2 මකබි – 11 වන පරිච්ඡේදය –

ලිසියස්ගේ පළමු වන යුද්ධය

1 මේ සියල්ල අවසාන වනු සමඟ ම, රජුගේ ආචාර්යවරයා වූ ද සහෝදරයා වූ ද අමාත්‍යයා වූ ද ලිසියස් තෙමේ සිදු වූ දේ ගැන කලබල වී 2 අසූ දහසක් පමණ පාබළ සේනාවක් ද, මුළු අශ්ව සේනාව ද එකතු කරගෙන ජුදෙව්වරුන්ට විරුද්ධ ව ගියේ ය. ඔහු අදහස් කෙළේ ශුද්ධ නගරය ග්‍රීක ජාතිකයන්ට වාසය කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමත්, 3 වෙනත් ජාතික සිද්ධස්ථානවලින් අය කරනු ලැබූ අන්දමට ම දේව මාලිගාවෙනුත් බද්දක් අය කර ගැනීමත්, නායක පූජක පදවිය අවුරුදු පතා විකිණීමත් ය. 4 ඔහු තමාගේ දස දහස් ගණන් වූ පාබළ සේනාවත්, දහස් ගණන් අශ්වාරො‍්හක හමුදාවත් අසූවක් පමණ ඇත් හමුදාවත් කෙරෙහි උසස් ලෙස විශ්වාසය තබාගෙන සිටි බැවින්, දෙවියන් වහන්සේගේ බල මහිමය කිසිසේත් ගණනකට නොගත්තේ ය.
5 රජ තෙමේ ජුදයාව ආක්‍රමණය කොට ජෙරුසලමෙන් කිලෝමීටර් තිස් දෙකක් පමණ දුරින් පිහිටි ශක්තිමත් බලකොටුවක් වන බෙත්-ශූර් නගරයට පැමිණ එයට ඉතා තදින් බලහත්කාරකම් කරන්නට පටන්ගත්තේ ය. 6 ලිසියස් බලකොටු වටලන බව මකබියස් සහ ඔහුගේ පිරිස දැනගත් විට ඔව්හු ද ජනතාව ද හඬා වැලපෙමින්, ඉශ්රායෙල්වරුන් ගළවාලීමට දේව දූතයෙකු එවන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කළො‍් ය. 7 අවිආයුධ ගත් පළමුවැන්නා මකබියස් විය. තමන්ගේ සහෝදරයන්ගේ ආධාරයට තමන්ගේ ජීවිත පවා පිදීමට සූදානම් ව තමා සමඟ එන ලෙස ඔහු අනිත් අයගෙන් ඉල්ලා සිටියේ ය. සියල්ලෝ ම එකාමෙන් අධිෂ්ඨානයෙන් බැඳී සටන සඳහා පිටත් වූ හ. 8 ඔවුන් ජෙරුසලමට සමීප ව සිටිය දී ම ඔවුන්ගේ මූලිකයා වශයෙන් සුදු ඇඳුමෙන් සැරසී රන් යුද පැළඳුම් ලෙළවමින් සිටි අසරුවෙක්, දර්ශනය විය. 9 ඔව්හු සියල්ලෝ ම ඒකමතික ව කරුණාවේ දෙවියන් වහන්සේ පැසසූ හ. ඔව්හු කොතරම් මහත් ධෛර්යයකින් පිරී ගියෝ ද යත් මිනිසුන් පමණක් නොව ප්‍රචණ්ඩ වන සතුන් හා අයෝමය ප්‍රාකාර පවා වනසාලන්නට සූදානම් බවත් ඔව්හු දැක්වූ හ. 10 සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ බැවින්, ස්වර්ගීක මිත්‍රයාණන්ගේ ආධාරය ඇති ව, ඔව්හු යුද පෙළපාලියෙන් ඉදිරියට ගමන් ගත්හ. 11 ඔව්හු සිංහයන් මෙන් සතුරන් වෙත පැන, 12 පාබළ හමුදාවෙන් එකොළොස් දහසක් ද අශ්ව හමුදාවෙන් එක් දහස් හය සියයක් ද මරාදමා අනෙක් සියල්ලන් පලවා හැරියෝ ය. ඔවුන් අතර බොහෝ දෙනෙක් තුවාළ ලබා ආයුධ විරහිත ව පැන ගියහ. ලිසියස් ද නීච ලෙස පලා යාමෙන් බේරිණි.

ජුදෙව්වරුන් සමඟ සාමදානය

13 ලිසියස් නැණවත් කෙනෙකු වූ බැවින්, ඔහු තම පරාජය ගැන කල්පනා කොට, බලසම්පන්න දෙවියන් වහන්සේ හෙබ්‍රෙව්වරුන් උදෙසා සටන් කරන බැවින් ඔවුන් පරාජය කළ නොහැකි බව තේරුම්ගත්තේ ය. 14 එබැවින් ඔහු සාධාරණ කොන්දේසි පිට මිත්‍ර ගිවිසුමක් යෝජනා කොට, රජතුමා පවා ඔවුන්ගේ මිත්‍රයා කරවීමට උත්සාහ දරන බවට පොරොන්දු වී ඔවුන්ට ලිපියක් යැවී ය. 15 මකබියස් ද පොදු යහපත ගැන පමණක් සිතා ලිසියස් යෝජනා කළ සියල්ලට ම එකඟ විය. ජුදෙව්වරුන් සම්බන්ධ මකබියස් විසින් ලිසියස්ට ලියන ලද සියල්ල ද රජ තෙමේ දානය කෙළේ ය. 16 ලිසියස් විසින් ලියන ලද ලිපිය මෙය වේ: එනම්,
”සැරදේ වා! ලිසියස්ගෙන් ජුදා ජනතාව වෙතට යි.
17 ඔබගේ තානාපතියන් වන ජොහන් සහ අබ්සලොම්, මෙහි පහත දැක්වෙන නිවේදනය, එහි කොන්දේසි සමඟ අනුමත කරන ලෙස මගෙන් ඉල්ලා මට භාර දී ඇත. 18 රජතුමාගේ අවධානය යොමු කරවීමට අවශ්‍ය යමක් එහි ඇත්නම්, මම එය එතුමන්ට ඉදිරිපත් කර ඇත්තෙමි. මාගේ නීත්‍යනුකූල බලයට අඩංගු වන දේවල් මා ලබා දී ඇත. 19 රාජ්‍ය පරිපාලනය සඳහා ඔබ හොඳ හිත පවත්වාගෙන යන්නහු නම් ඔබගේ යහපත දියුණු කිරීම සඳහා මම ඉදිරියට හොඳින් උත්සාහ කරමි. 20 විස්තර සාකච්ඡා කිරීම සඳහා ඔබේ තානාපතියන්ටත් මගේ නිලධාරීන්ටත් ඔබ සමඟ කතා කිරීමට මා අණ දී ඇත. 21 ඔබ සමෘද්ධිමත් වේ වා. වර්ෂ එකසිය හතළිස් අටේ ඩියොස්කොරොස් මාසයේ විසි හතර වන දින දී ය” යනු යි.
22 රජතුමාගේ ලිපිය මෙසේ විය: ”සැරදේ වා! ඇන්ටිඕකස් රජතුමාගෙන් ඔහුගේ සහෝදරයා වූ ලිසියස් වෙතට යි. 23 අපේ පියාණන් මිය ගොස් දෙවිවරුන් අතර ස්ථානය ඔහුට ලැබී තිබෙන බැවින්, අපගේ කැමැත්ත වනුයේ රාජ්‍යයේ වැසියන් සියල්ලන් නිදහසේ තම තමන්ගේ කටයුතුවල යෙදීමට ඔවුන්ට අවසර දීම ය. 24 ග්‍රීක සිරිත් විරිත් පිළිගැනීම වන අපගේ පියාගේ ප්‍රතිපත්තිය ජුදෙව්වරුන් අනුමත නොකරන බවත්, ඊට වැඩියෙන් ඔවුන් තමන්ගේ ම ජීවිත සම්ප්‍රදායය පවත්වාගෙන යාමට කැමැති බවත්, ඔවුන්ගේ ම ව්‍යවස්ථාවන් අනුගමනය කිරීමට ඔවුන්ට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින බවත්, අප දැනගෙන ඇත. 25 එබැවින්, මේ ජනතාව සෑම හිරිහැරයකින් ම මිදී නිදහසේ ජීවත්වීම අපේ අදහස බැවින් අපේ නියමය නම්: දේව මාලිගාව ඔවුන්ට යළි ප්‍රතිසංස්කරණය කරදීම සහ ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ සිරිත්විරිත් අනුව ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඔවුන්ට ඉඩ දීම ය. 26 ඒ නිසා ඔවුන් අපගේ ප්‍රතිපත්ති දැනගෙන අප කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ කටයුතුවල සතුටින් නිරතවන පිණිස ඔබ ඔවුන් වෙත මිත්‍රත්වයේ දූත පිරිසක් යැවීමට වගබලාගත යුතු ය.” 27 රජතුමා ජුදා ජාතියට යැවූ ලිපියේ මෙසේ සඳහන් විය: ”සැරදේ වා! රජතුමාගෙන්, ජුදා උත්තර මණ්ඩලයට සහ අනික් ජුදෙව් ජනතාව වෙතට යි: 28 ඔබ සැම සුව සේ සිටින්නහු නම් එය අපට ප්‍රීතියකි. අපි ද නීරො‍්ගි ව සිටිමු. 29 ඔබ ආපසු ගෙවල් බලා ගොස් ඔබගේ ම වැඩ කටයුතුවල යෙදීමට කැමැත්තෙන් සිටින බව මෙනෙලාවුස් අප වෙත දන්වා එවා ඇත. 30 එබැවින් සන්තිකස් මාසයේ තිස් වන දිනට කලින් ආපසු යන අයට බිය වීමට කිසි ම හේතුවක් නැති බවට අපි සහතික වෙමු. 31 ජුදෙව්වරුන්ට ඔවුන්ගේ ම කෑම වර්ග පාවිච්චි කිරීමත් කලින් තිබුණාක් මෙන් තමන්ගේ ම ව්‍යවස්ථාව අනුව ජීවත් වීමත් කළ හැකි ය. නොදැනුවත් ව කරන කිසි ම වරදක් සඳහා කෙසේ හො‍් ඔවුන්ගෙන් කිසි ම කෙනෙකුට කරදර නොකළ යුතු ය. 32 ඔබට සිත් සාමදානය දීම සඳහා මම ඇත්තෙන් ම මෙනෙලාවුස් එවමි. 33 ආයුබෝවන්! වර්ෂ එකසිය හතළිස් අටේ සන්තිකස් මාසයේ පසළොස් වන දින දී ය.”
34 රො‍්මවරු ද පහත දැක්වෙන පරිදි ජුදෙව්වන් වෙත ලිපියක් යැවූ හ. ”සැරදේ වා! රො‍්මවරුන්ගේ තානාපතීන් වන ක්වීන්ටස් මෙම්මියස්ගෙන් ද ටයිටස් මානියස්ගෙන් ද ජුදා සෙනඟ වෙතට යි: 35 රජුගේ සහෝදරයා වන ලිසියස් විසින් ඔබට දී ඇති සියල්ල ම අපි දු අනුමත කරමු. 36 ඔහු රජු වෙත යොමු කිරීමට තීරණය කරගත් දේවල් ඔබගේ වාසිය පිණිස වන අයුරින් විග්‍රහ කිරීම පිණිස, අප අන්තියෝකිය බලා යන බැවින්, ඒ කරුණු ගැන හොඳින් කල්පනා කරබලා පමා නොවී කෙනෙකු එවන්න. 37 එබැවින් ඔබේ අදහස් උදහස් ගැන අපට දැන්විය හැකි අය ප්‍රමාද නො වී වහා අප වෙත එවන්න. 38 ආයුබෝවන්! වර්ෂ එකසිය හතළිස් අටේ සන්තිකස් මාසයේ පසළොස් වන දින දී ය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW