2 මකබි – 14 වන පරිච්ඡේදය –

නායක පූජක ඇල්සිමස් මැදහත් වීම

1 මීට අවුරුදු තුනකට පසු ව, සෙලෙවුකස්ගේ පුත් දෙමෙත්‍රියස් බලසම්පන්න හමුදාවක් සහ නාවුක බළ ඇණියක් සමඟ ත්‍රිපෝලිස් වරායට පැමිණි බවත්, 2 ඔහු රට අල්ලාගෙන ඇන්ටිඕකස් ද ඔහුගේ ආචාර්යවරයා වූ ලිසියස් ද මරාදමා තිබෙන බවත්, ජූදස් සහ ඔහුගේ පිරිසට දැනගන්ට ලැබුණේ ය. 3 ඊට කලින් කැරලි පැවතුණු කාලයෙහි සිටි එක්තරා නායක පූජකයෙකු වූ මේ ඇල්සිමස් තෙමේ තමා විසින් ම කෙලෙසාගෙන සිටි අයෙකි. කුමන පක්ෂයකින් වත් තමාට ආරක්ෂාවක් නැති බව තේරුම්ගත් ඔහුට තවත් ශුද්ධ පූජාසනය වෙත යාමට පුළුවන්කමක් නැති බව ද තේරුම්ගෙන 4 වර්ෂ එකසිය පණස් එකේ දී දෙමෙත්‍රියස් රජු වෙත ගොස්, දේව මාලිගාවේ පාරම්පරික ඔලීව අතු සමඟ ස්වර්ණ කිරීටයක් රජුට තෑගි කෙළේ ය. එදින ඔහු නිහඬ ව සිටියේ ය.
5 එහෙත් පසු අවස්ථාවක දී ඔහු තමාගේ දුෂ්ට අදහසට සරිලන පිළිවෙළක් සොයාගත්තේ ය. දෙමෙත්‍රියස් රජ තමාගේ රාජ සභාවට ඔහු කැඳවා ජුදෙව්වරුන්ගේ ගතිපැවතුම් සහ අදහස් උදහස් ගැන ඔහුගෙන් විචාළේ ය. එවිට ඔහු උත්තර දෙමින්, 6 ”ජූදස් මකබියස් විසින් මෙහෙයවනු ලබන හසිදෙයින්වරු යයි නම් ලත් ජුදා ජාතිකයෝ කලබලකාරී කැරලිකරුවෝ ය. ඔව්හු රාජ්‍යයේ චිරස්ථිතිය වළක්වති. 7 නායක පූජක පදවිය වන මාගේ පාරම්පරික උතුම් තත්ත්වයෙන් මා පහකරනු ලැබූ පසු, මා දැන් මෙහි පැමිණ සිටින්නේ ඒ නිසා ය. 8 පළමුකොට රජුගේ සෞභාග්‍යය සඳහා මාගේ ඇති අවංක සැලකිල්ල නිසාත්, දෙවනු ව අපගේ පුරවැසියන්ගේ යහපත නිසාත් මම එසේ කෙළෙමි. මන්ද, මා දැන් සඳහන් කළ ඒ අයගේ වගකීමක් නැති ක්‍රියා කලාපය නිසා අපගේ මුළු ජාතිය ම මහා ප්‍රපාතයකට වැටී සිටී. 9 මහානුභාව සම්පන්න ඔබතුමා මේ සියල්ල ගැන සලකා බලා, සියල්ලන් කෙරෙහි ඔබ දක්වන මහා කරුණාව පෙරදැරි කරගෙන, අපේ රටේත් අපේ පීඩිත ජනතාවගේත් සෞභාග්‍යය සඳහා අවශ්‍ය සියල්ල සපයනු පිණිස ඔබ අභිමත දෙයක් කළ මැනව. 10 මන්ද, ජූදස් ජීවත් වී සිටින තෙක් කිසිදාක රජය නම් සාමය භුක්ති නොවිඳිනු ඇතැ”යි කීවේ ය.
11 ඇල්සිමස් මෙසේ කතා කර අවසන් කළ පසු, ජූදස්ට වෛර කළ, රජුගේ මිත්‍රපාක්ෂිකයන්ගෙන් ඉතිරි අය ද ඔහුට විරුද්ධ ව දෙමෙත්‍රියස්ගේ කෝපය ඇවිස්සීමට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්හ. 12 ඔහු විගස ඇත් සේනාවේ සෙන්පති වූ නිකනෝර් තෝරාගෙන ජුදයාවේ යුද කොමසාරිස්වරයා හැටියට ඔහුගේ නිල පදවිය උසස් කොට, 13 ජූදස් මරා දමා ඔහුගේ අනුගාමිකයන් විසුරුවා හැර, උතුම් දේව මාලිගාවේ නායක පූජකයා ලෙස ඇල්සිමස් පත් කරන ලෙස උපදෙස් දී ඔහු යැවී ය. 14 ජුදෙව්වරුන්ට වන ආපදාවලින් සහ කම්කටොලුවලින් තමන්ට ම යහපතක් සිදු වෙති යි යන බලාපොරොත්තුවෙන් ජූදස්ට බියෙන් පලා ගොස් සිටි, ජුදයාවේ විජාතිකයෝ ද රාශිභූත වී නිකනෝර්ට එකතු වූ හ.

නිකනෝර් සහ ජූදස්

15 නිකනෝර්ගේ පැමිණීම ගැනත්, තමන්ට පහර දීමට විජාතිකයන් සැරසෙන අන්දම ගැනත් ඇසූ ජුදෙව්වරු තමන්ගේ ඇඟපතෙහි අළු තවරාගෙන, තමන් වහන්සේගේ සෙනඟ සදහට ම ස්ථාපිත කොට වදාළා වූ ද තමන් වහන්සේගේ උරුමයට සහාය වීමට මැදහත්වන්නා වූ ද තැනැන් වහන්සේට යාච්ඤා කළහ. 16 ඔව්හු තම නායකයාගේ අණ පිට තමන් සිටි ස්ථානයෙන් වහා ම පිටත් වී ගොස් දේස්සව් නම් ග්‍රාමයේ සිටි සතුරාට පහර දුන්නෝ ය. 17 ජූදස්ගේ සහෝදරයා වූ සීමොන් නිකනෝර් සමඟ සටන් කර තිබිණි, එහෙත් විරුද්ධවාදීන්ගේ හදිසි පැමිණීම නිසා ඔහු සුළු ලෙස පරාජය ලැබී ය. 18 ජූදස් සහ ඔහුගේ පිරිසගේ නිර්භීතකම ගැනත් ඔවුන්ගේ රට උදෙසා ඔවුන් නිතර ම ධෛර්යය වත් ව සටන් කළ අන්දම ගැනත්, නිකනෝර් අසා තිබිණි. එබැවින් ලේ සිඳ හෙළා කාරණය ගැන තීරණයකට එළඹීමට ඔහු අකමැති විය. 19 එසේ හෙයින්, ජුදෙව්වරුන් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගැනීමටත් අනිත් පක්ෂයේ කොන්දේසි පිළිගැනීමටත් තමා කැමැති බව දන්වමින් ඔහු ඒ සඳහා පොසිදෝනියස්, තියෝඩොටස් සහ මත්තතියස් යන අය පිටත් කර යැවී ය.
20 ඔහුගේ කොන්දේසි හොඳින් සලකා බැලීමෙන් පසු, නායකයා ඒ සියල්ල තම සේනාවන්ට දැන්වී ය. ඔවුන් සියල්ලන් ම පැහැදිලි ලෙස ම ඒ ගැන ඒකමතික ව සිටි බැවින් ඔව්හු ගිවිසුමට එකඟ වූ හ. 21 ඉන්පසු දෙපක්ෂයේ නායකයන් පෞද්ගලික ව ඔවුනොවුන් හමු විය හැකි දිනය නියම කරගත්හ. දෙපක්ෂයේ අය දෝලා දෙකකින් පැමිණි පසු ආසන සූදානම් කරන ලදී. 22 එහෙත් සතුරා විසින් කරනු ලැබිය හැකි කිසි යම් හදිසි ද්‍රෝහි පහර දීමක් වුවහොත් එයට මුහුණ දෙන පිණිස, ජූදස් ඔහුගේ සන්නාහ සන්නද්ධ භට පිරිස් ප්‍රයෝජනවත් ස්ථානවල නවතා තිබිණි. නායකයෝ ද සම්මන්ත්‍රණය පවත්වා සම්මුතියකට පැමිණියෝ ය. 23 නිකනෝර් ද ජෙරුසලමෙහි පදිංචි වූ නමුත් එහි දී නීති විරො‍්ධී කිසිවක් නොකෙළේ ය. ඔහු වෙත රැස් වූ පිරිස් පවා ඔහු යන්නට හැරියේ ය. 24 ඔහු ජූදස් තමා ළඟ ම තබාගත්තේ ය. 25 විවාහ වී දරුපල ලබාගන්නා ලෙසත් ඔහු ජූදස්ට අනුබල දුන්නේ ය. ජූදස් ද විවාහයක් කරගෙන ගෙදරක පදිංචි වී සාමාන්‍ය ජීවිතයක් ගත කෙළේ ය.

අනතුරු ඇඟවීමක්

26 ජූදස් සහ නිකනෝර් කොපමණ මිත්‍ර ව සිටිත් ද යන්න ඇල්සිමස් දුටු විට, ඔහු ඔවුන් විසින් අත්සන් තබන ලද ගිවිසුමේ පිටපතක් ද රැගෙන දෙමෙත්‍රියස් වෙත ගොස්, නිකනෝර් රාජ්‍යයේ යහපතට විරුද්ධ ව ක්‍රියා කිරීමට සිතාගෙන සිටින බවත්, රජුගේ මිත්‍ර ගණයේ මීළඟ පුරප්පාඩුව ඇති වූ විට, රාජ්‍යයේ සතුරා වන ජූදස් ඊට පත් කිරීමට සිතාගෙන සිටින බවත් දැන්වී ය.
27 රජ තෙමේ ද කෝපයෙන් දිළිහෙන්නට විය. මේ පරම දුෂ්ටයාගේ මිථ්‍යා අපවාදවලින් ඇවිස්සුණු ඔහු එම ගිවිසුම ගැන තම දැඩි අමනාපය දක්වා, මකබියස්ට මාංචු දමා වහා ම ඔහු අන්තියෝකිය නුවරට එවන ලෙස නිකනෝර්ට ලියා යැවී ය.
28 නිකනෝර්ට ලියුම ලැබුණු විට ඔහු බොහෝ සේ කලබල විය. මන්ද, කිසි ම වරදක් නොකළ මිනිසෙකු සමඟ කළ ගිවිසුම කඩ කිරීම ඔහුට නුරුස්සන සුලු දෙයක් විය. 29 එහෙත් රජුට විරුද්ධ ව සිටීම ඔහුට නොකළ හැකි දෙයකි. එබැවින් කිසි යම් උපාය මාර්ගයකින් රජ අණ ක්‍රියාවේ යෙදවීමට අවස්ථාවක් එන තෙක් ඔහු බලා සිටියේ ය. 30 නිකනෝර් තමාට සලකන ආකාරය තරමක් නපුරු බවත් ඔහුගේ භාෂා විලාශය කලින් තිබුණාට වඩා රළු බවත් තේරුම්ගත් මකබියස් ඔහු මෙවැනි රළු ගතියක් දක්වන්නේ යහපත් චේතනාවකින් නොවන බව තීරණය කරගත්තේ ය. එබැවින් ඔහු තමාගේ අනුගාමිකයන් සෑහෙන ගණනක් එකතු කරගෙන නිකනෝර් වෙතින් ඉවත් වී ගියේ ය.
31 මකබියස් ඉතා දක්ෂ ලෙස තමා රැවටූ බව නිකනෝර් තේරුම්ගෙන පූජකවරුන් සිරිත් පරිදි යාග පූජා ඔප්පු කරන වේලාවේ දී උතුම් දේව මාලිගාවට ගොස් ජූදස් තමාට පාවා දෙන ලෙස ඔවුන්ට අණ කෙළේ ය. 32 අවශ්‍ය මිනිසා කවරෙක් ද කියා තමන් නොදන්නා බව ඔවුන් දිවුරමින් කියා සිටින්නට වූ විට, නිකනෝර් තෙමේ දේව මාලිගාව දෙසට තම දකුණත දිගු කරමින්, ”ජූදස් සිරකරුවෙකු මෙන් ඔබ මට පාවා නොදෙන්නහු නම්, මම දෙවියන් වහන්සේගේ මේ ශුද්ධස්ථානය පොළොවට සමතලා කරදමා, එහි පූජාසනය වනසාදමා, මේ ස්ථානයේ ම දියෝනිසියස් දේවතාව හට මනහර දේවාලයක් ගොඩනංවන්නෙමි”යි කීවේ ය. 33 ඔහු මෙසේ කියා යන්න ගියේ ය. 34 පූජකවරු ස්වර්ගය දෙසට දෑත් ඔසවා තමන්ගේ ජාතිය සඳහා නිතර ම සටන් කළ තැනැන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ. ”සියල්ලට අධිපති වූ කිසිදු දෙයක අවශ්‍යතාවක් නැත්තා වූ ද සමිඳාණන් වහන්ස, අප අතර ඔබට වාසස්ථානයක් වශයෙන් දේව මාලිගාවක් තිබිය යුතු බව ඔබ වහන්සේ අදහස් කළ සේක. 35 එබැවින් දැන් සකල ශුද්ධවන්තකමේ සුවිශුද්ධ සමිඳාණන් වහන්ස, අලුතෙන් පවිත්‍ර කරන ලද මේ ගෘහය සදහට ම දූෂණය වීමෙන් ආරක්ෂා කළ මැනව.”

රාශිස්ගේ මරණය

36 ජෙරුසලමේ සිටි ප්‍රජා මූලිකයන් අතර සිටි රාශිස් නමැත්තෙක් නිකනෝර් ඉදිරියේ චෝදනා ලැබී ය. ඔහු වනාහි තමාගේ දේශවාසීන්ට ප්‍රේම කළ ඔවුන් විසින් ඉතා ඉහළින් අගය කරනු ලැබූ තැනැත්තෙකි. ඔහුගේ කරුණාවන්තකම නිසා, ‘ජුදෙව්වරුන්ගේ පියාණෝ’ යනුවෙන් ඔහු අමතන ලදී. 37 කැරැල්ලේ මුල් අවදියේ දී ජුදා ජාති හිතෛෂියෙකු හැටියට ඔහු වරදට පත් කරන ලදුව ජුදා ජාතිය සඳහා ඉතා උනන්දුවෙන් තමාගේ ජීවිතය වුවත් දීමට ඔහු සූදානම් ව සිටියේ ය. 38 ජුදෙව්වන් කෙරෙහි වූ තමාගේ බද්ධ වෛරය පෙන්වන පිණිස, රාශිස් අත්අඩංගුවට ගැනීමට නිකනෝර් තෙමේ යුද්ධ භටයන් පන්සියයක් පිටත් කර යැවී ය. 39 ඔහු මරාදැමුවහොත් ජුදෙව්වරුන්ට එයින් මරු පහරක් වදිනු ඇතැ යි ඔහු කල්පනා කෙළේ ය. 40 හමුදාවන් කොත අල්ලාගැනීමට සූදානම් වී රජ වාසල දොරටුව බිඳදමමින්, දොරටුවට ගිනිලෑමට ගින්දර ගෙන ඒමට කෑගසද්දී, හැම අතින් ම වට කරනු ලැබ සිටි රාශිස් තෙමේ සිය කඩුව මත වැටී මැරෙන්නට සූදානම් විය. 41 මේ දුර්ජනයන්ගේ ග්‍රහණයට අසුවීමෙන් තම උතුම් කුලයට නොහොබිනා අවමන් විඳිනවාට වඩා, උදාර ලෙස මියයාමට මෙලෙස ඔහු අධිෂ්ඨාන කරගත්තේ ය. 42 එහෙත් සටන් උග්‍රතාවය නිසා ඔහු කඩු මුවහතට නොවැටිණි. හමුදාවන් දොරටුවෙන් ඇතුළට පීරාගෙන එන විට ඔහු කඩිසර ලෙස පවුරට නැඟී නිර්භීත ලෙස හමුදා භටයන් අතරට පැන්නේ ය. 43 එහෙත් හමුදා භටයන් ක්ෂණික ව මඳක් අයින් වූ හෙයින් ඔහු වැටුණේ හිස් ස්ථානයකට ය. 44 මේ නිසා ඔහු භයානක ලෙස තුවාළ ලබා හැම අතින් ම ලේ විදිමින් සිටි නමුත්, තවමත් පණ තිබුණු ඔහු ආයාසයෙන් නැඟිට කෝපයෙන් දිළිහෙමින් සෙනඟ මැදින් දිව ගියේ ය. 45 ඉන්පසු ඔහු උස පර්වතයක් උඩට නැඟගත්තේ ය; ඒ වන විට ඔහුගේ අවසාන ලේ බිංදුව දක්වා ගලා ගොස් තිබුණු නමුත්, ඔහු තමාගේ බඩවැල් ඉරාගෙන ඒවා තම දෑතට ගෙන යම් දිනක තමාට යළි ජීවිතය දෙන ලෙස ජීවිතයේ සහ ප්‍රාණයේ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ඒවා භටයන් අතරට විසි කෙළේ ය. ඔහුගේ මරණය මෙසේ විය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW