2 මකබි – 10 වන පරිච්ඡේදය –

දේව මාලිගාව පවිත්‍ර කිරීම

1 මකබියස් සහ ඔහුගේ පිරිස සමිඳාණන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ දේව මාලිගාවත් නගරයත් ප්‍රතිසංස්කරණය කොට 2 වෙළෙඳ පොළේ සහ ශුද්ධ භූමියේ විජාතිකයන් විසින් ගොඩනඟන ලද පූජාසන ඇදදැමූ හ. 3 ඉන්පසු ඔව්හු ශුද්ධස්ථානය පවිත්‍ර කොට වෙනත් පූජාසනයක් ඉදි කළො‍් ය. ඉක්බිති ගලින් ගිනි ගෙන ඒ ගින්න පාවිච්චි කරමින් සුවඳ දුම් දල්වා පහන් පත්තු කර, පිදුම් පූප පිළියෙළ කොට, අවුරුදු දෙකක කාලයට පසු පළමු වන යාග පූජාව ඔප්පු කළො‍් ය. 4 මෙසේ කළ පසු ඔව්හු බිම දිගා වී, කිසිදාක මෙවැනි කරදරවලට වැටෙන්නට තමන්ට ඉඩ නොදෙන ලෙසත්, යම් දවසක ඔව්හු පව් කළො‍් නම් ඒ සඳහා ඔවුන්ට යම් ප්‍රමාණයකට දඬුවම් දී, දේවාපහාස කියන වනචාරී විජාතිකයන්ට තමන් පාවා නොදෙන ලෙසත්, සමිඳාණන් වහන්සේට යාච්ඤා කළො‍් ය. 5 දේව මාලිගාව පවිත්‍ර කරන ලද්දේ කිස්ලෙව් මාසයේ විසි පස් වන දිනයේ දී ය. විජාතිකයන් විසින් දේව මාලිගාව කෙලෙසන ලද්දේත් එම දවසේ දී ම ය. 6 කූඩාරම් මංගල්‍යය පවත්වන අන්දමට, ඔව්හු දින අටක් ම ප්‍රීති ප්‍රමො‍්දයෙන් ඒ මංගල්‍යය පැවැත්වූ හ. තවද, ඊට ටික කලකට පෙර කූඩාරම් මංගල්‍යය පවත්වද්දී ඔවුන් කඳුකරයේ සහ ලෙන්වල වන සතුන් මෙන් ජීවත් වූ ආකාරය ද සිහිපත් කළහ. 7 මෙසේ ඔව්හු තමන් වහන්සේගේ ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමේ උත්සවය සාර්ථක ලෙස ඉටු කිරීමට සැලැස්වූ දෙවියන් වහන්සේට කුඩා වැල් වර්ග එතීමෙන් සැරසූ යෂ්ටියන් ද, කොළ අතු ද, තාල වර්ගයේ අතු ද රැගෙන තුති ගී ගායනා කළහ. 8 තවද ඔව්හු ප්‍රසිද්ධ ආඥාවක් පනවා, එය ඡන්දයෙන් අනුමත කරනු ලැබ, මුළු ජුදා ජාතිය ම අවුරුදුපතා එම දවස් උත්සවාකාරයෙන් පැවැත්විය යුතු යයි නියම කළහ.

ටොලමි මක්රොන්ගේ අපකීර්තිය

9 එපිපානෙස් නම් ලත් ඇන්ටිඕකස්ගේ මරණයට අදාළ විස්තර ඉහත කී ලෙස ය. 10 දැන් අපේ කාර්යය නම් ඒ අභක්තිකයාගේ පුත්‍රයා වන ඇන්ටිඕකස් යුපාතෝර්ගේ ඉතිහාසය විස්තර කොට යුද්ධවල දුර්විපාක කියා පෑම ය. 11 සිංහාසනාරූඪ වූ පසු මේ රාජ කුමාරයා කටයුතුවල අධිපතියා වශයෙන්, චේලි-සිරියාවේ සහ පිනීෂියාවේ උසස් කොමසාරිස්වරයා වූ ලිසියස් නමැත්තෙකු පත් කෙළේ ය. 12 එකල යුක්ති සහගත ලෙස ජුදෙව්වරුන් කෙරෙහි ක්‍රියා කළ පළමු වන ආණ්ඩුකාරයා වන මක්‍රොන් නම් ලත් ටොලමි, පසුගිය කාලයේ දී ඔවුන්ට කරන ලද හිංසා පීඩාවලට වන්දියක් වශයෙන්, සාමකාමී ව ඔවුන් පාලනය කිරීමට බොහෝ උත්සාහ කෙළේ ය. 13 රජුගේ මිත්‍රයෝ ය යි සම්මත කණ්ඩායම විසින් යුපාතෝර් ඉදිරියෙහි ටොලමිට විරුද්ධ ව චෝදනා කරන ලදුව, පිලෝමිටර් විසින් ඔහුට භාර දෙන ලද සයිප්‍රස් දූපත අත්හැරීම නිසා ද, සෑම අතින් ම ඔහුට රාජ ද්‍රෝහියා ය යි කියන බව අසන්නට ලැබිණ. තමාගේ කීර්තිමත් නිල පදවිය දීප්තිමත් නො කළ ඔහු වස බී සිය පණ නසාගත්තේ ය.

ගොර්ජියස් සහ බලකොටු

14 ඉන්පසු ඒ ප්‍රදේශයේ යුද පරිපාලකයා වශයෙන් ගොර්ජියස් පත් විය. ඔහු කුලියට ගත් හේවා භට හමුදාවක් මෙහෙයවමින් නිතර ම ජුදෙව්වන් සමඟ යුද්ධ කරමින් සිටියේ ය. 15 ඒ අතර ම වැදගත් බලකොටු පාලනය කළ ඉදුමියන්වරු ද ජුදෙව්වරුන්ට බලහත්කාරකම් කරමින්, ජෙරුසලමෙන් පලායන ද්‍රෝ‍්හීන් සාදරයෙන් පිළිගනිමින්, යුද්ධය පවත්වාගෙන යාමට උත්සාහ දරමින් සිටියෝ ය. 16 මකබියස් සහ ඔහුගේ සෙනඟ තමන්ට ආධාර කරන ලෙස දෙවියන් වහන්සේට ප්‍රසිද්ධියේ යාච්ඤා කොට ඉදුමියන්වරුන්ගේ බලකොටුවලට වේගයෙන් පහර දුන්හ. 17 ඔව්හු වේගවත් ලෙස පහර පිට පහර දෙමින් ප්‍රයෝජනවත් සෑම ස්ථානයක් ම අල්ලාගෙන පවුරු උඩ සිට සටන් කළවුන් පරාජය කළහ. ඔව්හු තමන් අතට අසු වූ සියල්ලන් ම මරාදැමූ හ. එසේ මැරුම්කෑ අය විසි දහසක් පමණ වූ හ. 18 යටත්පිරිසෙයින් නව දහසක් පමණ අය, වටලෑමක දී පරාජය නොවී සිටීමට අවශ්‍ය වූ සියල්ල තැන්පත් කළ ඉතා ශක්තිසම්පන්න බලකොටු දෙකක සැඟවී සිටියහ. 19 එවිට ඔවුන් වටලනු පිණිස සෑහෙන සෙනඟක් සහිත ව සකේවුස් සහ ඔහුගේ හමුදාව ද සීමොන් සහ ජො‍්සෙප් ද ඉතිරි කොට මකබියස් තෙමේ තමාගේ සේවය අවශ්‍ය වූ වෙනත් ස්ථානයකට ගියේ ය. 20 එහෙත් සීමොන්ගේ සෙනඟ මුදලට තණ්හා වූ බැවින් බලකොටුවල සිටි සමහර අයගේ අල්ලස්වලට ඔව්හු වසඟවූ හ. ඔව්හු රිදී කාසි හැත්තෑ දාහක් ගත් පසු සමහර දෙනෙකුට පැන යන්නට ඉඩ දුන්හ. 21 මකබියස් සිදු වූ දේ දැනගත් පසු, සෙනඟගේ සෙන්පතියන් කැඳවා, තමන් සමඟ යුද්ධ කිරීමට හැකියාවක් ලැබෙන පරිදි සතුරන් නිදහස් කර හැරීම මඟින්, ඔවුන් තමන්ගේ සහෝදරයන් මුදලට විකුණූ බව කියමින්, වරද කළවුන්ට චෝදනා කෙළේ ය. 22 ද්‍රෝ‍්හීන් මෙන් ඔවුන් මරාදැමීමෙන් පසු, ඔහු සැණෙකින් ම බලකොටු දෙක අල්ලාගැනීමට ගියේ ය. 23 අවිආයුධ බලයෙන් ඔහු භාරගත් සෑම දෙයක් ම සාර්ථක වූ නිසා, ඔහු මේ බලකොටු දෙක තුළ සිටි අය විසි දහසකටත් වැඩි ගණනක් ඝාතනය කෙළේ ය.

ජූදස්ගේ ජයග්‍රහණය

24 මීට කලින් වතාවක ජුදෙව්වරුන් විසින් පරාජය කරනු ලැබූ තිමො‍්තියස්, කුලියට ගත් භටයන් රාශියක් එකතු කරගෙන ආසියාවෙන් විශාල අශ්ව හමුදාවක් ද ගෙන, අවිආයුධ බලයෙන් ජුදයාව අල්ලාගැනීමේ බලාපොරොත්තුවෙන් යුතු ව, එහි පැමිණියේ ය. 25 ඔහු පැමිණි විට, මකබියස් සහ ඔහුගේ සෙනඟ තමන්ගේ හිස් මත දූවිලි දමාගෙන ඉණ වටා ගෝණි රෙදි ඇඳගෙන දෙවියන් වහන්සේට යාච්ඤා කළො‍් ය. 26 ඔව්හු පූජාසනය ඉදිරියෙහි පොළොව මත දිගා වී, තමන්ට ආධාර දෙන ලෙස ද, ව්‍යවස්ථාව පැහැදිලි ලෙස කියන අන්දමට දෙවියන් වහන්සේ ඔවුන්ගේ සතුරාගේ පරම සතුරා බවත් ඔවුන්ගේ විරො‍්ධියාගේ පරම විරො‍්ධියා බවත් පෙන්වා දෙන ලෙස ද, අයැද සිටියෝ ය. 27 මෙසේ යාච්ඤා කළ පසු ඔව්හු සන්නාහ සන්නද්ධ ව නුවරින් සෑහෙන පමණ දුර ගොස් සතුරා සමීප වූ විට නැවතුණෝ ය. 28 අරුණාලෝකය පැතිර යනවාත් සමඟ ම දෙපක්ෂය ම යුද්ධය ආරම්භ කළො‍් ය. එක පක්ෂයක ජයග්‍රහණයේ සහ සඵලත්වයේ සහතිකය වූයේ ඔවුන්ගේ ම ශක්තිය පමණක් නොව සමිඳාණන් වහන්සේගේ සරණ පැතීම ය. අනිත් පක්ෂයට සටනේ මහා රුකුල වූයේ තමන්ගේ ම උනන්දුව යි. 29 යුද්ධයෙහි උපරිම අවස්ථාවට පැමිණි විට අහසින් තේජස් සම්පන්න මිනිසුන් පස් දෙනෙකු රන් කටකලියා සහිත අසුන් පිට නැඟී අවුත් ජුදෙව්වරුන්ගේ හමුදාවෙහි මුල් ස්ථානය ගන්නවා සතුරා දිටී ය. 30 ඔව්හු මකබියස් සිසාරා සිටගෙන තමන්ගේ සන්නාහයෙන් ම ඔහු ආවරණය කරමින් ඔහුට තුවාළ නොවන පරිදි ඔහු මුර කරගෙන සිටියෝ ය. එහෙත් ඔව්හු එවිට ම සතුරු සෙනඟ අන්ධ වී වියවුල් වී හිස් ලූ ලූ අත විසිරී යන තෙක් ම ඊ පහර සහ හෙණ අකුණු ඔවුන් මත වැටෙන්නට සැලැස්වූ හ. 31 පාබළ සෙනඟගෙන් විසි දහස් පන්සියයක් ද අශ්ව සේනාවෙන් හයසියයක් ද ඝාතනය කරන ලදහ.
32 තිමො‍්තියස් තෙමේ කෙරේයස් නමැත්තා යටතේ වූ ගේශර් නම් ලත් බලවත් ලෙස ආරක්ෂා කරන ලද බලකොටුවට පලා ගියේ ය. 33 මකබියස් සහ ඔහුගේ සෙනඟ උනන්දුවෙන් දවස් හතරක් ම එම බලකොටුව වටලෑවෝ ය. 34 ආරක්ෂාව සඳහා ඇතුළේ සිටි අය ද ස්ථානයේ රැකවරණය කෙරෙහි විශ්වාසය තබාගෙන ඔවුන්ට භයානක දේවාපහාස හා අදේවදෘෂ්ටි නින්දා එල්ල කළහ. 35 පස් වන දින අලුයම මකබියස්ගේ හමුදාවේ තරුණයන් විසි දෙනෙක් එම දේවාපහාසයන් නිසා කෝපාවිෂ්ට වී, ප්‍රාකාරයට බලවත් ලෙස පහර දී, ඔවුන්ට හමු වූ සියල්ලන් දරුණු ලෙස මරාදැමූ හ. 36 තවත් අයත් එලෙස ම ප්‍රාකාරවලට නැඟ, සතුරන්ගේ පිටුපසින් ගොස්, එහි කොත්වලට ගිනිතබා, දේවාපහාස කී අය අල්ලාගෙන පණපිටින් ම දර සෑ මත තබා ගිනිබත් කළහ. තවත් සමහරෙක් දොරටු බිඳ හමුදාවේ ඉතිරි කොටස නගරයට ඇතුළු කොට, නගරය පළමු ව අල්ලාගත්තෝ ය. 37 තිමො‍්තියස් පතලක සැඟවී සිටි නමුත් ඔව්හු ඔහු ද ඔහුගේ සහෝදරයා වන කේරේයස් ද අපොල්ලොපානෙස් ද මරාදැමූ හ. 38 මේ සියල්ල අවසන් වූ විට, ඉශ්රායෙල්වරුන්ට මහා කරුණාව පෙන්වූ, ඔවුන්ට ජයග්‍රහණය අත්කර දුන්, සමිඳාණන් වහන්සේට ඔව්හු ගී ගයා තුති පුදමින් ප්‍රශංසා කළහ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW