සෙකරියා – 5 වන පරිච්ඡේදය –

පියාඹන පො‍ත පිළිබඳ දර්ශනය

1 මම නැවත බැලූ විට පියාඹන පො‍තක් දිටිමි. 2 ”නුඹට කුමක් පෙනේ දැ”යි දේව දූතයා මාගෙන් ඇසූ විට, ”මීටර් නවයක් දිග මීටර් හතරහමාරක් පළල පියාඹන පො‍තක් මට පෙනේ ය”යි මම කීමි.
3 එවිට ඔහු මෙසේ කීවේ ය: ”මුළු දේශය පුරා පැතිරී යන සාපය මෙය වේ. එක පැත්තක සොරකම් කරන සියල්ලෝ නෙරපනු ලබන්නෝ ය කියා ද අනෙක් පැත්තේ බොරුවට දිවුරන්නෝ නෙරපනු ලබන්නෝ ය කියා ද මෙහි ලියා ඇත. 4 සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන පරිදි උන් වහන්සේ මේ සාපය එවන සේක. එවිට එය හැම සොරෙකුගේ ද බොරුවට දිවුරන හැම කෙනෙකුගේ ද නිවෙසට ඇතුළු වන්නේ ය. එය ඒ නිවෙස්වල රැඳී එහි සිටින සියල්ලන් ද එහි ලී දඬු ද ගඩොල් ද විනාශ කර දමන්නේ ය.”

භාජනය තුළ වූ ස්ත්‍රිය පිළිබඳ දර්ශනය

5 දේව දූතයා නැවතත් ඉදිරියට අවුත්, ”හිස ඔසවා බලන්න. දැන් පිටතට එන දේ දෙස බලන්නැ”යි කී ය.
6 ”එය කුමක් දැ”යි මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, ”එය භාජනයකි. මුළු දේශයේ පාපය එයින් අදහස් කෙරේ”යි කී ය.
7 ඒ භාජනය ඊයම් පියනකින් වසා තිබිණි. මා බලා සිටිය දී ඊයම් පියන ඔසවනු ලැබී ය. භාජනය තුළ ස්ත්‍රියක් වාඩි වී සිටියා ය.
8 ”මේ ස්ත්‍රිය වනාහි දුෂ්ටකමේ මූර්තිය ය”යි දේව දූතයා මට කී ය. ඉන්පසු ඒ ස්ත්‍රිය නැවත භාජනය තුළට තල්ලු කරදමා, ඔහු එය පියනෙන් වැසුවේ ය. 9 මම හිස ඔසවා බැලූ විට ස්ත්‍රීන් දෙදෙනකු මා දෙසට එනවා දිටිමි. කණ කොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබිණි. ඔවුන්ගේ ඒ පියාපත්වලට සුළං බැඳී ය. ඔව්හු අහසත්, පො‍ළොවත් අතරේ ඒ භාජනය උසුලාගෙන ගියෝ ය. 10 ”ඔවුන් එය කොහේ ගෙන යනවා දැ”යි මට කතා කළ දූතයාගෙන් මම ඇසීමි.
11 ”ඔවුන් එය ගෙන යන්නේ ෂිනාර් දේශයට ය; එහි දේවාලයක් සාදන පිණිස ය; එය තනා නිම වූ විට ඒ භාජනය එහි තබනු ලබන්නේ ය”යි කී ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW