සාමුවෙල්ගේ පළමු වන පොත – 7 වන පරිච්ඡේදය –

1 කිරියත්-ජෙයාරීම් වැසියෝ අවුත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන, කන්ද පිට පිහිටි අබිනාදාබ්ගේ ගෙට ගෙන ගොස්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රක්ෂා කරන පිණිස එලෙයාසර් භාරකරු ලෙස පත් කළහ.

සාමුවෙල් විනිශ්චයකාරයා වීම

2 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම්හි තැන්පත් කළ දා පටන් දීර්ඝ කාලයක් එනම්, විසි අවුරුද්දක්, ගත විය. මේ කාලය තුළ දී මුළු ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේගේ උපකාරය සොයා මොරගැසූ හ.
3 සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනයා අමතා, ”ඔබ හැම මුළු සිතින් ඔබේ සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්නහු නම්, ඔබ අතරෙන් අන්‍ය දෙවිවරුන් ද අෂ්ටාරොත් දේවතාවිය ද පහ කරදමා, ඔබේ සිත් සමිඳාණන් වහන්සේ දෙසට ම යොමු කොට උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කරන්න. උන් වහන්සේ ද පිලිස්තිවරුන්ගේ අතින් ඔබ ගළවාගනු ඇතැ”යි කීවේ ය. 4 එවිට ඉශ්රායෙල් ජනයා බාල් දේවතාවන් ද අෂ්ටාරොත් ද පහ කරදමා සමිඳාණන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළහ.
5 එවිට සාමුවෙල් කතා කොට, ”මා ඔබ උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් මිශ්පා නගරයට රැස් කරන්නැ”යි කීවේ ය. 6 ඔව්හු මිශ්පා නගරයට රැස් වී වතුර ඇද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් වශයෙන් වත් කොට, ඒ දවසේ නිරාහාර ව සිට, ”අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි එහි දී කී හ. සාමුවෙල් මිශ්පාහි පදිංචි වී සිට ඉශ්රායෙල් ජනයා විනිශ්චය කෙළේ ය.
7 ඉශ්රායෙල් ජනයා මිශ්පා නගරයට රැස් ව සිටින බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන්ගේ අධිපතීහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟී ආහ. ඉශ්රායෙල් ජනයා ඒ අසා පිලිස්තිවරුන්ට බිය වූ හ. 8 එවිට ඔව්හු සාමුවෙල්ට කතා කොට,
”අපේ දෙවි සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ අතින් අප ගළවන පිණිස අප උදෙසා නොනැවතී ම යාච්ඤා කළ මැනවැ”යි කී හ. 9 සාමුවෙල් කිරි බොන බැටළු පැටවෙකු රැගෙන සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කර ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය; සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දුන් සේක. 10 සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන වේලේ ම පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬින් ගිගුරුම් දී ඔවුන් වියවුලට පත් කළ සේක. ඔව්හු ඉශ්රායෙල්වරුන් කෙරෙන් පලා ගියහ. 11 ඉශ්රායෙල් ජනයා මිශ්පා නුවරින් නික්ම, පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස්, බෙත්-කාර්ට පැමිණෙන තුරු ඔවුන්ට පහර දුන්හ.
12 එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පා නගරයටත්, ෂේන් නගරයටත් අතරේ තබා, ”මෙතැන් දක්වා සමිඳාණන් වහන්සේ අපට පිහිට වූ සේකැ”යි කියමින් ඊට ‘එබෙන්-එශෙර් ය’යි නම තැබුවේ ය.
13 මෙසේ පිලිස්තිවරු පරාජය වී ඉශ්රායෙල් දේශයේ සීමාවට ඇතුළු නො වූ හ. සාමුවෙල්ගේ මුළු ජීවිත කාලය තුළ සමිඳාණන් වහන්සේගේ බාහු බලය පිලිස්තිවරුන්ට විරුද්ධ ව පැවතුණේ ය. 14 පිලිස්තිවරුන් විසින් එක්‍රොන් සිට ගාත් දක්වා ඉශ්රායෙල්වරුන්ගෙන් ගන්නා ලද නගර ආපසු ඉශ්රායෙල්වරුන්ට දෙන ලද්දේ ය. ඉශ්රායෙල්වරු සියලු දේශ සීමාවන් පිලිස්තිවරුන්ගේ අතෙන් මුදාගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතර සාමදානය ද පැවතිණි.
15 සාමුවෙල් ජීවිතාන්තය දක්වා ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. 16 ඔහු වසරක් පාසා වසරක් බෙතෙල්ටත්, ගිල්ගාල්ටත්, මිශ්පාටත් පිළිවෙළින් ගොස් ඒ ඒ ස්ථානවල දී ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. 17 ඉන්පසු ඔහු රාමා නගරයට ගියේ ය. මන්ද, ඔහුගේ ගෙය තිබුණේ එහි බැවිනි. එහි දී ද ඔහු ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. තවද, ඔහු එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW