2 මකබි – 13 වන පරිච්ඡේදය –

මෙනෙලාවුස්ගේ අවසානය

1 ඇන්ටිඕකස් යුපාතෝර් ජුදයාවට විරුද්ධ ව සේනාවක් රැගෙන එන බව ද, 2 ඔහු සමඟ ඔහුගේ ආචාර්යවරයා සහ අමාත්‍යවරයා වූ ලිසියස් සිටින බව ද, වර්ෂ එකසිය හතළිස් නවයේ දී ජූදස් සහ ඔහුගේ සෙනඟ දැනගත්හ. ඒ රජ හට එක් ලක්ෂ දහදහක ග්‍රීක ජාතික පාබළ සේනාවක් ද, පන්දහස් තුන් සියයක අශ්ව සේනාවක් ද විසි දෙකක ඇත් සේනාවක් ද තුන් සියයක දැති යොදන ලද රථ සේනාවක් ද වූ හ.
3 මෙනෙලාවුස් ද ඔවුන්ට පක්ෂ විය. තවද, ඔහු තම රටේ සෞභාග්‍යය නිසා නොව, තම නිලයෙහි තමා අනුමත කරනු ලැබ සිටීමේ බලාපොරොත්තුවෙන් යුක්ත ව, ඉතා කපටි ලෙස ඇන්ටිඕකස් ධෛර්යවත් කරවමින් සිටියේ ය. 4 එහෙත් රාජාතිරාජයාණෝ මේ පාපිෂ්ට කාලකණ්ණියාට විරුද්ධ ව ඇන්ටිඕකස්ගේ කෝපය ඇවිස්සූ හ. තවද, කරදර සියල්ලට ම මුල වූයේ මෙනෙලාවුස් බව ලිසියස් රජතුමාට පැහැදිලි කර දෙනු ලැබූ විට, ඔහු අල්ලාගෙන බෙරෙයාවට ගෙන යන ලෙසටත් එහි දී ඒ ප්‍රදේශයේ පවතින ක්‍රමය අනුව ඔහු මරාදමන ලෙසටත් එතුමා අණ කෙළේ ය. 5 ඒ ස්ථානයේ මීටර් විසි තුනක් උස කොතක් විය. එය අළුවලින් පුරවා තිබිණි. ඒ කොත මුදුනේ ගැටියේ කවාකාර නිර්මාණයක් විය. එය, කොත ඇතුළට ක්‍රමයෙන් බෑවුම් සහිත ව අළු ගොඩ දෙසට හරවා තිබිණි. 6 යමෙකු ශුද්ධ වූ දෙයක් සොරාගැනීමක් ගැන වරදකරුවෙකු වූ විට හො‍් වෙනත් කිසි යම් අපරාධයක් ගැන ප්‍රසිද්ධියේ වරදකරුවෙකු වූ විට හො‍්, ඔහු කොත මුදුනට ගෙනයනු ලැබ, මරාදැමීම සඳහා එය ඇතුළට තල්ලු කරදමනු ලැබේ. 7 මේ ද්‍රෝහියා මරණයට පත් වූයේ මේ පිළිවෙළට ය. මෙසේ භූමදාන කරනු ලැබීමේ වරම පවා මෙනෙලාවුස්ට අහිමි විය. මෙය සාධාරණ තීන්දුවකි. 8 පූජාසනයේ ගින්න සහ අළු ශුද්ධ දේවල් ලෙස සලකනු ලැබූ නමුත්, ඒ පූජාසනයට විරුද්ධ ව ඔහු බොහෝ පව් කළ බැවින්, ඔහු මරුමුවට පත් වූයේ අළුගොඩක් තුළ ය.

ජුදෙව්වරුන්ගේ ජයග්‍රහණය

9 රජ තෙමේ තම පියාගේ කාලයේ දී සිදු වූ දේවලටත් වඩා දරුණු ලෙස ජුදෙව්වරුන් සම්බන්ධයෙන් ක්‍රියා කරනු පිණිස ඉතා බිහිසුණු අදහස්වලින් තම සිත පුරවාගෙන ඉදිරියට ගියේ ය. 10 මෙය ඇසූ ජූදස් තම සෙනඟට කතා කොට, රෑ දාවල් සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන ලෙසටත්, 11 ඔවුන්ගේ රට ද දේව මාලිගාව ද ව්‍යවස්ථාව ද අහිමි වෙන්න යන මේ භයානක මොහොතෙහි ඔවුන්ට පිහිට වීමට අයැදින ලෙසටත්, යන්තම් හුස්ම ගැනීමට ඉඩක් ලැබුණු මේ අවස්ථාවෙහි දී දේවාපහාසයන් දොඩන විජාතිකයන්ගේ අත්වලට අසු වෙන්ට ඉඩ නොදෙන මෙන් අයැදින ලෙසටත් අවවාද කෙළේ ය. 12 සියල්ලෝ ම ඔහුගේ නියෝගවලට කීකරු වී එකාවන් ව දවස් තුනක් ම මුණින්තලා ව වැඳ වැටී, නොනවත්වා හඬමින් ද, උපවාස කරමින් ද, දයාව පාන සමිඳාණන් වහන්සේට යාච්ඤා කළහ. ඉන්පසු ජූදස් ඔවුන්ට කතා කොට ඔවුන් ධෛර්යවත් කර, තමාට කිට්ටුවෙන් සිටින ලෙස ඉල්ලී ය. 13 ඉන්පසු ඔහු ප්‍රජා මූලිකයන් සමඟ සම්මන්ත්‍රණය කර, රජුගේ හමුදාව ජුදයාව ආක්‍රමණය කොට නගරය අල්ලාගන්නා තෙක් බලා නොසිට හමුදාව සමඟ ගමන් කොට දෙවි පිහිට ඇති ව මුළු ව්‍යාපාරය පිළිබඳ ව තීරණයක් ගැනීමට අධිෂ්ඨාන කරගත්තේ ය.
14 ඔහු, සටනේ ප්‍රතිඵලය ලෝකයේ මැවුම්කාරයාණන්ගේ හස්තයෙහි තබා, ජුදා ව්‍යවස්ථාවන් ද දේව මාලිගාව ද නගරය ද රට ද ඔවුන්ගේ ජීවිත සම්ප්‍රදායය සඳහා මරණය තෙක් නිර්භීත ව සටන් කරන පිණිස ඔහුගේ හේවා භටයන්ට අනුශාසනා කොට මොදෙයින් නම් ස්ථානය අසල ඔහු ස්වකීය හමුදාව නතර කෙළේ ය. 15 ඔහු තම සෙනඟට ”දෙවිඳුන්ගෙන් ජය අත්වේ” යන සටන් පාඨය කියා දී තෝරාගනු ලැබූ නිර්භීත තරුණ පිරිසක් සමඟ රාත්‍රි කාලයේ දී රජුගේ මණ්ඩපයට පහර දුන්නේ ය. පහර දී කඳවුර තුළ දෙදහසක් පමණ සෙනඟ විනාශ කෙළේ ය. ඔහුගේ හමුදාව රජුගේ දැවැන්ත හස්ති රාජයා ද ඇත් ගොව්වා සමඟ ම මරාදැමූ හ. 16 අවසානයේ දී ජයග්‍රාහී ව නික්ම යන්නට පෙර, ඔව්හු මුළු කඳවුර ම භීතියෙන් සහ වියවුලෙන් පිරී යන්නට සැලැස්වූ හ. 17 ජූදස් ආරක්ෂා කරගත් සමිඳාණන් වහන්සේගේ පිහිටෙන් එදින අරුණෝදය නැඟී ඒමත් සමඟ ම මේ සියල්ල අවසාන විය.

ජුදෙව්වරුන් සමඟ ගිවිසුම

18 ජුදෙව්වරුන්ගේ නිර්භීතකම දැනගත් රජ තෙමේ ඉන්පසු ව ඔවුන්ගේ කඳවුරුවලට පහර දීම සඳහා දක්ෂ උපාය මාර්ග උපයෝගි කරගැනීමට උත්සාහ කෙළේ ය. 19 ජුදෙව්වරුන්ගේ ශක්තිසම්පන්න බලකොටුවක් වූ බෙත්-ශූර් නගරයට විරුද්ධ ව රජු ගිය නමුත් ඒ පහරදීම වළකා ඔහු පරාජය කොට පලවා හරින ලදී. 20 ජූදස් තෙමේ ආරක්ෂක භට පිරිසට අවශ්‍ය වූ දේ යැවී ය. 21 එහෙත් ජුදා හමුදාවේ සිටි රොදොකස් නමැත්තෙකු විසින් සතුරාට රහසින් ආරංචි සපයන ලදී. 22 ඔහු අඳුනාගත් පසු අත්අඩංගුවට ගෙන දඬුවම් දෙන ලදී. 23 රජ තෙමේ දෙ වන වරටත් බෙත්-ශූර් සිටි ආරක්ෂක භට පිරිස සමඟ සාකච්ඡා කෙළේ ය. ඔහු මිතුරු ගිවිසුමක් යෝජනා කොට එය පිළිගෙන පසුබැස ගිය නමුත්, ජූදස්ට සහ ඔහුගේ පිරිසට පහර දුන්නේ ය. එහෙත් ඔහු අන්ත පරාජයකට පත් විය. 24 එවිට රාජ්‍ය කටයුතු භාර ව සිටි පිලිප් අන්තියෝකිය නුවර කැරලි ගැසූ බව ඔහුට සැළ විය. මේ නිසා ඔහු අතිශයින් විස්මිත ව ජුදෙව්වරුන් සමඟ මන්ත්‍රණය කොට, තම පරාජය පිළිගෙන සියලු ම සාධාරණ කොන්දේසි අනුව ක්‍රියා කිරීමට පොරොන්දු දුන්නේ ය. ඔහු ගිවිසුමක් කර, පඬුරු පූජා කොට, දේව මාලිගාවට ගෞරවය පිරිනමා, ශුද්ධස්ථානයට වටිනා තෑගිබෝග බොහෝ දුන්නේ ය.
25 ඉන්පසු ඔහු මකබියස් සාදරයෙන් පිළිගෙන, ටොලමයිස් සිට ජෙරනියන්වරුන්ගේ දේශය දක්වා ප්‍රදේශයෙහි යුද කොමසාරිස් වශයෙන් හෙජෙමොනිදෙස් පත්කොට 26 ටොලමයිස් නගරයට ගියේ ය. එම ස්ථානයේ විසූ අය ගිවිසුම අනුමත නොකළහ. ඒ ගැන තමන්ගේ අමනාපය ප්‍රකාශ කළ ඔවුන්ට එහි පණත් අවලංගු කිරීම අවශ්‍ය විය. 27 එවිට ලිසියස් ප්‍රසිද්ධ වේදිකාවට නැඟී එහි පණත්වල වටිනාකම ගැන තරයේ කරුණු දැක්විය; ඉන්පසු ව ඔව්හු පැහැදී සන්සුන් බවට පත් වූ හ. මෙලෙස ඔහු ඔවුන්ගේ හොඳ හිත දිනාගත්තේ ය. ඉන්පසු ඔහු ආපසු අන්තියෝකිය නුවරට හැරී ගියේ ය.
රජතුමාගේ විරුද්ධත්වයත් ඔහුගේ පසුබැසීමත් පිළිබඳ සිද්ධියේ විස්තර මෙසේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW