලුහුඬු වාක්‍ය විධි උපයෝගි කරගැනීම යි.
32 එබැවින් මම අමුතු යමක් එකතු නොකොට මගේ වෘත්තාන්තය ආරම්භ කරමි. ඉතිහාසයට දිග පෙර වදනක් ලියා ඉතිහාසයේ කරුණු අඩු කිරීම මො‍්ඩ වැඩකි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW