2 මකබි – 15 වන පරිච්ඡේදය –

නිකනෝර්ගේ දේවාපහාසය

1 ජූදස් සහ ඔහුගේ සෙනඟ සමරියාවට කිට්ටු ප්‍රදේශයෙහි සිටින බව නිකනෝර්ට සැළ විය. එබැවින් ඔහු අනතුරකට මුහුණ නො පා සබත් දවසේ දී ඔවුන්ට පහර දීමට තීරණය කරගත්තේ ය. 2 බල කිරීම නිසා ඔහු අනුව ගිය ඒ ජුදෙව්වරු ඔහුට කතා කොට, ”මෙතරම් රළු ලෙස හා වනචර ලෙස ඔබ ඔවුන් ඝාතනය නොකළ යුතු ය. සියලු දේ දකිමින් සමිඳාණන් වහන්සේ ඒ දවසට විශේෂ ශුද්ධත්වයක් දී තිබෙන නිසා ඔබ ද ඊට නිසි ලෙස ගරු කළ යුතු ය”යි කීවෝ ය. 3 ඒ ඇසූ මේ සාහසික දුෂ්ටයා කතා කොට, ”සබත් දවස පැවැත්වීමට අණ කළ පරමො‍්ත්තමයාණන් කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක් දැ”යි විචාළේ ය. 4 ”සබත් දවස පැවැත්වීමට අණ කෙළේ ස්වර්ගීක පරමො‍්ත්තමයාණන් වන ජීවමාන සමිඳාණන් වහන්සේ ම ය”යි ඔවුන් පිළිතුරු දුන් විට, 5 ඔහු නැවතත් කතා කරමින්, ”මිහි පිට සිටින පරමො‍්ත්තමයාණන් වන මම රාජකීය සේවය සඳහා අවිආයුධ ගන්නා ලෙස ඔබට අණ කරමි”යි කීවේ ය. කෙසේ වුවත් ඔහුගේ දරුණු සැලසුම ක්‍රියාත්මක කිරීම තවදුරටත් සාර්ථක නොවූයේ ය.

ජූදස්ගේ සිහිනය

6 නිකනෝර් තමාගේ අසීමිත ගර්වයෙන් මහත් සේ උදම් වී, ජූදස් සහ ඔහුගේ සෙනඟගෙන් ගන්නා ලද කොල්ලයෙන් ප්‍රසිද්ධ ස්මාරකයක් ඉදි කිරීමට කල්පනා කරන විට, 7 ‘සමිඳාණන් වහන්සේ තමන්ට ආධාර කරන සේකැ’යි මකබියස් ස්ථිර අධිෂ්ඨානයකින් සිටියේ ය. 8 විජාතිකයන්ගෙන් ලබන පහර නිසා වියවුල් වී නොසිටින ලෙසත්, යටගිය කාලයේ දී ස්වර්ගයෙන් ලත් පිහිට ගැන සිහි කරමින්, සව් බලැති සමිඳාණන් වහන්සේගේ උපකාරය ඇති ව මේ වතාවේත් ඔවුන් ජයග්‍රහණය කරන බවට ස්ථිර විශ්වාසයෙන් යුක්ත ව සිටින ලෙසත් ඔහු තමාගේ සෙනඟගෙන් ඉල්ලා සිටියේ ය. 9 තවදුරටත් ඔහු ව්‍යවස්ථාවලියෙන් සහ දිවැසාවලියෙන් උධෘත පාඨ ගෙන හැර දක්වමින්, ඔවුන්ට අලුත් සිතක් දී, මෙතෙක් ජයලත් සටන් ගැන සිහිපත් කරවමින් ඔවුන් නවතාවයෙන් ප්‍රබෝධවත් කෙළේ ය. 10 මෙලෙස ඔහු ඔවුන්ගේ, ධෛර්යය හොඳට ම පණගන්වා විජාතිකයන්ගේ ද්‍රෝහිකම් ද ඔවුන් කළ පොරොන්දු කඩ කිරීම් ද විස්තර කොට තමාගේ කතාව අවසන් කෙළේ ය.
11 පලිහෙන් සහ හෙල්ලයෙන් ලැබෙන රැකවරණයට වඩා උදාරතර කතාවකින් මතු වන උද්‍යෝයෝගයෙන් ඔවුන් ශක්තිමත් කරවා, නව දර්ශනයක් හා සමාන පැහැදිලි සිහිනයක් ඔවුන්ට විස්තර කර දී, ඔහු ඔවුන් සියලු දෙනා ධෛර්යවත් කරවූයේ ය.
12 ඔහු දුටු දර්ශනය මෙවැන්නක් විය: ”එනම්, කලින් සිටි නායක පූජකයා වූ ද ආදර්ශවත් මිනිසෙකු වූ ද නිහතමානී කාරුණික කෙනෙකු වූ ද කතාවෙහි චතුර, ළමා වියෙහි පටන් ම හැම යහපත් ගුණ දහමක් ම පුරුදු පුහුණු කළ අයෙකු වූ ද, ඔනියස්ව ඔහු සිහිනයෙන් දිටී ය. ඔනියස් සිටියේ තම දෑත් දිගු කරගෙන මුළු ජුදා ජාතිය වෙනුවෙන් යාච්ඤා කරමින් ය. 13 ඊළඟට ඔහුගේ දර්ශනයට සමාන ව වයෝවෘද්ධ බවින් හා ගරුත්වයෙන් යුතු කෙනෙක් දර්ශනය විය. මොහු තුළ පුදුම එළවන සිත්ගන්නා සුලු තේජස් ලීලාවක් විය. 14 ඕනියස් කතා කරන්නට පටන්ගෙන මේ මනුෂ්‍යයා වනාහි ඔහුගේ සහෝදරයන්ට ප්‍රේම කරන්නාවූ ද ශුද්ධ නගරයත් ජනතාවත් උදෙසා බොහෝ සේ යාච්ඤා කරන්නාවූ ද කෙනෙකි. මොහු නම් දෙවියන් වහන්සේගේ දිවැසිවරයා වන, ජෙරමියා ය”යි කීවේ ය. 15 එවිට ජෙරමියා තම දකුණත දිගු කොට ජූදස්ට රන් කඩුවක් තෑගි කෙළේ ය. ඔහු එය තෑගි කරමින්, 16 ”මේ ශුද්ධ කඩුව දෙවියන් වහන්සේගෙන් ලැබෙන තෑග්ගක් මෙන් පිළිගන්න. ඔබ මෙයින් සතුරන්ට පහර දෙන්නෙහි ය”යි කීවේ ය.

භටයන්ගේ සංවිධානය

17 ඔවුන්ට අමුතු බල වේගයක් කාවැද්දීමටත් මුහුකුරාගිය මිනිසුන්ගේ ශක්තිය මේ තරුණයන්ට දීමටත් හැකි වූ ජූදස්ගේ උදාරතර කතාවෙන් දිරි ගන්වනු ලැබූ සෙනඟ, කඳවුරු නොබැඳ, ඔවුන්ගේ නගරයත් ශුද්ධ ආගමත් දේව මාලිගාවත් අන්තරාවට මුහුණ පා තිබූ නිසා, නිර්භීත ව පහර දෙමින් මුළු ධෛර්යය යොදා මුහුණට මුහුණ ලා සටන් කොට යුද්ධය අවසාන කිරීමට තීරණය කරගත්හ. 18 ඔව්හු ඒ අවස්ථාවේ දී තමන්ගේ අඹුදරුවන් ගැන වත් සහෝදරයන් සහ නෑදෑයන් ගැන වත් වැඩිපුර නොසැලකූ හ. ඔවුන්ට වඩා මහත් බියක් ඇති වූයේ ආලේප කරන ලද දේව මාලිගාව නිසා ය. 19 නගරයේ ඉතිරි කරනු ලැබූ අය තුළ ද එළිමහනේ කරන්නට යන සංග්‍රාමය නිසා කුතුහලයක් ද සන්ත්‍රාසයක් ද ඇති විය. 20 සියල්ලෝ ම සිදුවන්නට යන දේ ගැන බලා සිටියා හ. සතුරා ද ඔවුන්ගේ හමුදා හොඳින් සංවිධානය කොට, ඇත් සේනාව යුද්ධය පිළිබඳ වැදගත් ස්ථානයක ද අස් සේනාව දෙපැත්තේ ද සිටුවා, සටනට සූදානම් ව සිටියේ ය. 21 තමාට මුහුණ ලා සිටි මේ මහා සෙනඟ ද සන්නද්ධ සන්නාහවල දිස්නය ද හස්තීන්ගේ ප්‍රචණ්ඩ බැල්ම ද දුටු මකබියස් සටන දරුණු එකක් විය හැකි බව තේරුම්ගත්තේ ය. එවිට ඔහු ස්වර්ගය දෙසට තම දෑත් ඔසවා, සමිඳාණන් වහන්සේට සුදුසු යයි අභිමත වන විට එතුමාණන් ජයග්‍රහණය දෙන්නේ එය ඔබින අයට මිස යුද්ධෝපකරණ මඟින් නොවන බව දැනගෙන, හාස්කම් පානා උන් වහන්සේට යාච්ඤා කෙළේ ය. 22 ඔහුගේ යාච්ඤාව මෙසේ විය: ”හිමිතුමෙනි, ජුදයාවේ රජ වූ හෙසෙකියාගේ කාලයෙහි දී ඔබ වහන්සේ තමන් දූතයා යවා සෙනකෙරිබ්ගේ හමුදාවෙන් එකසිය අසූ පන්දහසක් පමණ සෙනඟ විනාශ කරදැමූ සේක. 23 ස්වර්ගයේ පරමො‍්ත්තමයාණන් වහන්ස, දැනුත් තවත් වරක් සන්ත්‍රාසය සහ වියවුල පතුරුවාලීම සඳහා අප ඉදිරියට යහපත් දූතයෙකු එවනු මැනව. 24 මේ මිනිසුන් දේවාපහාස කියමින් ඔබගේ ශුද්ධ සෙනඟට පහර දීමට පැමිණ සිටින බැවින් ඔබගේ බාහු බලයෙන් ඔව්හු විනාශ වී යෙත් වා!” මෙසේ කියා ඔහු තම යාච්ඤාව අවසන් කෙළේ ය.

නිකනෝර්ගේ පරාජය සහ මරණය

25 නිකනෝර් ද ඔහුගේ හමුදාව ද හොරණෑ හඬත් රණ ගීවල තාලයත් අනුව ඉදිරියට ගමන් කරන්නට වූ හ. 26 එහෙත් ජූදස් සහ ඔහුගේ හමුදාව සතුරා ඉදිරියට ගියේ යාච්ඤා කරමින් සහ ගීතිකා ගායනා කරමිනි. 27 ඔවුන් දෑතින් සටන් කරමින් ඒ අතර ම සිතින් දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් සිටි හෙයින්, ඔව්හු එම සටනේ දී තිස් පන් දහසක් දෙනා මරාදැමූ හ. මෙලෙස දේව මැදහත්වීම නිසා ඔව්හු අතිශයින් ප්‍රීතියට පැමිණියෝ ය. 28 සටනට පසු විජයග්‍රාහී ව ආපසු යමින් සිටි ඔව්හු සන්නාහ සන්නද්ධ ව මියගොස් සිටි නිකනෝර් හඳුනාගත් හ.
29 ඔව්හු කෑගසමින් ද සෑම අතින් ම කුල්මත් වෙමින් ද තමන්ගේ මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් කතා කරමින්, පරමො‍්ත්තම සමිඳාණන් වහන්සේට ස්තුති කළහ. 30 තමාගේ මුළු ජීවිත කාලය තුළ ම සිය දේශවාසීන්ට කැප වී සිටියා වූ ද තම ජාතිය කෙරෙහි තරුණවියේ පටන් ම ඉමහත් ප්‍රේමයකින් යුක්ත ව සිටියා වූ ද ජූදස් නමැති ඒ මනුෂ්‍යයා නිකනෝර්ගේ හිස ද උරහිස සමඟ අත ද කපාගෙන ජෙරුසලමට ගෙන යාමට අණ කෙළේ ය. 31 ඔහු එහි පැමිණි විට තම දේශවාසීන් කැඳවා, පූජාසනය ඉදිරියේ පූජකයින් රඳවා නගර බලකොටුවේ සිටි සෙනඟටත් එහි එන්න කියා පණිවුඩ යැවී ය. 32 ඉන්පසු ඔහු අතිදුෂ්ට නිකනෝර්ගේ හිස ද සව් බලැති තැනැන් වහන්සේගේ සුවිශුද්ධ ගෘහයට විරුද්ධ ව අහංකාර ලෙස දිගු කළ ඒ දේවාපහාසකරුවාගේ අත ද ඔවුන්ට පෙන්වී ය. 33 ඔහු මෙසේ පෙන්වා, ඒ අභක්තික නිකනෝර්ගේ දිව කපා එයින් ටික ටික පක්ෂීන්ට දීමටත්, ඔහුගේ සිරුරේ ඉතිරි කොටස, ඔහුගේ උමතුකමේ ප්‍රතිවිපාකය වශයෙන්, දේව මාලිගාව ඉදිරියෙහි එල්ලා තැබීමටත් අණ කෙළේ ය. 34 මෙය දුටු සියල්ලෝ ස්වර්ගය දෙසට නෙත් ඔසවා මහිමාන්විත සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, ”තමන් වහන්සේගේ වාසභවනය නොකෙලෙසන පිණිස එය ආරක්ෂා කරගත් තැනැන් වහන්සේට ප්‍රශංසා වේ වා!”යි කී හ.
35 තවද ඔහු සමිඳාණන් වහන්සේගෙන් ලැබෙන ආධාරයේ පැහැදිලි ප්‍රකට සංකේතයක් වශයෙන්, නිකනෝර්ගේ හිස නුවර බලකොටුවෙහි එල්ලාදැමී ය. 36 කවදාවත් එම දිනය අමතක නොකළ යුතු ය කියාත්, මොර්දෙකයිගේ දිනයට පෙර දින වූ, අරමීය භාෂාවෙන් අදාර් ය යි කියනු ලබන, දොළොස් වන මාසයේ දහතුන් වන දින එම උත්සවය පැවැත්විය යුතු ය කියාත් ඒකමතික ඡන්දයෙන් පණත සම්මත විය.

සම්පාදකගේ අවසාන වචන

37 නිකනෝර් පිළිබඳ පුවත මෙතැනින් අවසාන වේ. ඒ කාලයේ පටන් නගරය හෙබ්‍රෙව්වරුන් සතු ව පැවති නිසා මම ද මගේ කාර්යය මෙයින් හමාර කරමි. 38 මටත් අවශ්‍ය වූයේ අනවශ්‍ය දේවල් නැති ව මෙය හොඳින් රචනය කිරීමයි. 39 තනිකර මිදියුස පානය කිරීම හො‍් තනිකර වතුර පානය කිරීම හො‍් හානිකර නමුත්, වතුර මිශ්‍ර මිදියුස මිහිරි ප්‍රීතිජනක සැපදායක තත්ත්වයක් ඇති කරන්නා සේ මෙම කරුණු ඉදිරිපත් කිරීමේ නිපුණත්වය, කතාව කියවන පාඨකයන් තුළ මනා අවබෝධයක් ඇති කරවයි. මේ කරුණත් සමඟ මම මේ කතාව මෙයින් අවසන් කරමි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW