– 10 වන පරිච්ඡේදය –

1 සහෝදරයෙනි, මාගේ සිතෙහි ඇති බලවත් ආශාව නම් ජුදෙව්වරුන්ගේ ගැළවීම ය; දෙවියන් වහන්සේට මා කරන ආයාචනය ඒ උදෙසා ය. 2 දෙවියන් වහන්සේට අධික ලැදියාවක් ඔවුන් තුළ ඇති බවට මම සාක්ෂි දරමි; එහෙත් එය හරි පැහැදීමක් නැති ලැදියාවකි. 3 දමිටු බවට පැමිණීමේ මාර්ගය නොදත් ඔව්හු, තමන්ගේ ම මාර්ගයක් සලසාගැනීමට ප්‍රයත්න දරමින් දමිටු කරනු ලැබීමට යටත් නොවූ හ. 4 මන්ද, අදහන සියල්ලන් ම දමිටු බවට පැමිණවීමෙන් ක්‍රිස්තුන් වහන්සේ ව්‍යවස්ථාවේ පරමාර්ථය සපුරාලූ සේක.

සියල්ලන්ට ගැළවීමේ මාර්ගය

5 ව්‍යවස්ථාව පිළිපැදීමෙන් ඇති වන දමිටු බව පිළිබඳ ව මෝසෙස් මෙසේ ලියා ඇත: ”ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.” 6 එහෙත් ඇදහිල්ලෙන් ඇති වන දමිටු බවෙන් පැවසෙන්නේ මෙය යි: ”ක්‍රිස්තුන් වහන්සේ පහතට වැඩමවාගැනීමට ස්වර්ගයට නඟින්නේ කවරෙක් ද? 7 නැතහොත් ක්‍රිස්තුන් වහන්සේ මළවුන් කෙරෙන් ගෙනෙ‍න පිණිස පාතාලයට බසින්නේ කවරෙක් දැ”යි සිතින් නොසිතන්න. 8 එයින් තව කුමක් පැවසේ ද? පැවසෙන්නේ: ”වාක්‍යය ඔබේ මුවෙහි ය, ඔබේ සිතෙහි ය, ඔබ ළඟ ම ය” කියා ය. ඒ වාක්‍යය අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ පණිවුඩය වේ. 9 ඔබ ‘ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය. 10 මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය. 11 ”උන් වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත. 12 ජුදෙව්වා හා ග්‍රීකයා අතර වෙනසක් නැත. එක ම සමිඳාණන් වහන්සේ සියල්ලන්ගේ ම සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේගේ පිහිට අයැදින සියල්ලන්ට උන් වහන්සේ සියලු යසඉසුරු සලසා දෙන සේක. 13 මන්ද: ”සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවරෙක් නමුත් ගැළවීම ලබති”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.
14 අදහා නොගත් කෙනෙකුට යැදුම් පුදන්නේ කෙසේ ද? නෑසූ කෙනෙකු අදහන්නේ කෙසේ ද? දේශකයෙකු නැති ව අසන්නේ කෙසේ ද? 15 යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව: ”සුබ අස්න ගෙන එන ධර්ම දූතයන්ගේ පාද කොතරම් මනහර ද?” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.
16 එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, ”සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි. 17 ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙනි, පණිවුඩය ඇති වන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගැන දෙසීමෙනි.
18 එහෙත් ඔව්හු සවන් නුදුන්නාහු දැ යි මම ප්‍රශ්න කරමි. සැබැවින් ම ඔව්හු සවන් දුන්නාහු ය. ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි:
”දූතයන්ගේ දහම් හඬ පොළොව පුරා පැතිරී ඇත;
ඔවුන්ගේ වචන ලෝක සීමා දක්වා විසිරී ඇත.”
19 එහෙත් ඉශ්රායෙල් ජාතිය එය නොදැන සිටියා දැ යි මම යළි යළිත් ප්‍රශ්න කරමි:
”නියම ජාතියක් නොවන ජනතාවක් කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට මම නුඹලා තදින් පොළඹවන්නෙමි;
අනුවණ ජාතියක් කෙරේ නුඹලාගේ කෝපය අවුස්සන්නෙමි”යි
පළමුකොට මෝසෙස් කියයි. 20 තවද, යෙසායා නිර්භය ව කතා කරමින්:
”නොසෙවූ අයට මම හමු වීමි;
මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි
කියයි. 21 එහෙත් ඔහු ඉශ්රායෙල් ජනතාව ගැන කතා කොට:
”අකීකරු, කැරලිකාර සෙනඟක් දෙසට දවස මුලුල්ලේ ම මාගේ අත් දිගු කෙළෙමි”යි කියයි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW