1 කොරින්ති – 13 වන පරිච්ඡේදය –

ප්‍රේමය

1 මා මිනිසුන්ගේ ද දේව දූතයන්ගේ ද භාෂාවලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ඝෝෂා කරන ඝණ්ඨාරයකට හෝ කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි.
2 දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියලු අබිරහස් ගැන අවබො‍්ධය ද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.
3 දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්, මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්, ප්‍රේමය මට නැත්නම් මට කිසි පලක් නැත.
4 ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය;
ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත;
5 ප්‍රේමය, අවිනීත නොවේ, ආත්මාර්ථකාමි නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි;
6 ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි.
7 ප්‍රේමය, සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.
8 ප්‍රේමය සදාතනික ය.
දිවැස් වැකි වුව ද පහ ව යන්නේ ය;
විවිධ ශබ්ද දෙසීම් වුව ද නිම වන්නේ ය;
ඥානය වුව ද නැති වන්නේ ය.
9 මන්ද, අපේ ඥානය අසම්පූර්ණ ය, දිවැස් වැකි දෙසීම ද අසම්පූර්ණ ය.
10 සම්පූර්ණ දේ පැමිණි විට, අසම්පූර්ණ දේ පහ ව යන්නේ ය.
11 බාල වියෙහි දී මම බාලයෙකු මෙන් කතා කෙළෙමි; බාලයෙකු මෙන් සිතුවෙමි; බාලයෙකු මෙන් තේරුම් ගතිමි. එහෙත් මම දැන් වයසින් මුහුකුරා සිටින බැවින් ළාමක දේ අත් හැර සිටිමි. 12 දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලි ව පෙනෙන්නේ ය. මතු අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පූර්ණ ය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන් වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පූර්ණ වන්නේ ය.
13 ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහට ම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමය ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW