වංශාවලියේ පළමු වන පොත – 16 වන පරිච්ඡේදය –

1 ඔවුහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනවුත්, දාවිත් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ එය තබා, දවන යාග පූජාවල් ද සහභාගිකමේ පූජාවල් ද දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළෝ ය. 2 දාවිත් දවන යාග පූජාව ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම වූ විට, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය. 3 තවද, ඔහු ඉශ්රායෙල්වරුන් සියල්ලන්ගෙන් එක එක පුරුෂයාටත්, ස්ත්‍රියටත් රොටියක් ද මස් කෑල්ලක් ද වියළි මුද්‍රික පල කැටියක් ද බැගින් දුන්නේ ය.

ගිවිසුම් කරඬුව ලෙවීවරුන්ට බාර දීම

4 තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සේවය කිරීමටත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වර්ණනා කිරීමටත්, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියම කෙළේ ය. 5 ඒ අයගේ ප්‍රධානියා ආසාප් ය. ඔහු ළඟට ශෙකරියා, ජෙයීයෙල්, ෂෙමිරාමොත්, ජෙහියෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ ජෙයීයෙල් ය. මොවුහු වීණාවලින් ද මහා වීණාවලින් ද ගායනා කළහ. එහෙත්, ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්වී ය. 6 පූජකයන් වූ බෙනායා ද ජහසියෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම නළා පිම්බෝ ය.
7 දාවිත් ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද ලවා සමිඳාණන් වහන්සේට ස්තුති කරවීමට පළමුවෙන් නියම කෙළේ ඒ දවසේ දී ය.

ප්‍රශංසා ගීයක්
(ගීතා: 105:1-15; 96:1-13; 106:1,47-48)

8 සමිඳුන්ට තුති පුදන්න;
එතුමන් නම කියා අයැදින්න;
ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න.
9 එතුමන්ට ගී ගයන්න;
එතුමන්ට පසස් ගී ගයන්න;
එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.
10 එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදම් අනන්න.
සමිඳුන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
11 සමිඳුන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න;
එතුමන්ගේ හමු වීම නිතර ම සොයන්න.
12 එතුමන්ගේ මෙහෙකරු වන ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් විසින් තෝරාගනු ලැබූ තැනැත්තන් වන ජාකොබ් දරුවෙනි,
13 එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
14 එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය.
එතුමන්ගේ ආණ්ඩු බලය මුළු පොළොවෙහි තිබේ.
15 එතුමන්ගේ ගිවිසුම සදහටත්, එතුමන් අණ කළ වචනය පරම්පරා දහසක් දක්වාත් සිහි කරන්න.
16 ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක;
ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.
17 එතුමාණෝ එය ජාකොබ්ට පණතක් ද ඉශ්රායෙල්ට සදාකාල ගිවිසුමක් ද කොට ස්ථිර කරමින්,
18 ”නුඹලාගේ උරුම කොටස කොට කානාන් දේශය නුඹලාට දෙන්නෙමි.
19 නුඹලා ගණනින් ස්වල්ප දෙනෙකු වී, ඉතා ස්වල්ප දෙනෙකු වී එහි විදේශීන් වී සිටින්නහු ය”යි වදාළ සේක.
20 ඔව්හු, ජාතියකින් ජාතියකට ද රාජ්‍යයකින් රාජ්‍යයකට ද ගියෝ ය.
21 ඔවුන්ට තාඩන පීඩන කරන්න කිසි ම මිනිසෙකුට එතුමාණෝ ඉඩ නුදුන් සේක.
එසේ ය, එතුමාණෝ ඔවුන් නිසා රජුන්ට තරවටු කොට,
22 ”මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න;
මාගේ දිවැසිවරුන්ට අනතුරු නොකරන්නැ”යි වදාළ සේක.
23 පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන්ට ගී ගයන්න.
එතුමන්ගෙන් ලැබෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න.
24 ජාතීන් අතරෙහි එතුමන්ගේ මහිමය ද සියලු ජාතීන් අතරෙහි එතුමන්ගේ ක්‍රියා ද පතළ කරන්න.
25 මන්ද, සමිඳාණෝ උතුම් ය;
අතිශයින් පැසසිය යුතු ය.
සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.
26 මන්ද, ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණකි;
සමිඳාණෝ ම අහස් මඬල සෑදූ සේක.
27 ගෞරවය ද තේජස ද එතුමන් ඉදිරියෙහි පවත්නේ ය;
ශක්තිය ද ප්‍රීතිය ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
28 ජනයෙනි, සමිඳුන් පසසන්න;
ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
29 සමිඳුන් නමට හිමි ගෞරවය පිරිනමන්න;
පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න;
ශුද්ධ මළුවෙහි සමිඳුන් නමදින්න.
30 පොළෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න;
එතුමාණෝ නොසැලෙන ලෙස තිරසාර ව ලොව සෑදූ සේක.
31 ස්වර්ගයෝ සන්තෝෂ වෙත් වා!
පොළොව ද ප්‍රීති වේ වා!
”සමිඳාණෝ රජකම් කරන සේකැ”යි ජාතීන් අතරේ කියත් වා!
32 මුහුදත්, එහි ඇති සියල්ලත් ගිගුරුම් හඬ දේ වා!
කෙත්වතු සහ එහි ඇති සියල්ල ප්‍රීතිමත් වේ වා!
33 වනයේ ගස් කොළන් සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයා වා!
මන්ද, එතුමාණෝ පොළොව පාලනය කරන පිණිස වඩින සේක.
34 සමිඳුන් හට තුති පුදන්න;
මන්ද, එතුමාණෝ යහපත් ය;
එතුමන්ගේ ස්ථිරසාර ප්‍රේමය සදහට ම පවත්නේ ය.
35 ”අපේ ගැළවුම්කාර දෙවිඳාණෝ, එතුමන්ගේ ශුද්ධ නාමයට තුති කරන පිණිසත්, එතුමන්ගේ ප්‍රශංසා ගැන ජයඝෝෂා පවත්වන පිණිසත්, අප ගළවා, ජාතීන් අතරෙන් අප රැස් කොට, අප නිදහස් කරන සේකැ”යි කියන්න.
36 ඉශ්රායෙල් දෙවි සමිඳුන් හට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා!
මුළු සෙනඟ ද, ”ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.

ජෙරුසලමේ සහ ගිබියොන්හි වන්දනාව

37 ඉක්බිති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම එක එක දවසට සුදුසු ලෙස සේවය කිරීමට දාවිත් රජ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද 38 ඕබෙද්-ඒදොම් ද ඔවුන්ගේ සහෝදරයන් හැටඅටදෙනෙකු ද සිටෙව්වේ ය. ජෙදුතුන්ගේ පුත් ඕබෙද්-ඒදොම් ද හෝසා ද දොරටු පාලයන් කොට නියම කෙළේ ය.
39 පූජක ශාදොක් ද පූජකයන් වන ඔහුගේ සහෝදරයන් ද ගිබියොන්හි ගිරිකුළක තිබෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්න නියම කෙළේ ය. 40 එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අණ කළා වූ උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට දවන යාග පූජා පුදන පූජාසනය පිට නිතර ම උදය සවස දවන යාග පූජා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ය. 41 ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද නම් කියා තෝරාගනු ලැබූ අනික් අය ද, ”සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය” කියමින් උන් වහන්සේට ස්තුති කිරීමට නියම කෙළේ ය. 42 ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද පත් කෙළේ, දෙවියන් වහන්සේට ගී ගයමින් නළාවලිනුත්, අත්තල්වලිනුත්, තූර්ය භාණ්ඩවලිනුත් ශබ්ද කිරීමට ය. තවද, දාවිත් රජ ජෙදුතුන්ගේ පුත්‍රයන් දොරටු පාලකයන් කොට පත් කෙළේ ය.
43 පසු ව මුළු සෙනඟ තම තමන්ගේ ගෙවලට ගියෝ ය. දාවිත් තමාගේ ගෙදර වැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW