හිතෝපදේශ – 14 වන පරිච්ඡේදය –

1 නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය;
අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.
2 අවංක මිනිසා සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෙකි;
වංක මිනිසා එතුමන් හෙළා දකියි.
3 මෝඩයාගේ දොඩමළු කතා තමාට ම පහර දෙන ඉපලකි;
ප්‍රාඥයාගේ කියුම් ඔහුට රැකවරණය දෙන්නකි.
4 ගවයන් නැති විට අටුකොටු හිස් ව ඇත;
ගවයන් ඇති විට අටුකොටු පිරී ඇත.
5 විශ්වාසී සාක්ෂිකරු බොරු නොකියයි:
බොරු සාක්ෂිකරුවෙක් බොරුව ම කියයි.
6 උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි;
බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි.
7 අඥානයා කෙරෙන් ඈත් වන්න;
ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ.
8 නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති;
අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.
9 අනුවණයාට පාපය සෙල්ලමකි;
අවංක අයට පාප කමාව අවශ්‍ය දෙයකි.
10 ඔබේ දුක සැප දන්නේ ඔබ ම ය;
අන් කෙනෙකුට එය ඔබ සමඟ විඳිය නොහැකි ය.
11 දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත;
අවංක අයගේ නිවෙස පවතිනු ඇත.
12 මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ අවසානයේ දී මරණය විය හැක.
13 සිනාවේ පවා සිත් තැවුලක් විය හැක;
ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.
14 දුදනා සිය ක්‍රියාවල විපාකය ලබයි;
සුදනා තම ක්‍රියාවල ප්‍රතිඵල ලබයි.
15 නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි;
උගතා තම පියවර හොඳින් විමසා බලයි.
16 ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි;
අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.
17 වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි.
එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.
18 අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි;
එහෙත් නුවණැත්තෝ දැනුම නමැති කිරුළ පැළඳගනිති.
19 නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති;
දුදනෝ දැහැමියන්ගේ දොරටු ළඟ වැඳ වැටෙති.
20 දිළින්දාට කිසි ම හිතවතෙක් නැත;
පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත.
21 කෙනෙකු හෙළා දැකීම පාපයකි;
දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.
22 නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි;
යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.
23 වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ;
කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.
24 නැණවතුන්ගේ කිරුළ ඔවුන්ගේ නැණනුවණ වේ;
අඥානයන්ගේ ඔටුන්න ඔවුන්ගේ අනුවණකම වේ.
25 සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි;
බොරු සාක්ෂිකරු ජීවිත පාවා දෙයි.
26 දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත;
ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත.
27 දේව ගරුබිය ජීවන උල්පතකි;
එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.
28 රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය;
සෙනඟ අඩුකම ඔහුට මදිකමකි.
29 කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි;
වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.
30 නිසල් සිත, ගතට සුවය දෙයි;
ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි.
31 දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි;
දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.
32 දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි;
ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.
33 නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි;
අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.
34 ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි;
කවර ජාතියට වුව ද පාපය නින්දාවකි.
35 කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති;
යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.

Suba Asna - සුබ අස්න

FREE
VIEW